අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතරේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවන විශේෂිත හැඩයකින් යුතු කෞතුක භාණ්ඩ කිහිපයක් ඇත.
එම විශේෂිත හැඩය නම් එම කෞතුක භාණ්ඩ පුරුෂ ලිංග ස්වරූපය දැරීම ය. එහෙත්, ඒවා සාමාන්‍ය පුරුෂ ලිංග බවක් නොහැඟෙනුයේ ඒවා සමහරක මුදුනේ දක්නට ලැබෙන ඇස් සහ කටවල් සේම පපු පෙදෙසේ පියයුරු ද සළකුණු කොට තිබීම නිසා ය.
අප රටේ පුරාවිද්‍යාත්මක වස්තූන් අතරේ ප්‍රධානතම ලිංගික සංකේතයක් වනුයේ ශිව ලිංගයයි. අනුරාධපුර පසුකාලීන යුගයෙන් ඇරඹී පොලොන්නරු රාජධානී සමය තෙක් විහිද යන අට, නවය, දහය, එකොලහ ආදී සියවස් වලට අයත් විවිධ ප්‍රමාණයන් ගෙන් යුතු ශිලාමය පුරුෂ ලිංග කොතෙකුත් හමුවී තිබේ.
එවන් අඩි හත අටක් දිග යෝධ ශිව ලිංගයක් එහි දිග වැඩිකම නිසාම දෝ කොළඹ ජාතික කෞතුකාගාරයේ ‘පැත්ත පෙරළා’ප්‍රදර්ශනය කරනු ලැබේ. අනුරාධපුරයෙන් සොයා ගන්නා ලද එය අට සහ නව වන සියවස් වලට අයත් වූවක් සේ විශ්වාස කෙරේ. මීට අමතරව තවත් ශිව ලිංග කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතර තිබේ.
හින්දු දේව ත්‍රිමුර්තියට අයත් ශිව දෙවියන් විශ්වයට හිමිකර දුන් ජෛවමය ශක්තිය මූර්තිමත් වනුයේ ශිව ලිංගයෙනි. එනිසාම ශිව භක්තිකයෝ ඊට වැඳුම් පිදුම් කරති; අනේක විධ පුද පූජා කරති. එමෙන්ම එම ශිව ලිංගය සේදූ පැන් භාවිතයෙන් කාන්තාවන්ට දරු ඵල ලැබෙන බවට ද විශ්වාසයක් පවතී. එහෙත්, එම ශිව ලිංග මූර්තියක් දුටු කෙනෙකුට ඒවා සැබෑ පුරුෂ ලිංගයන්ට සමාන බවක් නොහැඟේ. එසේ සිතෙන්නට නම් අප ඒ පිළිබඳ පූර්ව නිගමනයකින් යුතුව ඒවා දෙස බැලිය යුතු ය.
එහෙත්, අනුරාධපුර කෞතුකාගාරයේ ඇති මෙම ඇස්, කටවල් සහ පියයුරු සහිත පුරුෂ ලිංග එසේ නොවේ. එවැන්නක් සැබෑ ලෙසින් දර්ශන මාත්‍රයකට ලක් වූ ඕනෑම කෙනෙකුට ඒවා දුටු සැනින් මේ මොනවාදැයි සැනින් වැටහෙනු ඇත. එහෙත්, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ භාණ්ඩ අතරට මෙම පුරුෂ ලිංග එක්වූයේ කෙසේද? මේවායේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කම කුමක්ද? තවමත් ඒ සම්බන්ධයෙන් අප සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී ඇති බවක් නොපෙනෙයි.
මෙම පුරුෂ ලිංග අයත් කෞතුක භාණ්ඩ ගණය වන්නේ ‘ටෙරා කොටා’ ය. ටෙරා කොටා යනු මැටියෙන් තනා පුළුස්සන ලද බඳුන්, මූර්ති, විසිතුරු භාණ්ඩ ආදියයි. මෙම ටෙරා කොටා වලට පූර්ව ඓතිහාසික යුගය ද ඉක්මෙන ඉතිහාසයක් තිබේ.
