අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් මුදල් දෙන්නැයි ජනපති භාණ්ඩාගාරයට උපදෙස් දෙයි

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වනතෙක් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ. ඒ ඉදිරි පලාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම පිණිස මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අපේක්ෂා කරන පසුබිමකය.                                                                                                                                                     රජයේ කටයුතු සඳහා පෙර සිදුකළ පරිදි මුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන බැවින් එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට ද බාධාවක් බව ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට පෙන්වා දී ඇත.ඒ අනුව අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අරමුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.වැටුප් ගෙවීම, ණය සේවා, විශ්‍රාම වැටුප්, රෝහල් වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි සහනාධාර, වැඩිහිටි මූල්‍ය ආධාර, ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සඳහා මූල්‍ය ආධාර, වකුගඩු රෝගීන්ට මූල්‍ය ආධාර සැපයීම, ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් වූවන්ට ගෙවීමට අයවැයෙන් යෝජනා කර ඇති මූල්‍යාධාර ලබා දීම සඳහා සේම 5 වසර ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, ත්‍රිපෝෂ වැඩසටහන, ගොවි විශ්‍රාම වැටුප, පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, රණවිරු සහ ආබාධිත රණවිරු දීමනා, රණවිරු මාපිය රැකවරණ දීමනාව, විදුලිය, ජලය, ඉන්ධන සහ අත්‍යවශ්‍ය විදුලි සංදේශ සේවා, රෝහල්සේවා ඇතුලු සේවා සදහා ද ප්‍රතිපාදන වෙන් කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

එතෙර - මෙතෙර