මෝහනය යනු අප සමාජයේ අතිශය ජනප්‍රියත්වයට පත් විෂයයකි. විවිධ කායික, මානසික රෝග අර්බුද සුවකර ගැනීමේ සිට ඉහත ආත්මයේ විස්තර දැන ගැනීම තෙක් වන විවිධ ක්‍රියාකාරකම් මෝහනය මගින් සිදු කළ හැකි බවට ප්‍රබල ජන විශ්වාසයක් තිබේ. එනිසාම මීට දශක කිහිපයකට පෙර රූපවාහිනී මාධ්‍යයෙන් මෝහනය මගින් කළ හැකි අරුම පුදුම විස්කම් පිළිබඳ වැඩසටහන් ප්‍රචාරය විය.
මෙම මෝහනය යන සිංහල වදන හිප්නෝසිස්( Hypnosis ) යන ග්‍රීක වචනින් ඉංග්‍රීසි භාෂාවට පැමිණි එකකි. හිප්නොසිස් යනු ග්‍රීක භාෂාවෙන් නින්ද හෙවත් නිද්‍රාටනය යන වචන හැඳින්වෙන බැවින් දැනට මෝහනය යනුවෙන් සිදු කෙරෙන එම ක්‍රියාවලිය සඳහා එම නම සුදුසු නොවන බවට මත පළ වී ඇත. ඊට හේතුව ඉන් මෝහනයට පත් කරවීම හිප්නෝසිස් යන්නෙහි මුල් අරුතින් බැහැර වෙනයම් අරුතක් පළවන බැවිනි. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අප රටේ විසූ කීර්තිමත් මනෝ වෛද්‍ය විශේෂඥවරයකු වූ ඩී.වී.ජේ. හරිස්චන්ද්‍රයන් නිතර පවසා සිටියේ හිප්නෝසිස් යන ඉංග්‍රීසි වදනට වඩාත් සැසඳෙන සිංහල වදන නිදිගැන්වීම යන අරුත දෙන ‘නිද්‍රාටනය’ යන්න බව ය. එහෙත් එතුමන් පළ කළ එම මතවාදය අප සමාජය පුරා ව්‍යාප්ත වූ බවක් නොපෙනෙයි.
බටහිර සමාජයෙන් අපට උරුම වූ ‘හිප්නොසිස්’ හෙවත් මෝහනය පසෙක තිබිය දී අපගේ පෙරදිග ගුප්ත ශාස්ත්‍ර අතරේ ද මෝහනය නම් ක්‍රියාවක් තිබේ. එමගින් සිදු වන්නේ නම් යම් යම් පුද්ගලයන් මෝහනයට පත් කිරීම හෙවත් සාමාන්‍ය ජන වහරට අනුව කිවහොත් ‘පිස්සු වැට්ටවීම’ ය. ඒ අනුව මෝහනය යන වචනේ සැබෑ අරුත පෙරදිග මෝහනය හා සියයට සියයක් සැසඳෙන බව පෙනෙයි. වශී, ආකර්ෂණ, මෝහන, ස්ථම්භන, විද්වේෂණ, උච්චාටන, මාරණ, ශාන්ති ආදී වශයෙන් නම් කෙරෙන අෂ්ට කර්මය පිළිබඳව අපගේ වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති. ඒ අතරින් ගුප්ත බලයෙන් යමකු සිහි විකල් බවට පත් කරවීම ලෙස සරල ලෙස හඳුනා ගත හැකි මෙම මෝහන කර්මය නූතන ගුප්ත ශාස්ත්‍ර පරිශීලකයන් වෙතින් ගිලිහී ගොස් ඇති බවක් පෙනේ.මෙලෙස යමකු මෝහන කර්මයට හෙවත් පිස්සු වැට්ටීමට ලක් කරනුයේ කුමන හේතුවක් මත දැයි ඔබ සිතනු නොඅනුමාන ය. මෙම මෝහන කර්මය විවිධ අරමුණු උදෙසා යොදා ගන්නා බව පැහැදිලි ය.
