අනිද්දා ඇරඹෙන උසස් පෙළට සියල්ල සූදානම්

අනිද්දා(07) ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කරමින් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා කියයි.කොරෝනා ආසාදිත සිසුන් සඳහා විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කර ඇති අතර එම රෝහල් ලැයිස්තුව www.doenet.lk වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් වරයා කියයි.මේ අතර නිරෝධායනයට ලක්ව සිටින විභාග අපේක්ෂකයින් තම විභාග ප්‍රවේශ පත්‍රයේ දක්වා ඇති නියමිත විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කර තමන් නිරෝධායනය වන්නෙකු බව අදාළ ශාලාධිපති වෙත දැන්වීම අනිවාර්ය වෙයි.ඉන් අනතුරුව එම අපේක්ෂකයින්ට විභාග ශාලාව තුළ ස්ථාපිත කර ඇති විශේෂ විභාග කාමරයක් තුළ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසෙනු ඇති.
කොරෝනා ආසාදිත හෝ නිරෝධායනය වන විභාග අපේක්ෂකයින්ට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබා ගත හැකි බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කාලීන පුවත්