අමරදේවයන්ගේ ගී සර තුළ සැඟවුණු දේව කන්‍යාවිය ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීහු මීට දශක කිහිපයකට පෙර සහභාගී වූ සිංහල අලුත් අවුරුදු ගුවන් විදුලි වැඩසටහනක දී තමන් විසින් ගායනා කරන ලද අලුත් අවුරුදු ගීත පිළිබඳ සමාලෝචනයක් කළහ. මගේ මතකය නිවැරදි නම් ඒ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී තිලක සුධර්මන් ද සිල්වා මෙහෙයවූ වැඩසටහනකි.
එහි දී අමරදේව සූරීන් තමන් විසින් ගායනා කරන ලද ‘මල් ගොමු ගුමු ගුමු’ නම් මධුර ගීතය පිළිබඳ විස්තරයක් කරමින් කියා සිටියේ එය ‘වසන්ත ගී’ නම් වන ගී සම්ප්‍රදායට අයත් වන්නක් බව ය. එමෙන්ම භාරතයේ එක් එක් ඍතුවල දී ගැයෙන වෙන් වෙන් ගී විශේෂ ඇතත් අප රටේ ඉන්දියාවේ මෙන් ඍතු භේදයක් නොමැති නිසා දෝ එවැනි ගීත සාහිත්‍යයක් හෝ ගී සම්ප්රදායක් දක්නට නොලැබෙන බව එතුමෝ කීහ. අමරදේවයන් විසින් ගයනු ලබන මල් ගොමු ගුමු ගුමු ගීතයේ පද මාලාව හෙළ හවුලේ පඬිරුවනක වූ අරිසෙන් අහුබුදු සූරීන්ගෙනි.
ඉහත සඳහන් කරුණු පිළිබඳ වැඩිදුර විස්තර කිරීමට පෙර එම ගීතයේ පද මාලාව ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය යැයි මට සිතේ.
මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවල පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී
ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නි
අඹ දඹ ළා රත තවරන්නී
නෙත ගිය ගිය අත සනසන්නී
එරබදු පැහැයෙන් අලවන්නී
නාගස් සුවඳින් බැඳලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
ලෝකය විසිතුරු කරලන්නී
ඉහත සඳහන් ගී පද රචනය හුදෙක් වසන්ත වර්ණනයක් බව ඉතා පැහැදිලි ය. එමෙන්ම සිංහල අලුත් අවුරුද්ද බක් මාසය යන වදන එහි අඩංගුව නොමැති වුව ද එහි දැක්වෙන ගේය පද සුසංයෝගය මඟීන් බක් මහ අසිරිය මැනවින් පිළිබිඹු කරන්නක් බව පෙනෙයි. එහි දී එම වැඩසටහන මෙහෙයවූ තිලක සුදර්මන් ද සිල්වා අමරදේව සූරීන්ගෙන් මෙබඳු පැනයක් අසා සිටියේය.
‘ඒ ගීත පද රචනය තුළ ස්ත්‍රී ලිංග ආඛ්‍යාත බහුල වීම ඔස්සේ කිසියම් කාන්තාවක් පිළිබඳ චිත්‍ර රූපයක් අපේ සිත් තුළ මැවෙනවා. පරිසරය සහ සොබාදහම නිර්මාණය කරන ඒ කාන්තාව කවුරුන් විය හැකිද?’ යනු ඒ පැනයයි.
එවිට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් දුන් පිළිතුර වූයේ ඇය සිරියා දේවිය විය හැකි යැයි තමන් සිතන බව ය.
‘නමුත් මා ඔබට යෝජනා කළොත් ඒ වනිතාව සොබා දම් මව කියා ඔබ ඊටත් එකඟ වෙනවාද?’ තිලක සුදර්මන් ද සිල්වා විද්වතාණන් යොමු කළ පැනයට අමරදේව සූරීන් දුන් ක්ෂණික පිළිතුර වූයේ සොබාදම් මව ප්රචණ්ඩ වන අවස්ථාත් තිබෙනවා. නමුත් සිරියා දේවිය එලෙස ප්රචණ්ඩ වන්නේ නෑ.ඇය අතිශය සුකොමළ අහිංසක දෙවඟනක්. ඒ අනුව මා සිතන්නේ ඇය සිරියා දේවිය කියායි.’ යන්න ය.මෙහි දී අමරදේව සූරීන් ඒ ගීතයෙන් පැවසෙන කාන්තාව “අවුරුදු කුමාරිය” ලෙස හඳුන්වා නොදීම පිළිබඳව එවක යොවුන් වියේ සිටි මා තුළ කුකුසක් ඇති විය.එහෙත්, සිංහල අලුත් අවුරුද්ද මුල් කොට ගත් අවුරුදු කුමාර සංකල්පයක් මිස අවුරුදු කුමාරි සංකල්පයක් දේශීය ජන විඥානයේ නොමැති බව මට තේරුම් ගත හැකි වූයේ ඊටත් දශක කිහිපයකට පසුව ය.වර්තමාන ජනප්‍රිය සංස්කෘතියේ එන අවුරුදු කුමාරි බටහිර රූප රාජිතී තරඟ වල මෑත කාලීන දේශීය ආරෝපණයකි.
මීට අඩ සියවසකට ආසන්න වකවානුවක මා නව යොවුන් වියේ දී ගුවන් විදුලියෙන් සවන් දුන් ඒ හරබර විද්වත් සංවාදය නූතන ගුවන්විදුලි වැඩ සටහන් සමග සැසඳීම පවා ‘පාපකාරී’ ක්‍රියාවක් සේ හැඟෙන බැවින් මම ඒ පිළිබඳ යමක් කීමට මැළි වෙමි.
