අඟහරු ග්‍රහයා ගැන අලුත් සොයා ගැනීමක්

සූර්ය ග්‍රහ මණ්ඩලයේ තිබෙන ග්‍රහලෝක අතරින්, තාරකා විද්‍යාව ගැන උනන්දුව දක්වන්නන් අතර වඩාත්ම ජනප්‍රිය ග්‍රහලෝකය වන්නේ අඟහරු යයි කිවහොත් බොහෝ දෙනෙකු ඊට එකඟ වනු ඇත. එයට එක් හේතුවක් වන්නේ අඟහරු මත ජීවීන් සිටි බවට කාලයක සිටම පවතින විශ්වාසය යි. මේ ඇතැම් ජීවීන් ඉතා බුද්ධිමත් කොට්ඨාශයක් වූ බවට ද, ඔවුන් පියාඹන පීරිසි වැනි යානාවල නැගී පෘථිවියට පැමිණි බවට ද විශ්වාසයක් විය.

සුප්‍රකට ලේඛකයකු වන එච්. ජී. වෙල්ස් ගේ The War of the Worlds නැමැති විද්‍යා ප්‍රබන්ධයට පසුබිම් වන්නේ ද අඟහරු ජීවීන් පිරිසක් පෘථිවිය ආක්‍රමණය කිරීම පිලිබඳ කතාවකි. මෙම කෘතිය ආශ්‍රයෙන් ඇමරිකාවේ වරක් ගුවන් විදුලි නාටකයක් නිර්මාණය වූ අතර එයට සවන් දුන් ඇතැමුන් සැබැවින්ම භීතියට පත් වූ බවට ද කතාවක් තිබේ.

බොහෝ විශ්වාසයන්ට පදනම් වන්නේ ඈත අතීතයේ අඟහරු ග්‍රහයා පෘථිවිය මෙන්ම ජීවීන්ට වාසය කිරීම සඳහා සුදුසු ග්‍රහලෝකයක් වූ බවට පවතින මතය යි. එහි විශාල සාගර, ගංගා ඇලදොල ආදිය පවා පැවැති බවට සාක්‍ෂි ඇතැයි ද විද්‍යාඥයෝ පවසති. කෙසේ නමුත් මේ වනවිට අඟහරු මත මේ කිසිවක් දක්නට නැත. අද එය මුළුමනින්ම කාන්තාරයක් වැනි ග්‍රහලෝකයකි. විද්‍යාඥයන් පවසන ආකාරයට අඟහරු කාන්තාරයක් බවට පත්ව ඇත්තේ මෙයට වසර බිලියන 3 කට පමණ පෙර ය.

මෙම බොහෝ විශ්වාසයන්ට පදනම් වන්නේ ඈත අතීතයේ අඟහරු ග්‍රහයා පෘථිවිය මෙන්ම ජීවීන්ට වාසය කිරීම සඳහා සුදුසු ග්‍රහලෝකයක් වූ බවට පවතින මතය යි. එහි විශාල සාගර, ගංගා ඇලදොල ආදිය පවා පැවැති බවට සාක්‍ෂි ඇතැයි ද විද්‍යාඥයෝ පවසති. කෙසේ නමුත් මේ වනවිට අඟහරු මත මේ කිසිවක් දක්නට නැත. අද එය මුළුමනින්ම කාන්තාරයක් වැනි ග්‍රහලෝකයකි. විද්‍යාඥයන් පවසන ආකාරයට අඟහරු කාන්තාරයක් බවට පත්ව ඇත්තේ මෙයට වසර බිලියන 3 කට පමණ පෙර ය. මෙම ග්‍රහලෝකය මෙවැනි වෙනසකට බඳුන් වූයේ මන්ද යන්න ගැන ද විවිධ මත තිබේ. ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ අඟහරු ග්‍රහලෝකය ග්‍රහකයක් (Asteroid) වැනි වෙනත් වස්තුවක ගැටීමෙන් ඇති වූ දේශගුණික විපර්යාස මෙයට හේතු වන්නට ඇති බවයි.

අතීතයේ පැවැති ගංගා සහ විල් පිලිබඳ සලකුණු

මෙම පූර්විකාව සටහන් කළේ මේ දිනවල නැවතත් අඟහරු ගැන විද්‍යා ක්‍ෂේත්‍රයේ යම් විශේෂ අවධානයක් යොමු වෙමින් ඇති නිසා ය. එයට හේතුව නම් අඟහරු පෘෂ්ඨයට යටින් පවතින විශාල ජලාශයක් පිළිබඳ යම් සාක්‍ෂියක් හමුවීම යි.

මෙවැනි ජලාශයක් ඇති බවට විද්‍යාඥයන් තුළ විශ්වාසයක් ඇති වූයේ ඇමරිකාවේ නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා වෙත යවන ලද යානයක් ලබා දුන් තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසුව ය. මෙම යානය හැඳින්වුණේ InSight යන නමිනි. 2018 වසරේ මැයි 5 වැනි දින පෘථිවියෙන් පිටත් වූ InSight අඟහරු වෙත සේන්දු වූයේ එම වසරේ නොවැම්බර් මාසයේ යි. එය ගොඩ බැස්සේ Elysium Planitia නැමැති ස්ථානයකට යි.

