අයුක්තියේ, අසාධාරණයේ දේශපාලනයට එල්ල කළ ජෙහාන් අප්පුහාමිගේ “ආධ්‍යාත්මික ප්‍රහාරය”

මිනිසා තමන්ට එරෙහි වන සියලු දුෂ්ට, නපුරු, අයහපත් බලවේග වලට බැටදීමේ නිරන්තර සූදානමකින් පසුවෙයි. එහෙත්, තමන්ට එරෙහි එවැනි බලවේග වලට දක්වන ප්‍රතිචාරයක් ලෙස අනුන්ට බැටදීමක් වෙනුවට තමන් බැටකෑමක් පිළිබඳව අපට අසන්නට ලැබෙනුයේ කිතුණු ආගමික ඉතිහාසයෙනි. ඒ මිනිසා ගේ පාපය නියෝජනය කරන කුරුසය තමන් වහන්සේ ගේ කරමතින් තබා ගත් කිතු සමිඳාණන් පාලක පාර්ශවය ලබා දුන් දහසකුත් එකක් වද වේදනාවන්ට ලක් වෙමින් ගොල්ගොතා නම් කඳු මුදුනට ගොස් එහි දී කුරුස වධය නමින් හැඳින්වෙන දරුණු මරණීය දණ්ඩනයට යටත් වීම මගින් දෙවියන් වහන්සේ උදෙසා ආත්ම දානය කිරීම මඟිනි.

“සෑම කිතුවකුගේම උරමත කුරුසියක් තිබේ. එය කර ගසා ගෙන ජේසුස් වහන්සේ තමන් ගත් මාවත ඔස්සේ ගමන් කොට මිනිසා ගේ පාප ස්කන්ධය දෙවියන් වහන්සේ හමුවේ දුරලීම පිණිස වූ යුතුකමක් සෑම කිතුණුවකු තුළම තිබේ” මෙය 1987 නොවැම්බර් 10 වන දා බුත්තල, අළුකළවිට දී නාඳුනන තුවක්කු කරුවකු ගේ වෙඩි පහරින් ඝාතනයට ලක් වූ මයිකල් රුද්‍රිගො පියතුමා නිතර කී කතාවකි.

 

අතිශය කටුක දුෂ්කර පා ගමන…

එහෙත්, එය අතිශය සංවේදී ප්‍රායෝගික සත්‍යයක් බවට පත් වූ අවස්ථාවක් අපට පසුගිය දා අත් දකින්නට ලැබිණ. එනම් කිතුණු ආගමික සංස්කෘතික පදනම නියෝජනය කරන ජෙහාන් අප්පුහාමි නම් රංග ධරයා වටිනා මිනිස් ජීවිත 269 අමු අමුවේ ඝාතනය කරමින් හා තවත් පන්සියයකට අධික විශාල පිරිසක් නිත්‍ය ආබාධිතයන් හා දිවි හිමියෙන් රෝගීන් බවට පත් කරමින් 2021 අප්‍රියෙල් 21 පාස්කු ඉරුදින සිදු කළ අති ම්ලේච්ජ පාස්කු ප්‍රහාරයේ සැබෑ වගඋත්තර කරුවන් වසන් කිරීමේ පාපී ක්‍රියාව මුල් කොට ජේසුස් වහන්සේ අනුව ගොස් උන් වහන්සේ ජීවිත දානය කළ කුරුසයේම ආකෘතියක් කරට ගෙන අතිශය කටුක දුෂ්කර පා ගමනකට එක් වීම ය.

2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයට ලක් වූ මීගමුව කටුවාපිටිය දෙව් මැදුරින් ඇරඹි මෙම පා ගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන් ගේ දෙව් මැදුර ඔස්සේ පසුගිය අප්‍රියෙල් 22 දා කොළඹ ගාලු මුවදොර පොදු ජන අරගල භූමියෙන් අවසන් කෙරිණ. ඒ සම්බන්ධයෙන් විවිධ තොරතුරු මීට පෙර අප වෙත වාර්තා වුව ද ජෙහාන් අප්පුහාමි ගේ විරෝධතාවයකට වඩා කිතුණු ආධ්‍යාත්මික චර්යාවක් වූ මෙම ක්‍රියාව නිමාවට පත් වන තෙක් ඒ පිළිබඳව යමක් නොකීමට අපි ඉවසිලිවන්ත වීමු. එය ශ්‍රී ලාංකේය ජන සමාජයට අතිශය නුහුරු නුපුරුදු චර්යාවක් වීම නිසා ය. එහෙත්, දැන් අපට ඒ සම්බන්ධ අපගේ විනිශ්චයකට එළැඹීමේ කාලය උදා වී තිබේ. ඔහුගේ එම ක්‍රියාව සම්බන්ධ අපගේ පෞද්ගලික විග්‍රහය නම් එය ඔහු මේ වන විට අප රටේ රජයන අයුක්තිය, අසාධාරණය මුල් කොට ගත් සමාජ දේශපාලන ක්‍රමයට එල්ල කළ “ආධ්‍යාත්මික ප්‍රහාරයක්” බව ය.

