අපේ සමාජය ගමයි නගරයයි අතරේ මං මුලා වෙලා!

මෑතක් වන තුරුම අප රටේ ප්‍රධාන ජන කොටස වන ගම් වැසියන්ට නොමැති විශේෂ සැලකිල්ලක් නාගරිකයන්ට හිමිව තිබිණ. ඊට හේතුව ගම් වැසියන් තුළ නොමැති ආචාරශීලී ශිෂ්ට සම්පන්න බවක් නාගරිකයන් තුළ ඇතැයි යනුවෙන් පැවැති ජන විශ්වාසයයි. නාගරික සමාජය තුළ පැවැති අභිමානනීය ආකල්ප මුල් කොට ගත් මෙම ජන විශ්වාසය කෙතරම් ප්‍රබලව සමාජගත වී ද යත් ඊට අප රටේ ප්‍රධාන ජන කොටස වන ගැමි සමාජය ද අනියමින් එකඟ වුහ.

වී ගොවිතැන මුල් කොටගත් කෘෂිකාර්මික ශිෂ්ටාචාරයන් ගෙන් යුතු ගම්බද පරිසරයේ මිනිස් වාසය සඳහා වෙන්කොට තිබූ ‘ගංගොඩ’‘ගොඩකරය’ ආදී වදන් මුල් කොට මීට දශක කිහිපයකට පෙර නාගරික සමාජය ගැමියන් හැඳින්වීම පිණිස ‘ගොඩයන්’ යන නම යොදා ගත් බව පෙනේ.

නමුත් සිංහල රාජධානි සමයේ ඉතා සීමිත ලෙස මෙරට නාගරික ශිෂ්ටාචාර ලක්ෂණ පැවැති බව තහවුරු වුව ද නූතන නාගරික පැළැන්තිය වශයෙන් හඳුන්වන ජනතාව සම්බන්ධ වෙනම ශිෂ්ටාචාරගත ලක්ෂණ සෙවීම අසීරු වී තිබේ. නො එසේ නම් මේ වන විට කොළඹ ඇතුළු ප්‍රධාන නගර වශයෙන් හඳුන්වන කිසිදු නගරයක නගර වැසියන් වශයෙන් අනන්‍ය ලෙස හුවා දැක්විය හැකි වෙනම ජන කොටසක් ඇති බවක් නොපෙනේ.

දැනට ධනවත් සහ ඉහළ නාගරික පැළැන්තිය ලෙස හඳුන්වන ජන කොටස් වල සියවස් තුනකට එපිට පාරම්පරික මූලයන් සෘජුවම ගම හා සම්බන්ධ වන අතර ඔව්හු ඉන් මෙපිට කාලය සීමාවක් තුළ විවිධ හේතුන් මත නගරයට සංක්‍රමණය වූවෝ වෙති. අතීත රෝම ග්‍රීක ආදී පුර රාජ්‍යයන් ( City state) මුල් කොට වෙනම පුරවැසි පිරිසක් බිහි වූහ.

මුලින්ම පුර වැසි (Citizen ) නාමයෙන් හඳුන්වන ලද්දේ ඔවුහු ය.අතිශය සුඛෝපභෝගී දිවි පෙවෙත් ගත කළ මහා ධන කුවේරයන් වන ඔවුන් ගේ ආහාර පාන පිළිබඳව ගම්බද ජනතාව අසා වත් නොතිබූ අතර ගම්බද ජනතාව ගේ ආහාර පාන මොනවාදැයි මෙම නාගරිකයෝ හාංකවිසියක් වත් නොදැන සිටියහ.

ඒ අනුව එම නාගරිකයන් ගේත් ගම්බද ජනතාව ගේත් ජීවන හා සමාජ රටාවන් සම්බන්ධ කෙතරම් විෂමතා තිබිණි දැයි අපට සිතා ගත හැක. නමුත් අප ජන සමාජය සම්බන්ධයෙන් ගත්කළ එවැනි විෂමතා දක්නට නොලැබෙන අතර පොදු ශ්‍රී ලාංකේය සමාජය පුරා පැතිර ගත් සමානත්වයන් බොහොමයකි. අප රටේ නාගරික, ගම්බද හෝ ජාති, ආගම් ආදී සියලු බෙදීම් වලට අයත් ජන කොටස්වල ප්‍රධාන ආහාරය ‘බත්’ ය.

අප රට බටහිර යටත් විජිතයක් බවට පත් වීමත් සමඟ ඇති වූ නව සමාජ ප්‍රවණතාවයන් මුල් කොට ජනතාවගේ ජීවිත විධාංගීකරණයට ලක් විය. ඒ අනුව නව රැකියා අවස්ථා ආදායම් මාර්ග බහුල විය.

ඒ තත්වය යටතේ කෘෂිකර්මය සහ ධීවර ආදී අනෙකුත් සාම්ප්‍රදායික ජීවන වෘත්තීන්ට කොටු වී සිටි ජන කොටස් නව සමාජ ආර්ථිකය මගින් උත්පාදනය වන රැකියා සහ ආදායම් මාර්ග සොයා නගරයට සංක්‍රමණය විය.

අදත් අප රටේ ප්‍රමුඛතම ව්‍යාපාර වල මූලාරම්භකයන් වන ‘මුදලාලි’ ලා එසේ ද එසේ ගමින් නගරයට පිවිසියවුන් වන අතර ඔවුන් සමහරකගේ දෙවන තුන් වන සහ සිව් වන පරම්පරාවන් අද වන විට තම ග්‍රාමීයත්වය පිළිබඳ අක් මුල් සිඳගෙන තිබේ.