මෙම යානය 2022 දක්වා වසර හතරක්ම අඟහරු මත රැඳී සිටිමින් තොරතුරු රැස් කිරීමෙහි නිරත විය. එය ප්‍රධාන වශයෙන්ම රැස් කළේ අඟහරු පෘෂ්ඨයට යටින් පවතින දේ පිළිබඳ තොරතුරු ය. භූමිකම්පා පිලිබඳ තොරතුරු ද ඒ අතර වූ බව සඳහන් වේ. ඉහත කී වසර 4 ක කාලය තුළ InSight යානය භූමිකම්පා 1,300 කට පමණ අදාළ දත්ත ගබඩා කරගෙන තිබිණි. අඟහරු පෘෂ්ඨයට යටින් පවතින විශාල ජලාශයක් පිලිබඳ දැන් විද්‍යාඥයන් පවසන්නේ මෙම භූමිකම්පා පිලිබඳ දත්ත විශ්ලේෂණයෙනි. මෙම භූමිකම්පාවලින් නැගෙන ශබ්ද තරංග සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් බොහෝ දේ සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව තිබේ. එම තරංග ගමන් කරන වේගය අනුව ඒවා ගමන් කරන්නේ කුමන මාධ්‍යයක් හරහා ද යන්න නිගමනය කිරීමට හැකිය.

“පෘථිවියේත් අප ඉහත කී ක්‍රමය භාවිත කරනවා. පෘථිවිය මත ජලය, තෙල් සහ ගෑස් ආදිය ඇති තැන් සොයා ගැනීමටත් මෙම ක්‍රමය තමයි භාවිත කරන්නේ’ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් මන්ගා පවසයි. ඔහු ද අඟහරු මත ඇති ජලය පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායමට අයත් විද්‍යාඥයෙකි.

අඟහරු ග්‍රහයාගේ ධ්‍රැව ආසන්න කලාපවල මිදුණු ජලය පවතින බව මෙයට පෙර විද්‍යාඥයන් සොයාගෙන තිබිණි. නමුත් මෙම ග්‍රහයා මත ද්‍රව තත්ත්වයේ පවතින ජලය තිබෙන බවට සාක්‍ෂි හමු වූයේ පළමු වතාවට වීම විශේෂත්වයකි. ඒ නිසා මෙය ඉතා වැදගත් සොයාගැනීමක් ලෙස සැලකේ.

යම් දිනෙක අඟහරු වෙත ද මිනිසුන් යැවීම විද්‍යාඥයන්ගේ අපේක්‍ෂාවයි. ඉදිරි අනාගතයේ ඒ මත ස්ථාවර විද්‍යාගාර ආදිය ද ඉදි කරනු ඇත. අඟහරු මත ද්‍රව ජලය සොයා ගතහොත් මෙවැනි අනාගත කටයුතුවලට එයින් විශාල ප්‍රයෝජනයක් අත් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම ජලය යොදා ගෙන ඉන්ධන නිශ්පාදනය කිරීමට ද විද්‍යාඥයන්ට හැකියාව ඇති බව සඳහන් වේ.

InSight යානය ලබා දුන් තොරතුරුවලට අනුව මෙම ජලාශය තිබෙන්නේ අඟහරු පෘෂ්ඨයේ සිට කි.මී. 10-20 ක් අතර ගැඹුරකිනි. යානය ගබඩා කර ගෙන තිබුණේ එය ගොඩබැස තිබූ ස්ථානයට යටින් නැගුණු ශබ්ද තරංග පිළිබඳ දත්ත පමණි. විද්‍යාඥයන් පවසන්නේ අඟහරු මත වෙනත් ස්ථානවල ද එහි පෘෂ්ඨයට යටින් මේ ආකාරයෙන්ම ජලාශ පවතින්නට ඉඩ ඇති බව යි. මේ ආකාරයෙන් ජලය පවතිනවා නම් ඒ ආශ්‍රිතව ජීවීන් ද පවතින්නට බොහෝ දුරට ඉඩ තිබේ.

අඟහරු පෘෂ්ඨයට යටින් පවතින මෙම ජලය මතුපිටට ගැනීමට හැකි තාක්‍ෂණයක් නිර්මාණය කර ගැනීමට අනාගතයේ විද්‍යාඥයන් නිසැකවම පියවර ගනු ඇත.

යම් දිනෙක අඟහරු වෙත ද මිනිසුන් යැවීම විද්‍යාඥයන්ගේ අපේක්‍ෂාවයි. ඉදිරි අනාගතයේ ඒ මත ස්ථාවර විද්‍යාගාර ආදිය ද ඉදි කරනු ඇත. අඟහරු මත ද්‍රව ජලය සොයා ගතහොත් මෙවැනි අනාගත කටයුතුවලට එයින් විශාල ප්‍රයෝජනයක් අත් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම ජලය යොදා ගෙන ඉන්ධන නිශ්පාදනය කිරීමට ද විද්‍යාඥයන්ට හැකියාව ඇති බව සඳහන් වේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්