ජෙහාන් අප්පුහාමි යනු තමන් කිතුණු කලාව වෙනුවෙන් ජීවිතය කැප කළ ‘ශික්ෂාකාමී කලාකරුවෙකි’. විවාහක තිදරු පියකු වන ඔහු කිසිවිටෙකත් තම කලා හැකියාවන් තොරම්බල් භාණ්ඩයක් කොට වෙළඳ පලට ඉදිරිපත් නොකළේ ය. කලාව සම්බන්ධයෙන් ප්‍රායෝගික සේම පොත පතින් ලබා ගත් දැනුම් සම්භාරයකින් යුතු ඔහු වරක් ජනතාවාදී  සුභාවිත කලාවක අවශ්‍යතාව පදනම් කර ගත් වාර ප්‍රකාශනයක් ද සංස්කරණය කළේ ය.

අසීමිත අගැයුමට සහ ගෞරව බහුමානයට..

ජෙහාන් අප්පුහාමි ගේ මෙම නව උදාරතර සිතුවිලි දාමයට ඔහුගේ එම නිර්මාණාත්මක චින්තනය සහ විශිෂ්ඨ පරිකල්පන ශක්තිය ද බෙහෙවින් ඉවහල් වූ බව අපගේ වැටහීම ය. කාය ශක්තිය අතින් ජෙහාන් අප්පුහාමි සද්දන්තයකු නොවේ. එහෙත්, ඔහු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු විය යුතු බවට තරයේ අදිටන් කොට ඔහු කරට ගත් දැවමය කුරුසියේ බර කිලෝග්‍රෑම් තිස් අටකි. කිසිදු සංවිධාන ව්‍යුහයක ආරක්ෂා රැකවරණයකින් තොරව යන්තම් විළි වැසෙන රෙදි කඩකින් සැරසී පාවහන් යුවලක් වත් නොමැතිව මීගමුව කටුවා පිටිය දෙව් මැදුරේ සිට කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය ඔස්සේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර දක්වාත් පසුව මේ වන විට අඛණ්ඩ ජන අරගලයක් සිදු කෙරෙන කොළඹ ගාලු මුවදොර පිටිය දක්වාත් පැමිණි මුලු දුර කිලෝ මීටර් හතලිහකි.

බැලූ බැල්මටම වුව පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් ඉලක්ක කොට එවැනිම ප්‍රහාරයක් එල්ල කරනු විනා මෙවැනි ආධ්‍යාත්මික චර්යාවන් මගින් යුක්තිය ඉටු නොවන බව මේ සම්බන්ධ ඇතැමුන් ගේ මතයයි. එහෙත් “අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යන ජේසුස් වහන්සේ කළ අනතුරු හැඟවීම අනුව ජෙහාන් ප්‍රනාන්දු කලා කරුවාණන් ගේ මෙම ආධ්‍යාත්මික චාරිකාව අපගේ අසීමිත අගැයුමට සහ ගෞරව බහුමානයට ලක්වේ. නමුත් ඔහුට ඒ අගැයුම සහ ගෞරව සමාජයීය වශයෙන් සැබැවින්ම හිමි වනුයේ ජේසුස් වහන්සේ සහ උන්වහන්සේ ගේ මඟ අනුව යමින් මෙම මානව හිතවාදී කලාකරුවා ඉටු කළ ආධ්‍යාත්මික මෙයෙවර නිවැරදිව වටහා ගත හැකි ජනතාවක් මෙරට සිටින්නේ නම් පමණි.

උපුටා ගැනීම,

http://len-official.blogspot.com/2022/04/2022_25.html

අරුමැසි පුවත්