චීනයේ ෂිජියාහේ සංස්කෘතිය (ක්‍රි. පූර්ව 2500-2000)ට අයත් මෙවැනි මානව සහ සත්ව රූප සහිත ටෙරා කොටා චීනයේ හුබෙයි පළාතේ, ෂිජියාහේ නගරය ආශ්‍රිත යැංසි ගංගාධාර ප්‍රදේශයෙන් හමු වී තිබේ. කලාත්මක සහ තාක්ෂණික වශයෙන් ඉහළ තලයක ඇති එවන් ලොව බොහෝ ශිෂ්ටාචාර වලින් ද අඩු වැඩි වශයෙන් හමු වී තිබේ.
නමුදු මේවායේ භාවිතය සම්බන්ධයෙන් අදහස් පළ කරන විද්වත්හු මේවා යාතු කර්ම, සඳහාත් ප්‍රභූන් පරිහරණය සඳහාත් ඇතැම් විට විසිතුරු හා කෙළි බඩු සඳහාත් යොදා ගත් බවට අනුමාන කරති. නමුදු මිනිස් සත්ව හැඩතල සහිත බොහෝ ටෙරා කොටා සජීවී හැඩයන්ට වඩා යම් වෙනස් විපරීත බවක් දක්වන බව පෙනෙයි.
නමුදු අනුරාධපුර කෞතුකාගාරයේ ඇති පුරුෂ ලිංග හැඩයේ ටෙරා කොටා වල නම් එවැනි කිසිදු විපරීතයක් දක්නට නොමැති බව මගේ වැටහීම ය.ටෙරා කොටා වශයෙන් හඳුනා ගත හැකි මෙම පිළිස්සූ මැටි නිර්මාණ අප රටේ උතුරු, උතුරුමැද, ,වයඹ ආදී පලාත්වල ගංගාද්‍රෝණි, වැව්, ඇල දොළ ආශ්‍රිතව බහුල වශයෙන් හමු වී තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට යාපනය, අනුරාධපුර, පුත්තලම,කුරුණෑගල සේම මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය ප්‍රදේශය මෙම ටෙරාකොටා හමු වූ ස්ථාන ලෙස හැඳින්විය හැක.
මේවා මුලින්ම හමුවී ඇත්තේ තබ්බෝව මරදන්මඩුව ප්‍රදේශයෙන් නිසා මේවා එම සම්ප්‍රදායට අයත් බවට නාම කරණය කොට තිබේ.එහෙත්, මේවා බොහෝ විට භූමියේ මතුපිට පාංශු ස්තරයන් තුළින් මතු වී තිබීම නිසා පැහැදිලිව කිව හැකි දෙයක් තිබේ. එනම් මේවා මීට වසර පන්සියයකට මෙපිට තනා භාවිතයට ගන්නා ලද ඒවා බව ය.
කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු තවත් කෞතුකාගාර කිහිපයක ප්‍රදර්ශනය හා සංසරක්ෂණය කෙරෙන මෙම ටෙරා කොටා කුමන භාවිතයක් සඳහා ගැනුණේ ද යන්න පිළිබඳ මෙතෙක් පැහැදිලි නිශ්චයක් ලැබී නැත.
නමුදු විවිධ ඉරියව් සහ අංග චලන දක්වන මිනිස් සහ සත්ව රූප සමඟම යම් යම් වස්තූන් ද මෙම ටෙරා කොටා වශයෙන් නිර්මාණය කොට තිබේ.
පැහැදිලි ඓතිහාසික හෝ මානව ශාස්ත්‍රීය පදනමක් සොයා ගත නොහැකි පසුබිමක හමු වී ඇති මෙම මිනිස් සහ සත්ව රූප එවක සමාජයේ අනේක විධ මානව අවශ්‍යතා මූල්කොට යොදා ගන්නා ලද යාතුකර්ම සඳහා භාවිතා කරන්නට ඇත යන්න ඒ සම්බන්ධයෙන් මේ වන විට එළැඹ ඇති පොදු ශාස්ත්‍රීය නිගමනයයි.
විශේෂයෙන් නියඟය පිටුදැක වර්ෂාව ලැබීම පිණිසත්, කෘෂි අස්වනු පාළුවීම වළකාලීම පිණිසත්, වදුරු වසංගත පැතිර යාම වැළැක්වීම පිණිසත් සිදුකරන ලද ජන ආගමික යාතු කර්ම සඳහා මෙම ටෙරා කොටා යොදා ගන්නට ඇත. විශේෂයෙන් අයා ගත් විශාල මුව සහිත සජීවී නොවන සතුන් විශේෂ මෙම ටෙරා කොටා වල බහුල ලෙසම දක්නට ලැබේ.
