අපේ බත් පතට චීනයෙන් එක් වූ දෙවන බත “ෆ්‍රයිඩ් රයිස්”

ලෝකයේ කුමන රටක අයෙකු වුවත් ‘රයිස්’ (rice) යන වදනෙන් අදහස් කරන්නේ එක් දෙයකි. ඒ සහල් ඇට තම්බා පිළියෙල කර ගන්නා ප්‍රධාන ආහාරයක් ලෙසය. නමුත් ශ්‍රී ලංකාවේ එසේ නොවේ. ශ්‍රී ලංකාවේ දී යමෙක් අවන්හලකට හෝ සාමාන්‍ය හෝටලයකට හෝ ගොස් ‘රයිස් එකක් දෙන්න’ යැයි ඇණවුම් කළහොත් ලැබෙන්නේ බත් සමග වෑංජන කිහිපයක් නොවේ. අපට ලැබෙන්නේ චිලි පේස්ට්, සලාදයක්, දුරු මිරිස්, සෝස් ආදිය යොදා පිළියෙල කළ කුකුළු මස් හෝ දැල්ලන් සමග චීන ආහාර සංස්කෘතිය තුළ පිළියෙල වන ‘ෆ්‍රයිඩ් රයිස්’ (fried rice) එකකි. මෙය ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතිය තුළට මේ වන විටත් තදින් කෑ වැදී ස්වකීය අනන්‍යතාවක් ගොඩ නගා ගනිමින් පරිණාමය වෙමින් පවතී.

චීන ෆ්‍රයිඩ් රයිස්වල ඉතිහාසය අපූරු මෙන්ම බොහෝ ඈත අතීතයකට ද ගමන් කරයි. එය ක්‍රිස්තු වර්ෂ 589 – 618 අතර සමයේ පැවති ‘සුයි’ නම් චීන රාජවංශය සමයේ ඇති වූවක් යැයි පැවසේ. එය චීනයේ ජියැංසු පළාතේ යැංසු නගරයේ දී උපත ලැබුයේ යැයි විශ්වාස කෙරේ. මෙහි මුල් නම ‘යැංසු ෆ්‍රයිඩ් රයිස්’ (Yangzhou fried rice) වූ අතර ඉතිරි වූ ආහාර අපතේ යෑම වළක්වා ගැනීම පිණිස සොයා ගත් ආහාර වර්ගයක් ලෙස මේ පිළිබඳ සඳහන් වේ.

චීන අවන්හලක්

චීන ෆ්‍රයිඩ් රයිස්වල ඉතිහාසය අපූරු මෙන්ම බොහෝ ඈත අතීතයකට ද ගමන් කරයි. එය ක්‍රිස්තු වර්ෂ 589 – 618 අතර සමයේ පැවති ‘සුයි’ නම් චීන රාජවංශය සමයේ ඇති වූවක් යැයි පැවසේ. එය චීනයේ ජියැංසු පළාතේ යැංසු නගරයේ දී උපත ලැබුයේ යැයි විශ්වාස කෙරේ. මෙහි මුල් නම ‘යැංසු ෆ්‍රයිඩ් රයිස්’ (Yangzhou fried rice) වූ අතර ඉතිරි වූ ආහාර අපතේ යෑම වළක්වා ගැනීම පිණිස සොයා ගත් ආහාර වර්ගයක් ලෙස මේ පිළිබඳ සඳහන් වේ. ඉතිරි වූ බත් සහ මස් අපතේ යෑම වළක්වා ගැනීම සඳහා ඒවා එළවළු සහ සෝයා සෝස් සමග මිශ්‍ර කොට රසවත් නව ආහාරයක් සොයා ගනු ලැබිණි. කාලයත් සමග මේ ආහාරය කලාපීය රසයන් සහ අමුද්‍රව්‍ය මුසු කරමින් පරිණාමය වෙමින් චීනය තුළ පැතිර ගියේය.

