ආණ්ඩු විරෝධී අරගලයේ යෙදෙන තරුණ පෙළ සමඟ සාකච්ඡාවක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ කැමත්ත්තෙන් පසුවන බවට අගමැති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර ලෙසින් අගමැතිවරයා වෙත යොමු කොට ඇති ලිපියක් මේ වන විට ජන මාධ්‍ය මඟින් ප්‍රචාරය වෙමින් තිබේ.ඒ ලිපිය මෙලෙසිනි. අරගලයේ නියුතු ජනතාව,
ගෝටාගෝ ගම,
ගාලුමුවදොර,
කොළඹ
2022.04.13
මහින්ද රාජපක්ෂ මහතා,
ගරු අග්‍රාමාත්‍ය,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
කොළඹ.
අගමැතිතුමනි,
ඔබ විසින් ඉල්ලා ඇති සාකච්ඡාව සම්බන්ධයෙනි.
ජනාධිපතිවරයාට සහ දූෂිත දේශපාලනයට එරෙහිව ගාලුමුවදොර ආශ්රිත ගෝටාගෝ ගම ප්‍රදේශයේ අරගලයේ නිරත තරුණ පිරිස් සමග සාකච්ඡාවක් සඳහා ඔබ සූදානම් බවට දන්වා තිබේ.
එහෙත් අරගලයේ නිරත කිසිවෙකු ඔබ හෝ පාලක පක්ෂයේ වෙනත් කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡාවක් සඳහා කිසිදු සූදානමක් නැතැයි අවධාරණය කරමු.
සති දෙකකට අධික කාලයක් තිස්සේ දිවයින පුරා සහ ගෝටාගෝ ගම ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා හරහා ජනාධිපතිවරයාට සහ ඔබ ඇතුළු ආණ්ඩුවට බල කර කියා සිටින ප්‍රධාන කාරණා දෙකකි.
01. මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් විය යුතුය.
02. මහින්ද රාජපක්ෂ වන ඔබ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ පවුලට අයත් සියලු දෙනා (චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන අය) ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුය.
ඉහත ඉල්ලීම් ඉටු කිරීමකින් තොරව ඉන් ඔබ්බෙහි වූ කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හැකියාවක් නොමැති අතර,ඒ සඳහා අප තුළ කිසිදු අභිලාෂයක් නොමැති බවද යළිත් අවධාරණය කරමු.
එමෙන්ම කිසිදු හේතුවක් මත අරගලයේ නිරත පිරිස් උක්ත ඉල්ලීම්වලින් වියුක්ත කාරණාවක් නියෝජනය නොකරන අතර, අපගේ නියෝජිතයන් බව කියමින් කිසිවෙකු හෝ ඔබ සමග සාකච්ඡාවලට එළඹෙන්නේ වුවද, ඔවුන් අපගේ නියෝජිතයන් නොවන බවටද අවධාරණය කරමු.
අවසාන වශයෙන්ද අපගේ මූලික ඉල්ලීම් ඒ ආකාරයෙන්ම ඉටුවනතුරු ගෝටාගෝගම ආශ්රිත අරගලය මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන බවටද ඔබට මෙයින් පොරොන්දුවක් දෙමු.
ස්තුතියි,
මෙයට,
අරගලයේ නිරත ජනතාව