ඒවා අතීත ජන ආගමේ වර්ෂා යාතු කර්ම සඳහා යොදා ගන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. නමුදු මේවායේ ශිල්පීය තාක්ෂණය සහ නිර්මාණ ලක්ෂණ එතරම් දියුණු තත්වයක නැත. මෙම ටෙරා කොටා පිළිබඳව විස්තර කළ මම ඒවා සඳහා යොදන ගැමි ව්‍යවහාරය කුමක් දැයි ප්‍රදේශ ගණනාවකම ගැමියන් ගෙන් අසා සිටියෙමි.
නමුත් ඔව්හු බොහෝ දෙනෙක් ඒ සඳහා කියන නමක් දැන නොසිටියහ. පසුව මම පඬුවස්නුවර විද්‍යා කෞතුකාගාරයේ හිටපු පුරාවිද්‍යා නිලධාරී සුනිල් ආනන්ද මහතා ගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමි. එවිට ඔහු කියා සිටියේ කුලියාපිටිය ප්‍රදේශයේ පැරණි ගැමියන් ඒවා ‘පරණ මැටි බලි’ යනුවෙන් හඳුන්වන බව ය.
එම ගැමි ව්‍යවහාරය සඳහා උචිත ද යන්න මට පසක් වූයේ මේවා නිර්මාණය ද එක්තරා බලි ඇඹීමක් ම වන බැවිනි. එමෙන්ම පිළිස්සූ මැටියෙන් සවිමත් ලෙස සකසා තිබුණ ද මෙම බොහෝ ටෙරා කොටා වලට හානි සිදුවී ඇති බවක් පෙනේ. ඒ ඒවා ඇසුරින් සිදු කෙරෙන යාතු කර්මවලදී ඒවා පොළොවේ ගසා විනාශ කිරීම වැනි සම්ප්‍රදායක් තිබූ නිසා ද විය හැක. එහෙත්, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ දී අප දුටු පුරුෂ ලිංග ටෙරා කොටා දෙක තුනට නම් එවැනි හානියක් සිදුව ඇති බවක් නොපෙනුණි.
“අපේ රටේ ඔය ටෙරා කොටා පුරාවිද්‍යාත්මක වශයෙන් ලොකු අගැයුමකට ලක් වෙලා නෑ. ඕවා තාක්ෂණික සහ නිර්මාණාත්මක වශයෙන් එච්චර උසස් තත්වයක නොතිබීම, මීට සියවස් කිහිපයකට ඉහත අපේ පුරාණ වැව් ගම් ආශ්‍රිතව තිබුණු චූල ජන ආගමික සම්ප්‍රදායකට අයත් වීම වගේ දේවල් ඒකට බලපාන්න ඇති; ඒ වගේම ඒ කාලේ ගැමියන් ගේ ජීවිතවල තිබු හැම අවශ්‍යතාවයක්ම සමකාලීන ජන ආගමක් එක්ක සම්බන්ධ බව තමයි විවිධාකාරයෙන් හමුවෙන ඔය නිර්මාණවලින් පේන්නේ” මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රතිමා, මූර්ති කලා විශේෂඥවරයෙකු වන හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා කී ය.
ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති විවිධ මානව අවශ්‍යතා මුල් කොටගත් ටෙරා කොටා නිර්මාණ අතුරින් මෙම පුරුෂ ලිංග මූර්තිමත් කෙරෙන ටෙරා කොටා කාන්තාවන්ට දරු ඵල හිමිකර දීම සම්බන්ධ යම් යාතු කර්මයක් සඳහා යොදා ගන්නා ලද ඒවා බව පැහැදිලි ය.
එමෙන්ම එම පුරුෂ ලිංගයන්හි මුහුණක අංග සහ පියයුරු සළකුණු කිරීමෙන් එය මිනිස් දරු උපත් අපේක්‍ෂාවෙන් කළ යාතු කර්ම සඳහා යොදා ගන්නා ලද ඒවා බව විය හැකි යැයි මට සිතෙයි.
තිලක් සේනාසිංහ
(විශේෂ ස්තුතිය:පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංගයන්ට සහ අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරයේ ස්ථාන භාර නිලධාරිනී තමරා දීපානි නාරායන මහත්මියට)