සාම්ප්‍රදායික චීන බිත්තර ෆ්‍රයිඩ් රයිස්

චීන ජාතිකයන් ලෝකයේ වෙනත් රටවලට සංක්‍රමණය වීම සහ 19 සහ 20 වැනි සියවස්වල ගෝලීය වෙළෙඳාම වර්ධනය වීමත් සමග ආසියාව ඔස්සේ ශ්‍රී ලංකාවට ද ෆ්‍රයිඩ් රයිස් ප්‍රවේශ විය. චීන සංක්‍රමණිකයන් සහ දේශීය වශයෙන් පැවති චීන අවන්හල් මෙය තව තවත් ප්‍රචලිත කරන්නට පටන් ගත්තේය. මෙය ශ්‍රී ලාංකේය සූපවේදීන් අතට පත්වීමත් සමග එය දේශීය කුළුබඩු, දේශීය එළවළු සහ දේශීය වශයෙන් වූ විවිධ සහල් වර්ගවලට අනුගත වන ආකාරයෙන් පිළියෙල වන්නට පටන් ගත්තේය.

අන්නාසි ෆ්‍රයිඩ් රයිස්

සාම්ප්‍රදායික චීන ෆ්‍රයිඩ් රයිස් සඳහා යොදා ගැනුණේ දිග ඇටයක් සහිත සුදු සහල් වර්ගයකි. ඇතැම් අවස්ථාවල දී තායිලන්තයේ පවතින ‘ජැස්මින්’ නම් සහල් වර්ගය සහ ජපානයේ ඇති කුඩා සහල් වර්ගයක් ද මේ සඳහා යොදා ගැනුණි. කෙසේ නමුත් ගෝලීය වශයෙන් මේ සඳහා බහුල වශයෙන් යොදා ගන්නා ජනප්‍රියතම සහල් වර්ගය වන්නේ දිගු ඇටයක් සහිත, නොඇලෙන සහ සහ අපූරු සුවඳක් විහිදුවන ‘බාස්මතී’ ය.

බාස්මතී සහල් භාවිත කිරීම තුළින් රයිස් එකක මිල ඉතා අධික වන බැවින් බොහෝ සාමාන්‍ය අවන්හල්වල මේ සඳහා භාවිතයට ගැනෙන්නේ ‘කීරි සම්බා’ය. කලකට පෙර ’පොන්නි සම්බා’ ද මේ සඳහා යොදා ගැනුණේ එය ද දිගු ඇටයක් සහිත නොඇලෙන සම්බා වර්ගයක් වූ නිසා ය. කෙසේ නමුත් මෙය චීනයේ උපත ලද මුල්ම ෆ්‍රයිඩ් රයිස් එකට වඩා වෙනස් වුවද, කීරි සම්බාවලින් පිළියෙල කරනු ලබන ෆ්‍රයිඩ් රයිස්වලට ද ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ නොමද ආදරයකි. කීරි සම්බා මගින් චීන ෆ්‍රයිඩ් රයිස්වලට අපූරු දේශීය රසයක් මුසු කරන්නට සමත්ව තිබේ.

ෆ්‍රයිඩ් රයිස් එකක්

චීන ෆ්‍රයිඩ් රයිස් පිළියෙල කර ගැනීමේ පදනම ඉතා සරලය. ඒ සඳහා පිසින ලද සහල්, එළවළු සමග බිත්තර හෝ මස් මිශ්‍ර කොට හොඳින් කවළම් කරනු ලබයි. එය තවත් රසවත් කිරීම සඳහා සෝයා සෝස් ද එක් කරයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය ෆ්‍රයිඩ් රයිස් සඳහා කලින් පිළියෙල කර ගත් කීරි සම්බා බත්, කැරට්, ලීක්ස්, ගෝවා, ග්‍රීන් පීස් සහ ලොකු ළුෑනු යොදා ගනියි. එමෙන්ම බිත්තරයක් කඩා දැමීම හෝ ඔම්ලට් සේ සකස් කළ බිත්තර කුඩා කොටස්වලට කැඩී යන ආකාරයෙන් විසුරුවා හැරීම ද සිදු කරයි. කුකුළු මස්, ඉස්සන් හෝ දැල්ලන් මිශ්‍ර කොට එයට ප්‍රෝටීන දායකත්වයක් ලබා දෙයි. සෝයා සෝස් හෝ ඔයිස්ටර් සෝස් ද එක් කරයි. එතැනින් නතර වන්නේ නැත. එයට ඉඟුරු සහ සුදු ළුෑනු, අමුමිරිස් හෝ කෑලි මිරිස්, ලුනු සහ ගම්මිරිස් ද වඩාත් රසවත් කිරීම සඳහා අජිනමොටෝ ද එක් කරයි.

