අපේ රටත් භූමි කම්පා අවදානමකද?

ඉදිරියේදී ශ්‍රී ලංකාවට භූ චලන තර්ජනයක් ඇති වූවහොත් ඉන් සිදුවිය හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන අතර මෙයට මූලිකව වැඩකටයුතු කරන භූ විද්‍ය හා පතල් කාර්යාංශය පවසන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඇතුළු අදාළ සියලු ආයතන සම්බන්ධ කරමින් මෙම වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි. තුර්කියේ සහ සිරියාවේ සිදු වූ මහා භූ චලනයට පසු ශ්‍රී ලංකාවේ මොනරාගල, බුත්තල වැනි ප්‍රදේශවලින් ද සුළු කම්පන තත්ත්වයන් වාර්තාවීමත් සමග අපට රටේ ද භූ චලන ඇති වේ යැයි බියක් පැතිර යමින් පවතී. මෙවැනි සුළු කම්පන තත්ත්වයන් අපේ රටෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට පෙර ද කිහිප වතාවක් ම මෙවැනි සිදුවීම් වාර්තා විය. මේ නිසා එම ප්‍රදේශය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බව ද එම කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති නිවේදනයට පෙර, එනම්, පසුගිය පෙබරවාරි 23 වැනිදා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පවත්වා අවධාරණය කළේ ගොඩනැගිලි කඩා වැටී තුර්කියේ මෙන් මහා විනාශකාරී භූ චලන තත්ත්වයක් අප රටේ ඇතිවන්නට කිසිසේත්ම ඉඩක් නොමැති බව ය. මේ නිසා අපට සැනසුම් සුසුමක් හෙළිය හැකි වුව ද භූ චලන යනු කුමක්ද, අප රට භූ චලනයන්ට නිරාවරණය වන්නට ඇති ඉඩකඩ කෙතරම් ද වැනි කරුණු පිළිබඳ දැනුම්වත් ව සිටීම සෑම අතින්ම වැදගත් ය.

භූ චලන යනු කුමක්ද?

පෘථිවිය සැලකිල්ලට ගතහොත් එය තැනී ඇත්තේ ස්ථර කිහිපයකිනි. (රූපසටහන 1) මතුපිටින්ම ඇත්තේ ලෝකයේ රටවල් පිහිටා ඇති මහාද්වීපික කබොලයි (Continental crust). ඊට යටින් සාගරික කබොල (Oceanic Crust) ද, ඊටත් යටින් ශිලාගෝලය (Lithosphere) ද පිහිටා තිබේ. මේ ශිලාගෝලය සෑදී ඇත්තේ එකක් මත එකක් පාවෙන තැටිවලිනි. මේවා ‘භූ කාරක තැටි’ (tectonic plates) නමින් හඳුන්වනු ලබයි. තේරුම් ගැනීමේ පහසුවට මේවා කිලෝමීටර් ගණනක් දිගින් හා ඝනකමින් යුක්ත යෝධ ගල් තට්ටු ලෙස සිතා ගත හැකිය. ශිලාගෝලය මෙවැනි භූ කාරක තැටි ගණනාවකින් සමන්තවිත වන අතර 2 රූප සටහනින් ඒවා පිහිටා ඇති ආකාරය ගැන අවබෝධයක් ලබාගත හැකිය.

කලින් සඳහන් කළා සේ මේ තැටි එකක් මත එකක් පාවෙමින් ගමන් කරයි. මේවා එකක් මත එකක් ගමන් කළ ද යම් අවස්ථාවක දී මේවායේ මායිම් එකක් පසු කර ගමන් කරනවා වෙනුවට එකිනෙක ගැටෙන්නට ඉඩ තිබේ. එය සිදුවන්නේ කුමන මොහොතකදැයි කලින් දැනගැනීමට දැනට ඇති තාක්ෂණය අනුව හැකියාවක් නැත. මෙවැනි ගැටීමක ප්‍රතිඵලයක් ලෙස භූ චලන ඇති වේ. ඒවා ගැටෙන වේගය අනුව භූ චලනයේ ප්‍රබලත්වය වෙනස් වෙයි. අප රිච්ටර් පරිමාණයෙන් (Richter scale) මැන බලනු ලබන්නේ එම ප්‍රබලත්වයයි. මේ පරිමාණය 1935 වසරේ දී ඇමරිකානු භූ කම්පන විද්‍යාඥයන් දෙදෙනෙකු වූ චාල්ස් එෆ්. රිච්ටර් සහ බෙනෝ ගුටෙන්බර්ග් විසින් නිර්මාණය කරන ලද්දකි. මෙය ‘ගුටෙන්බර්ග්-රිච්ටර් පරිමාණය’ (Gutenberg–Richter scale) ලෙස මුලින් හඳුන්වනු ලැබුව ද වර්තමානයේ භාවිත වන්නේ ‘රිච්ටර් පරිමාණය’ ලෙසිනි.

