“අපට කාන්තාවන් සමග හරියටම කළ හැක්කේ එකම එක දෙයක් පමණි.” මොකක්ද ඒ කතාවේ තේරුම?

 

එක් ත්‍රිරෝද රථයක් පිටුපස මෙවැන්නක් දක්නට ලැබිණි.

“අපට කාන්තාවන් සමග හරියටම කළ හැක්කේ එකම එක දෙයක් පමණි.”

මේ වැකිය අපට බොහෝ දේ සිතන්නට අවස්ථාව සලසා දෙයි. පිරිමියකුට කාන්තාවක සමග කළ හැකි බොහෝ දේවල් අතරින් මේ “හරියටම කළ හැකි”එකම එක දෙය කුමක්ද යන ගැටලුව එකවර සිතට නැගෙන්නට පුළුවන. අනෙක් අතට වෙන කිසිදු දෙයක් කාන්තාවක සමග පිරිමියකුට කළ නොහැකි බැවින් එයින් එක්කෝ පිරිමියාගේ දුර්වලකමක් හෝ කාන්තාවගේ දුර්වලකමක් කියවෙනවා ද යන ගැටලුව ද එකවර සිතට නැගේ. මෙය අනියමාර්ථයකින් සඳහන් කළ හැකි නම් මෙය තුළ ඇත්තේ ලිංගික සබඳතාවක් පිළිබඳ ඉඟියක් වන්නට ද පුළුවන. මෙය හුදෙක් කියවා ඉවත හෙළිය හැකි දෙයක් ලෙස නොව මේ අපට යම්කිසි විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන්නට හැකියාව තිබේ.

කාන්තාවක සහ පිරිමියකු අතර යම්කිසි ආකර්ෂණයක් ඇතිවීමේ ක්‍රියාවලියේ දී ඔවුන් අතර ඇති හැසිරීම් රටාවන් කෙමෙන් වෙනසකට බඳුන් වේ. මෙය ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන්නක් වන අතර එහි දී කාන්තාව යම්කිසි අවනතභාවයකට ලක් වන සුළු ස්වභාවයක් පෙන්නුම් කරන අතර පිරිමියා යම්කිසි දැඩි, ශක්තිමත් ස්වභාවයකට පත් වෙයි. මේ අවස්ථාවේ දී කාන්තාවගේ ඊස්ට්‍රජන් හෝමෝනය මෙන්ම පිරිමියා තුළ ලිංගිකත්වය උද්දීපනය කරන ටෙස්ටස්ටෙරෝන් ශ්‍රාවය වීම සිදු වේ. ඊට අමතරව දෙපාර්ශ්වය තුළම ඩොපමීන්, එන්ඩොපීන්, සෙරටොනින් වැනි හෝමෝනවල ක්‍රියාකාරීත්වයන් ඉස්මතු වේ. මේ සියල්ල තුළින් කාන්තාව සහ පිරිමියාගේ ශරීර සූදානම් කරවන්නේ ලිංගික කටයුත්තකට වුව ද එය තුළ ඉන් ඔබ්බට ගමන් කරන යම්කිසි දෙයක් දක්නට ලැබේ. එය ඉංග්‍රීසි බසින් Caress ලෙස හැඳින්වෙන අතර එය අපට ‘ප්‍රේමාලිංගිනය’ වැනි වදනකින් හැඳින්විය හැකිය. ප්‍රේමාලිංගන අවස්ථාවේ දී මේ හෝමෝන ශ්‍රාවය වීම තුළින් විශේෂයෙන් කාන්තාව තුළ ලිංගික එක්වීමකට අවශ්‍ය කරන සූදානම සකස් කරයි. පිරිමින්ට මෙන් ඉතා ඉක්මනින් එවැනි අවස්ථාවකට කාන්තා සිරුර සූදානම් නොමැති නිසා මේ ප්‍රේමාලිංගන කාර්යය අතිශයින් වැදගත් වේ. මෙය ඇතැම් සතුන් කෙරෙන් ද යම් යම් මට්ටම්වලින් දක්නට ලැබෙන්නක් වන නමුත් මිනිසුන් අතර පවතින මට්ටමකින් එය සිදු වන්නේ නැත. මෙහි දී පිරිමියා කෙරෙන් යම්කිසි ආක්‍රමණශීලී නමුත් ප්‍රේමනීය ස්වභාවයක් දැඩි ලෙස මතුවන නමුත් ඔහු බොහෝ විට කාන්තාවගේ අභිමතයන්ට එරෙහිව නොයා ඇය සමග යම්කිසි ඇලෙමින් ගැලෙමින් හැසිරෙන ස්වභාවයක් පෙන්නුම් කරයි.

ප්‍රේමාලිංගින කටයුත්ත අවසන් වන්නේ පිරිමියා සහ කාන්තාව අතර සිදු වන ලිංගික ක්‍රියාවලියෙනි. පිරිමියකු සහ ගැහැනියක අතර සිදු වන බොහෝ වැඩකටයුතු යම් යම් මට්ටම්වලින් අඩුලුහුඬුකම්වලින් යුක්ත වුව ද මේ ප්‍රේමාලිංගින ක්‍රියාවලිය තුළ එවැනි ස්වභාවයක් දක්නට ලැබීම ඉතා අවම බව ද පර්යේෂණ මගින් හෙළි වී තිබේ.

