අගමැතිගේ ඉල්ලා අස්වීම නොවීම මුල් කොට ආණ්ඩුව තුළ අර්බුදයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කිරීම මත ඇති වූ මත අරගලය මුල් කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරුන් අතර ද මත ගැටුම් වර්ධනය වෙමින් පවතින බව අලුත්ම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියා මාර්ගය,වෙනුවෙන් හෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කෙසේ වත් අගමැති තනතුරෙන් ඉවත් නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ පළාත් පාලන නියෝජිත වරුන් දිගින් දිගටම බල පෑම් කරන බව වාර්තා වෙයි.
නමුත් රට තුළ පවත්නා දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සුදුසු නිශ්චිත ක්‍රියාමාර්ග වත්මන් රජය සතුව නොමැති පසුබිමක නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට විවිධ පාර්ශවයන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී තිබේ. ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පක්ෂ නායකයන් සමඟ ජනාධිපති මන්දිරයේ පෙරේදා (29)පැවති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සාකච්ඡා වී තිබේ. එම නව අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවෙන් නම් කිරීමටත් යෝජනා වී ඇත.ආණ්ඩුවට උපදෙස් දීම සඳහා පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික උපදේශක සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා එහි දී එකඟතාව පළ කර ඇත නමුත් පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලයක් පෙන්වුවහොත් මිස තමන් තනතුරින් ඉවත් නොවන බව අගමැති වරයා දැඩිව කියා තිබේ. ,ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 30 වන දා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී ද අගමැතිවරයා වෙනුවෙන් හිටපු ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම දිගින් දිගටම පෙනී සිටීම නිසා එම රැස්වීම එකම කාලගෝට්ටියක් වූ බව පැවසෙයි

 

කාලීන පුවත්