භූ කාරක තැටි තැටි තිබෙන තරමට ඒවායේ මායිම් එකිනෙක ගැටෙන්නේ නැත. ලෝකයේ වැඩි වශයෙන් භූ චලන ක්‍රියාකාරීත්වයක් සහිත කලාපයක් වෙනම හඳුනාගෙන ඇති අතර එය ‘ගිනි වළල්ල’ (The Ring of Fire – 3 රූප සටහන) ලෙස නම් කොට තිබේ. මේ රූප සටහනට අනුව තුර්කිය එම කලාපයේ පිහිටා නැතත්, භූ කාරක තැටිවල පිහිටීම අනුව තුර්කිය පිහිටා ඇත්තේ තැටි දෙකක සීමාවේ ය. එරට එතරම් ප්‍රබල භූ චලනයකට මුහුණ පෑවේ එබැවිනි.

භූ කාරක තැටිවල සීමාවන්ට අනුව ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දීය තැටියේ ය. ඉන්දීය තැටිය වටා අප්‍රිකානු, අරාබියානු, යුරේසියානු, ඉන්දු-ඕස්ට්‍රේලියානු තැටි මායිම්ව තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ තැටි මායිමක නොවේ. අප රටට ප්‍රබල භූ චලනයක් ඇති නොවේ යැයි විශ්වාසයක් තැබිය හැක්කේ මේ නිසාය. කෙසේ නමුත් දැනට පවතින මේ භූ කාරක තැටි යළි දෙකඩ වීමේ අවදානමක් ද පවතින බව භූ විද්‍යාඥයන් සොයා ගෙන තිබේ. යම් හෙයකින් ඉන්දීය තැටිය මේ අනුව කවදා හෝ දිනෙක දෙකඩ වුවහොත්, ශ්‍රී ලංකාව දැඩි භූ චලන අවදානමකට ලක් වීමේ ඉඩක් තිබේ. කෙසේ නමුත් ඉන්දීය තැටිය තවමත් එවැනි අවදානමක පවතින බවට සොයා ගෙන නැත. ශ්‍රී ලංකාවට ඉඳහිට දැනෙන කම්පන අවට තැටි එකිනෙක ගැටෙද්දී ඇතිවන ඒවා ය.

භූ චලන පිළිබඳ අනාවැකි පළ කළ හැකිද?

දැනට පවතින තාක්ෂණයට අනුව අනාගතයේ දී සිදුවිය හැකි භූ චලන පිළිබඳ අනාවැකි (predictions) පළ කළ නොහැක. විවිධ පුද්ගලයන්ගුප්ත ක්‍රමවලින් මේ පිළිබඳ යම් යම් දේ පවසා ඒවා සත්‍ය වූ ඇතැම් සිදුවීම් ඇතත් ඒවා විද්‍යාත්මක නොවන අතර, සෑමවිටම ඒවා නිවැරදි වන්නේ ද නැත. කෙසේ නමුත් භූ චලන පිළිබඳ විද්‍යාත්මකව පුරෝකථන (forecasts) සිදු කළ හැකිය. පුරෝකථන මගින් භූ චලනයක් සිදුවන නිශ්චිත දිනයක් හෝ වේලාවක් පිළිබඳ නිවැරදිව පැවසීමේ හැකියාව නැත. මෙහිදී යම් කලාපයක වසර ගණනාවක් තිස්සේ භූ චලන සිදු වූ රටාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කෙරේ. ඒ අනුව අතීතයේ භූ චලන සිදු වූ රටාව, ඒවායේ ප්‍රබලත්වය, සිදු වූ විනාශය ක්‍රමානුකූලව වාර්තාගත කරයි. ඒ අනුව යම් රටාවක් හඳුනා ගැනේ. ඒ රටාවට අනුව ආසන්න වශයෙන් අනාගතයේ යම් කාලයක අදාළ කලාපයේ භූ චලනයක් සිදු වේ යැයි පුරෝකථනයක් කළ හැකිය. මෙය අදාළ කාලයේ සිදුවන්නට හෝ නොවන්නට පුළුවන. කෙසේ නමුත් එයට සූදානම් වී සිටීමට ඇති හැකියාව නිසා යම් හෙයකින් භූ චලනයක් සිදුවුවහොත්, සිදුවිය හැකි විනාශය හැකිතාක් අවම කරගන්නට එයින් අවස්ථාව හිමි වේ.