එළවළු ෆ්‍රයිඩ් රයිස්

ඇතැම් අවන්හල්වල මේ මිශ්‍රණයට අන්නාසි කැබලි සහ කජු ද එක් කරනු දැකිය හැකිය.

අජිනමොටෝ භාවිතය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී මතයක් පැවතිය ද ෆ්‍රයිඩ් රයිස්වල උපරිම රසවත් බව ලබා ගැනීම පිණිස මේවා යොදා ගැනේ. සාම්ප්‍රදායික චීන ෆ්‍රයිඩ් රයිස් සඳහා මේවා මධ්‍යස්ථ මට්ටමින් යොදා ගැනුණ ද, ශ්‍රී ලංකාව තුළ එය විවිධ ප්‍රමාණයන්ගෙන් යොදා ගනු ලබන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් කුඩා අවන්හල් සහ හෝටල්වල මෙහි රසය ඉහළ දැමීම සඳහා සීමාවකින් තොරව අජිනමොටෝ භාවිත කරනු දකින්නට හැකිය. මේවායේ සෞඛ්‍ය ගැටලු පවතින බවට පැතිර යන මතය නිසා ප්‍රධාන පෙළේ සහ සුප්‍රකට අවන්හල්වල මෙය ඉතා අඩුවෙන් යොදා ගැනීම හෝ කිසිසේත්ම යොදා ගැනීමෙන් වැලකී සිටීම හෝ දැකිය හැකිය.

ඌරු මස් ෆ්‍රයිඩ් රයිස්

‘ආහාර සහ ඖෂධ පරිපාලනය’ (FDA) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අජිනමොටෝ මධ්‍යස්ථ ලෙස භාවිත කිරීම අනුමත කර තිබෙන අතර අධික ලෙස භාවිතයෙන් ඇතැම් පුද්ගලයන් තුළ හිසරදය, දහඩිය දැමීම සහ ඔක්කාරය වැනි ලක්ෂණ පහළ විය හැකි අතර, මෙය බොහෝ විට චීන ආහාර සමග අත්වැල බැඳගෙන පැමිණෙන බැවින් එවැනි තත්ත්වයක් ‘චීන අවන්හල් සහලක්ෂණය’ (Chinese Restaurant Syndrome) යන නමින් හඳුන්වනු ලබයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිය සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන පාරිභෝගිකයන් ෆ්‍රයිඩ් රයිස් ඇණවුම් කිරීමේ දී අජිනමොටෝ මිශ්‍ර නොකරන මෙන් ඉල්ලා සිටිනු දැකිය හැකිය.

ශ්‍රී ලාංකේය ෆ්‍රයිඩ් රයිස් එකක්

ෆ්‍රයිඩ් රයිස්වල වාසි අවාසි දෙකම දැකිය හැකිය.

මෙය එක්තරා ආකාරයකට සමබර ආහාරයක් ලෙස ද වර්ග කොට තිබේ. එනම් බත්වලින් කාබෝහයිඩ්‍රේට් ද, බිත්තර හෝ මස්වලින් ප්‍රෝටීන ද එළවළුවලින් තන්තුමය ස්වභාවය ද ලැබෙන නිසාය. දුඹුරු සහල් සමග තෙල් අඩුවෙන් භාවිත කොට නිවෙස්වල පිළියෙල කර ගන්නා ෆ්‍රයිඩ් රයිස්වල සෞඛ්‍ය සම්පන්න බව ඉහළය. එමෙන්ම විටමින් B, සෙලේනියම් සහ යකඩ ද මේ මිශ්‍රණය කුළ අඩංගු වේ.