නිදසුනක් ලෙස මහනුවර රාජධානි සමයේ කන්ද උඩරටට පැමිණි ආඬි, කේරළ ආදී දකුණු ඉන්දීය ජන කොටස් තමන්ගේ කූට අරමුණු සඵල කර ගැනීම පිණිස මෙවන් මෝහනමය ගුරුකම්වල යෙදුණු බවට සාක්ෂි තිබේ. කන්ද උඩරට රාජධානියේ කයිකාවලක් හෙවත් මුරපොළක් භාරව සිටි සෙබළුන් හමුවේ කළු කම්බිලියක් හැඳි මිනිසකු මවා පෑ දකුණු ඉන්දීය ගුප්ත ශාස්ත්රකරුවන් පිරිසක් පිළිබඳ පුරාණෝක්තියක් ගොනුකර ගැනීමට මට හැකි විය. පසුව එම කයිකාවල හෙවත් මුරපොළ බිඳී යාම මත එම ස්ථානය එදා මෙදා තුර ‘බොක්කාවල’ නමින් හැඳින්වෙන බව කියනු ලැබේ.
මෙම මෝහන කර්මය මිනිසුන් උදෙසා මෙන්ම සතුන් උදෙසා ද සිදු කළ හැකි බවට ජන විශ්වාසයක් තිබේ. ඒ සතුන් අතරින් ඇතුන් මෝහනයට පත් කරවීමට හෙවත් පිස්සු වැට්ටවීමට හැකි පැරණි මන්ත්‍ර මහනුවර යුගයේ අප රටට පැමිණි දකුණු ඉන්දියානු සංක්‍රමණිකයන් සතුව තිබූ බව පැවසෙයි. එය කන්ද උඩරට රාජධානියේ ඇත් පන්තිය කෙරෙහි ද අනර්ථකාරී ලෙස බලපෑ හැකි බැවින් එම මන්ත්‍ර දන්නවුන් රාජ උදහසට ලක් වූ බව ද කියනු ලැබේ.
සත්‍යතාව තහවුරු කළ නොහැකි වුව ද මෝහන කර්මය මෑතක් වන තුරු නඩු හබ දිනවීම පිණිස ද භාවිත කළ බවට තොරතුරු ඇත. එහි දී තමන් හා නඩු මගට බැස සිටින එදිරිවාදියා අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාව බලා සුදුසු ඇදුරකු ලවා එම මෝහන කර්මය කරවීමෙන් එම විරුද්ධවාදියා අධිකරණය හමුවේ සිහි මුළා වූ ස්වභාවයක් පළ කරන බවට ජන විශ්වාසයක් තිබේ. එවිට අනෙක් පාර්ශ්වයට එම නඩුවෙන් දිනීමේ පහසු අවකාශයක් උදාවන බව ද කියති.
මෙම ගුප්ත කර්මය කළ යුතු ආකාරය පිළිබඳව විස්තර කෙරෙන පැරණි පුස්කොළ පොත් යම් ප්‍රමාණයක් තවමත් ශේෂව පවතින අතර මීට දශක දෙකකට පමණ ඉහත දී එවක ජාතික කෞතුකාගාර අධ්යක්ෂ පදවිය හෙබවූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන්ගේ කාරුණික අනුග්‍රහය මත ඒවායින් කිහිපයක් පරිශීලනය කිරීමේ අවස්ථාව මා වෙත උදා විය. සුවණ, රෙහෙණ, හත යන සඳුගේ නැකැත් යෙදෙන සඳුදා දිනයෙක බටහිර දිශාවේ සිට ළා රත් පැහැති වස්ත්‍රයකින් සැරසී හිරු මුදුන් යාමයේ මල් පල පිරි උද්‍යානයක සිට මෙම ගුරුකම කළ යුතු බව ඉන් එක් පුස්කොළ පොතක සඳහන්ව තිබිණ. මෙම මන්ත්‍ර ජප කිරීම පිණිස කළු උක්, තල, සූකිරි ආදිය මෙන්ම කංසා හෙවත් ගංජා, අබින් සහ අත්තන ඇට වැනි සිහි විකල් කරවන ද්‍රව්‍ය ද යොදා ගැනීම විශේෂත්වයකි.