සිරියා දේවිය යනු අප රටේ අතීත චාම්, සරල කෘෂිකාර්මික සමාජයේ ඇදහීමට ලක් වූ දේවතාවියකි. රූමත් කන්‍යාවක වූ සිරියා දේවිය අතීත සමාජයේ සෞභාග්‍යය සංකේතනය කරන්නියක වූ අතර අප ජන සමාජයේ හැඳින්වීමට ලක් වූ දේශීය ශ්‍රියා කාන්තාව ඇය බව පෙනෙයි.
එමෙන්ම, එම සිරියා දේවිය සම්බන්ධ කවි පෙළකින් කොටසක් අමරදේව සූරීන්ගේ තවත් ගායනයක් තුළින් මතු වන බව තවමත් බොහෝ දෙනෙක් නොදනිති.
“ඉරට මුවාවෙන් හිඳගෙන හිස පීරනවා”
“සඳට මුවාවෙන් ඉඳගෙන සළු පලඳිනවා”
ආදී වශයෙන් වන මහගම සේකර සූරීන් විසින් ප්‍රබන්ධය කරන ලද එම ගීතයේ අඩංගු ඉහත සඳහන් කොටස ද සහිත සිව්පද පෙළක් එච්.යූ. ප්‍රඥාලෝක හිමියන් විසින් සම්පාදනය කරන ලද පුරාණ සිව්පද සංග්‍රහය (1952) කෘතියෙහි අඩංගු වෙයි. මෙම සිරියා දේවිගේ කවි දහ නව වැනි සියවසේ අප රටේ මානව විද්‍යා විෂය පථයට විශිෂ්ට මෙහෙවරක් කළ හියු නෙවිල් සූරීන් විසින් ඒකරාශි කරනු ලදුව දැනටත් බ්‍රිතාන්‍ය රාජකීය පුස්තකාලයේ සංරක්ෂණය කෙරෙන සිංහල කවි සහිත පුස්කොළ කවිවලට ඇතුළත් ය. මහගම සේකර සූරීන් තම ගීත රචනය සඳහා ඒ ජනකවියේ කොටස් යොදා ගත් බව පැහැදිලි ය.
සිරියා දේවිය අප රටේ අතීත සරල කෘෂිකාර්මික ජන සමාජය තුළ අනාදිමත් කාලයක සිට වැජඹෙන්නට ඇත. එම සිරියා දේවිය උදෙසා සිදු කරනු ලැබූ විශේෂ අභිචාර විධි සම්බන්ධ ප්‍රමාණවත් සඳහනක් නොමැති වුව ද එදිනෙදා ජීවිතයේ පවසන උද්යෝගී භාවය මුල් කොට ඇය තම ජීවිතවලට එක් කර ගත හැකිය යන ජන විශ්වාසයක් අතීතයේ සිට පැවත තිබේ. අලුයම පිබිදී කායික මානසික පිරිසිදු බවින් යුතුව දවසේ වැඩ ඇරඹීම, ගේදොර ඇතුළු තමන් ජීවත් වන පරිසරය, වටපිටාව පිරිසිදුව තබා ගැනීම, ගුණ යහපත් කල් ක්‍රියා ආදිය මගින් සිරියා දේවිය නිවසට කැඳවා ගත හැකිය යන ජන විශ්වාසයක් අතීතයේ පැවැති බවට මානව විද්‍යාත්මක තොරතුරු ගොනුකරගත හැක. එමෙන්ම අලුත වැඩිවිය පත් කන්‍යාවන් විෂයෙහි මෙම සිරියා දේවියගේ බැල්ම යොමු වීම මගින් ඔවුන් ද වාසනාවේ සංකේත බව අප පැරණි ජන සමාජය විශ්වාස කළහ. එමෙන්ම එමගින් ඒ යුවතියන් සඳහා ප්‍රබල සමාජ ආරක්ෂාවක් ද ඇති විය. නමුදු මීට වසර විස්සකට පමණ ඉහත කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන්නි හත් පත්තුවේ පැවති මීට සම්බන්ධ අප්‍රකට අභිචාර විධියක් පිළිබඳ තොරතුරු මට දැනගත හැකි විය.එනම් නොවැම්බර් මාසයේ පෙරවරුවේ අහස වළාකුළින් බරව තිබී බිම් මල් පූදින්නට වහින බවට ගැමියන් විශ්වාස කරන සිහින් “ඉල් වැස්ස “ට තෙමීමෙන් වැඩිවිය පත් යුවතියන්ට වාසනාවන්ත සැමියන් සේම පින්වත් දරු ඵල ලැබෙන බවට පැවති විශ්වාසයකි.ඒ වන විටත් මුලුමනින්ම අභාවයට ගොස් තිබූ එය යම් දේවතාවියක උදෙසා කරන අභිචාර විධියක් බව ද මට දැන ගත හැකි වූ අතර ඒ දේවතාවිය සිරියා දේවිය විය යුතු ය යන්න මගේ අනුමානයයි.
නමුදු මහනුවර රාජධානි සමයේ අප රට තුළ සිදු වූ සමාජ සංස්කෘතික පෙරළිය නිසා ලක්ෂ්මී, ගණපති වැනි හින්දු දේව සංකල්ප ඉවක් බවක් නොමැතිව රට පුරා ව්‍යාප්ත වීම මත අද වන මෙම දේශීය කන්‍යා සිරියා දේවිය විෂ්ණු දෙවියන්ගේ පතිනිය වන ලක්ෂ්මී දෙවඟනගේ අප්‍රකට උප දේවතාවියක බවට පත්ව තිබේ.
මල් ගොමු ගුමු ගුමු ගීතය
ඉරට මුවාවෙන් ගීතය
තිලක් සේනාසිංහ