දැනට නාගරික ඉහළ මධ්‍යම පාන්තික ජනතාවක් වෙසෙන ඉහළ මධ්‍යම පාන්තික නිවාස කලාපයක තුළ ජීවත් වන්නවුන් ගෙන් වුව මුල් ගම කොහේදැයි විමසුව හොත් අපේ තාත්තා, නැතහොත් සීයා,අත්තා,මුත්තා අසවල් ප්‍රදේශයේ කියා ගම්බද ප්‍රදේශයක නමක් පවසනු ඒකාන්ත ය.එමෙන්ම වර්තමානයේ ද අප රටේ ප්‍රජාතත්ත්‍රවාදය මුල් කොට ගත් ජනතා පරමාධිපත්‍යයේ වැඩි බලය ද ගම්වැසියන් අත පවතිනු පෙනෙයි.

එහෙත්, එම පරම්පරාවන් ගෙන් පැවැත එන නූතන ප්‍රජාව ඉංග්‍රීසිය මුල් කොට ගත් බටහිර ආචාර විචාර සම්ප්‍රදායන් කෙරෙහි පවත්නා නැඹුරුව මුල් කොට තම ජීවිත තුළට නාගරික ශිෂ්ටත්වයක් ආරෝපණය කර ගනිති.

නමුදු,යම් සමාජයක් තුළින් එලෙස නාගරික ශිෂ්ටාචාරයක් ස්ථාපිත වීමට මානව සමාජ පරිනාමයේ සියවස් ගණනාවක් ගත විය යුතු ය. අපට ආසන්නතම ඉන්දියාවේ දිල්ලිය, මුම්බායි, අග්‍රා, අලහබාද්,චෙන්නයි ඇතුළු ප්‍රධාන නගර වල එලෙස වෙනම නාගරික ශිෂ්ටාචාර ස්ථාපිත වී තිබේ.

නමුදු අප රට තුළ මීට දශක කිහිපයක් තෙක් පැවැති නාගරික- ගම්බද භේදය මේ වන විට යම් ආකාරයකින් අවප්‍රමාණ වෙමින් තිබෙනු දැකිය හැක. ඊට හේතුව මාර්ග හා සන්නිවේදන ජාල රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ නාගරික සමාජයේ ඇතැම් පිරිස් ග්‍රාමීය ප්‍රදේශ වෙත නැවත සම්ප්‍රේෂණය වීම ය.

එහෙත්, එලෙස භෞමික වශයෙන් තම දිවි පැවැත්ම උදෙසා ග්‍රාමීය ප්‍රදේශ තෝරා ගත්ත ද එකී ප්‍රදේශවල ග්‍රාමීයත්වය (Ruralization) හා සබැඳි සංස්කෘතික ලක්ෂණ අවශෝෂණය කර ගැනීමෙහි ලා ඔවුහු උනන්දුවක් නොදක්වති.

එමෙන්ම වත්මන් සමාජ, ආර්ථික පසුබිම යටතේ රටේ ගම්බද වශයෙන් හැඳින්වුණු බොහෝ ප්‍රදේශවලින් ද මේ වන විට නාගරික ලක්ෂණ මතුවන අතර ඒවායේ බොහෝ ගැමියෝ ද ගැමි ජීවිත වලට උරුම සාම්ප්‍රදායිකත්වයෙන් බැහැර වෙමින් සිටිති. අද වන විට අපගේ බොහෝ ගම්බද ප්‍රදේශවල ඉංග්‍රීසි භාවිතය හා අන්තර්ජාල සම්බන්ධතා ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබේ.

අතීතයේ නාගරිකයන්ට හිමි වූ ඇඳුම් විලාසිතා, සූප ශාස්ත්‍ර, රූපලාවන්‍ය, ගෘහ අලංකරණ ආදී නවීන භාවිතයන් ද මේ වන විට අප රටේ ග්‍රාමීය ප්‍රජාවන් අතරේ ද වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. නමුත් තත්වය වඩාත් වර්ධනය වීමට ඔවුන් මොහොතකට විධිමත් හා සවිමත් ආදායම් රටා අහිමිවීම බාධකයක් වී ඇති බව පෙනේ.එනිසාම අද වන විට අප සමාජයේ ග්‍රාමීය ණය ගැති භාවය(Rural indebtedness ) ශීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවතිනු දැකිය හැක.

මේ තත්වය කෙතරම් බිහිසුණු අයුරින් බල පා තිබේ ද යත් නාගරික සමාජයෙන් ඇටවෙන අනේක විධ ණය උගුල් වලට හසු වීමෙන් අකාලයේ ජීවිත අහිමි කර ගන්නා,මානසික රෝග වලට ලක් වන ,පවුල් ජීවිත අවුල් කර ගන්නා සහ නීති සහ සදාචාර විරෝධී ක්‍රියා වලට යොමු වන ගැමියන්ගේ ගණන වේගයෙන් ඉහළ නගිමින් තිබේ.

මේ අතර පසුගිය කාලයක අප රටේ ප්‍රමුඛතම දේශපාලනඥයකු ගම්බද තරුණ පෙළ අමතා ඔවුන් “බුලත් විට වෙනුවට චුයින්ගම් හපන යුගයක් උදා කරන බව”ට කළ ප්‍රකාශය ද මෙහි දී අපගේ සිහියට නැඟෙයි.

ඔහුගේ එම ප්‍රකාශය පොදු සමාජයේ සිනහවට අවඥාවට ලක් වුව ද එය ද අප රටේ උදා විය යුතු නව සංස්කෘතික සම්මිශ්‍රණය මුල් කොට ගත් පුනරුදය පිළිබඳ මනා පුරෝකථනයකි.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

 

 

එතෙර - මෙතෙර