වාසි සහගත තත්ත්වය එසේ වුව ද අවාසි ද දැකිය හැකිය. අවන්හල්වල දී ලැබෙන ෆ්‍රයිඩ් රයිස්වල තෙල්, සෝඩියම් සහ අජිනමොටෝ ඉතා ඉහළ මට්ටමකින් පවතී. සුදු සහල් සහ පිරිපහදු කරන ලද සෝස් වර්ග භාවිත කිරීම නිසා රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යා හැකිය. අධික ලෙස ෆ්‍රයිඩ් රයිස් පරිභෝජනය හේතුවෙන් ශරීරයේ බර වැඩි වීම, සහ අධික රුධිර පීඩනය ඇති විය හැකිය.

සුයි රාජ වංශයේ දෙවැනි අධිරාජයා වූ යැංදි

ෆ්‍රයිඩ් රයිස් මේ වන විට විවාහ මංගල්‍යයන්, සාද, කාර්යාල දිවා ආහාරය, පැකට් කොට රැගෙන යාම සඳහා කෑම පිළියෙල කරනා ස්ථානවල, මළ ගෙවල් සහ දාන ගෙවල්වල, දන්සැල්වල ආදී මෙකී නොකී සෑම තැනකම අතිශය ජනප්‍රිය ආහාරයක් බවට පත් වී අවසන්ය. චීනය තුළ මුලින්ම ෆ්‍රයිඩ් රයිස් පිළියෙල වූයේ ඉතිරි වූ ආහාර අපතේ යෑම වළක්වා ගැනීම සඳහා වුව ද, මේ වන විට කුකුළු මස්, චිලි පේස්ට්, බටර් සමග මිශ්‍ර කළ දැල්ලන්, රසවත් ලපටි බඩ ඉරිඟු සුප් වැනි තවත් බොහෝ දේවල සමග මිශ්‍ර කොට තිබීම තුළ එය චීන මුතුන්මිත්තාට වඩා අතිශය වෙනස් තැනකට පත්ව තිබෙන බව පැවසිය යුතුය. එය තුළ හුදෙක් ආහාර පරිණාමයක් පමණක් නොව සංස්කෘතික පරිණාමයක් ද දැකිය හැකිය.

ෆ්‍රයිඩ් රයිස් චීනයේ උපත ලැබූ බව සැබෑ නමුත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ එය තමාගේම අනන්‍යතාවක් ගොඩ නගාගෙන තිබේ. එය හුදෙක් එක් කෑම වේලක් පමණක් නොව ජනප්‍රිය සංස්කෘතිය ද පිළිබිඹු වන්නකි. එය මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ආහාර අතරින් එකක් බවට පත්ව හමාරය. ඔබ අවන්හලකට ගොස් ‘රයිස්’ එකක් ඇණවුම් කොට සුදු බත් සමග වෑංජන බලාපොරොත්තු නොවිය යුතු වන්නේ එබැවිනි.

සාම්ප්‍රදායික චීන කුකුළු මස් ෆ්‍රයිඩ් රයිස්

ෆ්‍රයිඩ් රයිස් චීනයේ උපත ලැබූ බව සැබෑ නමුත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ එය තමාගේම අනන්‍යතාවක් ගොඩ නගාගෙන තිබේ. එය හුදෙක් එක් කෑම වේලක් පමණක් නොව ජනප්‍රිය සංස්කෘතිය ද පිළිබිඹු වන්නකි. එය මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ආහාර අතරින් එකක් බවට පත්ව හමාරය. ඔබ අවන්හලකට ගොස් ‘රයිස්’ එකක් ඇණවුම් කොට සුදු බත් සමග වෑංජන බලාපොරොත්තු නොවිය යුතු වන්නේ එබැවිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

උරුමයක අසිරිය