ඉන්දීය විශ්වාසයකට අනුව ව්‍යාජ මවා පෑම් මත පදනම් වන මෙම මෝහන කර්මය විෂ්ණු දෙවියන්ගේ මෝහිනී අවතාරයේ ශක්තිය බලය පෙරදැරිව සිදු කළ යුතු ය.මෙම මෝහන කර්මය සහ තමන් කැමැති අයකු තමන් වෙත වසඟ කර ගැනීම පිණිස වන වශීකර්මය හා තම ව්‍යාපාර ආදියට වැඩිපුර පාරිභෝගිකයන් අද්දවා ගත හැකි ආකර්ෂණ කර්මය අතර යම් සමානකම් ඇතැයි සමහරෙක් සිතති. එහෙත්, ඉහත සඳහන් වශී සහ ආකර්ෂණ කර්ම යනු යම් පුද්ගලයකුගේ හෝ පිරිසකගේ සිත තමන් වෙත නතු කර ගැනීම ය. නමුදු මෝහන කර්මය යනු ඒකාන්ත වශයෙන් යම් පුද්ගලයකුගේ සිහි විකල් කරවීමකි. එනිසා එය කෙසේවත් සාධනීය ගුරුකමක් සේ සලකනු නොලැබේ.
එමෙන්ම මෝහන, උච්චාටන, මාරණ ආදී අෂ්ට කර්මවල එන නිශේධනීය ගුරුකම් කෙරෙහි අතීතයේ බොහෝ දෙනකු යොමු නොවූ ප්‍රබල හේතුවක් තිබේ. එනම් අනුන්ට විපත් පිණිස කරන එය තමන් වෙත පෙරළා ‘කරකැවී’ ඒමේ පහසු හැකියාවක් ඇති බවට එකල පැවැති සමාජමය පිළිගැනීම ය. එවිට එලෙස සිහි විකල් වනුයේ එම ගුරුකම සිදු කරන්නාගේ මිස එල්ල කරන්නාගේ නොවන බවත් එලෙස එම ගුරුකම් වැරදී දිවි ඇති තුරු සිහි විකල් බවින් කල් ගෙවූ ඇදුරන් අතීත සමාජයේ සිටි බවත් පැරැන්නෝ කියති. මෙම මෝහනය හෙවත් පිස්සු වැට්ටවීම යමකු වෙත තීව්ර මානසික බලපෑමෙන් සිදු වන්න බව මනෝ විද්‍යාත්මක නිගමනයයි.යමකුගේ සිත තුළට තීව්ර මානසික ඇනවුම් ලබා දීම තුළින් ඒ තැනැත්තා ගේ සිත ඒ ඇනවුමට යට වන බවක් පැවසෙයි.බටහිර අප්‍රිකානු ජන සමාජ වල දක්නට තිබී පසුව ලොව තතත් ප්‍රදේශ තෙක් පැතිර ගත් වූඩු සංස්කෘතිය(Voodoo Culture ) තුළ පූජකයන් විසින් විවිධ පුද්ගලයන්ගේ සිත් තුළට මෙවන් මානසික ඇනවුම් ලබා දීම තුළින් ඔවුන් තුළ චිත්ත වික්ෂේපයන් ඇති කොට එම පුද්ගලයන් මරණයට පවා පත් කළ බවට තොරතුරු තිබේ.එහෙත් ඒවායේ හුදු මානසික බලපෑම් වලින් තොර කිසිදු ගුප්ත බලයක් නොතිබූ බව සමාජ මනෝ විද්‍යාඥයන් විසින් පසුව අනාරටණය කර ගන්නා ලදී.
තිලක් සේනාසිංහ