අගමැති හා කතා බහෙන් පසු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරිය සිය රට යයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ පැහැදිලි කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය සවිස්තරාත්මක ලෙස දැනුවත් කිරීම පිණිස මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සිය රට බලා පිටත්ව යාමට නියමිතය.අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ එළඹෙන සති කිහිපය ශ්‍රී ලංකාවට ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වය සම්බන්ධයෙන් අසීරු වනු ඇති බවත්, මෙරට ජනතාව වෙනුවෙන් තවදුරටත් සහය ලබාදීමට සූදානම් බවකි.පසුව ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය වරයා සමඟ කතා බස් කළ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරිය මෙම අර්බුදය විසඳීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය වරයා දක්වන උනන්දුවේ සාධනීය බව සළකා සිය මව් රටට ගොස් එම කරුණු බ්‍රිතාන්‍ය රජයේ සෘජු අවධානයට යොමු කිරීමට තීරණය කොට තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වරයා ද අග්‍රාමාත්‍ය වරයා සමඟ සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් ජපන් රජය දැනුවත් කිරීම පිණිස එහි ගොස් තිබේ.

කාලීන පුවත්