ඉදිරියේ දී සිදුවන භූ චලන පිළිබඳ සතුන්ට දැනෙනවාද?

තුර්කියේ මහා භූ චලනයට පෙර දා පක්ෂීන් කලබලයෙන් යුක්තව පියාඹන වීඩියෝවක් සමාජ ජාල අතර පැතිර තිබිණි. මිනිසුන්ට නොදැනුන ද සතුන්ට භූ චලනයක් දැනෙනවාය යන කාරණය මේ අනුව නැවත ඉස්මතු විය. භූ චලන පිළිබඳ සතුන්ට කලින් දැනගත හැකිය යන්නට මුල්ම සාධකය ලැබෙන්නේ ක්‍රි.පූ. 373 දී ග්‍රීසියෙනි. එම වසරේ සිදු වූ භූ චලනයට පෙර මීයන්, සර්පයන්, මුගටියන් වැනි සතුන් ඔවුන් සිටි ප්‍රදේශවලින් බහුල වශයෙන් ඉවත්ව ගිය බවට වාර්තාගත ව තිබේ. එතැන් සිට අද දක්වා මෙවැනි සිදුවීම් බොහෝ අසන්නට ලැබේ. විද්‍යාඥයන් ද මේ කාරණය තහවුරු කරමින් පවසා සිටින්නේ පරිසරයේ සිදුවන වෙනස්වීම්වලට මිනිසාට වඩා සතුන් අති සංවේදී බැවින් මෙවැනි හැකියාවක් සතුන්ට තිබෙන බවය. භූ චලනයක දී තරංග දෙකක් අදාළ කලාපය හරහා ගමන් කරයි. තැටි දෙකක් එකිනෙක ගැටීම ආරම්භයේ දී ‘පී තරංග’ (P waves) ගමන් කරන අතර එය කිසිවෙකුට දැනෙන්නේ නැත. නමුත් මෙය බොහෝ සතුන්ට දැනේ. ඔවුන් තුළ කලබලකාරී හැසිරීමක් ඇතිවන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. විනාශකාරී තරංගය හෙවත් ‘එස් තරංග’ (S waves) ගමන් කරන්නේ ඉන් පසුවය. එය දැනෙන්නේ මහා විනාශකාරී භූ චලනයක් ලෙසිනි. එවිට සූදානම් වන්නට කාලයක් නැත. කෙසේ නමුත් සතුන්ගේ මේ කලබලකාරී හැසිරීම්වලින් භූ චලන අවදානමක් පිළිබඳ හඳුනා එයින් සිදුවන විනාශය වළක්වා ගත් අවස්ථාවක් නම් වාර්තා වන්නේ නැත. සතුන්ගේ එවැනි හැසිරීමක් කෙරෙහි සංවේදී වන්නටවත් නොහැකි මිනිසුන්ට පී තරංගයක් කිසිදා දැනෙන්නේ නැත. කෙසේ නමුත් අප අවදානම් රහිත කලාපයේ සිටින්නේ යැයි සිතමින් සැනසිල්ලේ සිටින්නට ද නොහැකිය. මන්ද පෘථිවි අභ්‍යන්තරයේ කුමනාකාර වෙනස්කම් සිදුවේදැයි අප නොදන්නා නිසාය. විනාශය පැමිණෙන්නේ ක්ෂණිකවය. එබැවින් මේ පිළිබඳ දැනුම්වත්ව, සෝදිසියෙන් සිටීම වඩා හිතකරය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර