අනුරපුරේ මන්ත්‍රකාරිය ඉල්මනයිට් සොරකමේ

රාජ්‍ය නායකයන්ගේ සිට විවිධ තරාතිරම් වල ප්‍රභූ පුද්ගලයන් සඳහා මන්ත්‍ර ගුරුකම් කර දෙන බව පැවසෙන අනුරාධපුර,අලුත් නුවර පාරේ, පදිංචි කාන්තාවක් රජයේ බලධාරීන්ගේ බලය අයුතු ලෙස යොදා ගනිමින් නීති සහ පරිසර විරෝධී කටයුතු කිහිපයකම නිරත වන බවට අනුරාධපුර ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ අතර එම කාන්තාව විසින් මීට වසරක පමණ සිට මෙහෙයවන පිරිසක් ඛනිජ වැලි සමාගමේ බලපත්‍රයක් රහිතව පුත්තලම, ඉල්මනයිට් නිධියේ ඛනිජ හාරා අලෙවි කිරීමේ කටයුතුවල පවා නිරත වන බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉල්මනයිට් ඛනිජ හාරා ට්‍රැක්ටර්වලින් ප්‍රවාහන කටයුතු සිදුකළ ද ඇය ඊට බලපත්‍ර ලබාගෙන නොමැති බවත්, මෙම කටයුතු වලට රජයේ ඉහළ දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබෙන බවත් අනාවරණය වේ.

මෙලෙස හාරන ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 250ක් වැනි මිලකට අලෙවි කරන බවත්, මේ නිසා රජයට විශාල ආදායමක් අහිමි වී යන බවත් ඛනිජ වැලි සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

මේ අතර පාරිසරික නීති උල්ලංඝනය කරමින් ඇය ඉදිකරන හෝටලයක් සඳහා හමුදා කාර්ය මණ්ඩල පවා යොදා ගන්නා බව ද ප්‍රදේශවාසීහු කියති.

ඒ සමඟම ඔවුන් වැඩි දුරටත් පවසනුයේ මේ වන විට රජය ගෙන ඇති නොවිධිමත් දේශපාලන තීන්දු තීරණ ද ඇගේ උපදෙස් අනුව ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවකි.

කාලීන පුවත්