අනෙකාගේ උරහිස, කම්මුල් ස්පර්ශ කිරීම, හිසකේ පිරිමැදීම වැනි ප්‍රේමනීය ස්පර්ශයන් බහුල වශයෙන් දක්නට ලැබෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ Institute of Technology (Caltech) ආයතනයේ ස්නායුවේදීන් නෙදර්ලන්තයේ ග්‍රොනිගන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනෙකු සමග එක්ව මේ පිළිබඳ පර්යේෂණයක් සිදු කළේය. ගැහැනියක සහ පිරිමියකු අතර සිදු වන මේ ප්‍රේමාලිංගන ස්පර්ශයේ දී සිදු වන්නේ කුමනාකාර දෙයක් ද යන්න සොයා බැලීම මෙහි අරමුණ විය.

මේ සඳහා MRI scan යන්ත්‍රයක් භාවිත කරමින් කාන්තාවන් කෙරෙහි පමණක් ආකර්ෂණය ඇති (සමලිංගික නොවන) පිරිමින් සම්බන්ධ කර ගනු ලැබිණි. මෙහි දී පිරිමියාගේ පාද යම්කිසි ප්‍රේමනීය ස්වභාවයකින් ස්පර්ශ කරන අතරේ වීඩියෝ දර්ශන දෙකක් නරඹන්නට අවස්ථාව ලබා දෙන ලදී. එක් වීඩියෝවක තිබුණේ මේ පර්යේෂණයට සහභාගී කර ගත් පිරිමියාගේ දෙපා ස්පර්ශ කරන්නට මෙන් නැවෙන ආකර්ෂණීය කාන්තාවකගේ දර්ශනයකි. දෙවැනි වීඩියෝවේ තිබුණේ එම ක්‍රියාවම කරන්නට සූදානම් වන පිරිමියකුගේ දර්ශනයකි. මෙහි දී කාන්තාව දෙපා ස්පර්ශ කරන්නට සැරසෙන දර්ශනයේ දී පිරිමියා තුළ ලිංගික වශයෙන් මහත් ප්‍රබෝධජනක හැඟීම් පහළ වන බවත් පිරිමියා දෙපා ස්පර්ශ කරන්නට සැරසෙන වීඩියෝවේ දී එය සහමුලින්ම වෙනස් වූ බවත් දක්නට හැකි විය.

කාන්තාවකගේ ප්‍රේමාලිංගන ස්පර්ශයට සම්බන්ධව මොළයේ ක්‍රියාකාරීවන්නේ somatosensory නම් බාහිකය බව සොයා ගනු ලැබිණි. භෞතිකව සිරුරට ලැබෙන ස්පර්ශය භාවාත්මක ලෙස විශ්ලේෂණය කරනුයේ මේ කොටසේ දීය. ඒ ස්පර්ශය සතුටක් ද දුකක් ද, අපුල දනවන්නක් ද ආදිය අප තුළ ඇති කරන්නට හේතු වන්නේ මේ කොටසේ සිදු වන ක්‍රියාකාරීත්වයයි. මේ පර්යේෂණයේ විශේෂිතම දෙය වූයේ කාන්තාව සහ පිරිමියා පෙනී සිටින වීඩියෝ දර්ශන දෙකේදී ම පිරිමින්ගේ දෙපා ස්පර්ශ කරන ලද්දේ කාන්තාවක විසින්ම බව එයට සහභාගී කරගත් පිරිමින් නොදැන සිටීමය. මෙහිදී කාන්තාව පෙනී සිටින දර්ශනයේ දී පිරිමියා පෙනී සිටින දර්ශනයට වඩා ක්‍රියාකාරීත්වයක් somatosensory බාහිකය තුළ පැහැදිලිවම දක්නට ලැබිණි.

මේ ප්‍රේමාලිංගින කටයුත්ත අවසන් වන්නේ පිරිමියා සහ කාන්තාව අතර සිදු වන ලිංගික ක්‍රියාවලියෙනි. පිරිමියකු සහ ගැහැනියක අතර සිදු වන බොහෝ වැඩකටයුතු යම් යම් මට්ටම්වලින් අඩුලුහුඬුකම්වලින් යුක්ත වුව ද මේ ප්‍රේමාලිංගින ක්‍රියාවලිය තුළ එවැනි ස්වභාවයක් දක්නට ලැබීම ඉතා අවම බව ද පර්යේෂණ මගින් හෙළි වී තිබේ. එබැවින් අප මුලින්ම සඳහන් කළ ත්‍රිරෝද රථයේ රියදුරා එම වැකිය දැනුම්වත්ම හෝ එසේ නොමැති හෝ ඒ බව සඳහන් කළ ද එය තුළ ගැඹුරු, විද්‍යාත්මක සත්‍යයක් පවතින බව පැහැදිලිය. එනම් කාන්තාව පිරිමි අතර සිදු වන අතෝරක් නොමැති ක්‍රියාවන් අතරේ පිරිමියාට කාන්තාව සමග පරිපූර්ණව කළ හැකි එකම එක දෙයක් පමණක් ඇති බවය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර