අරගලකරුවන් පිරිසක් පාර්ලිමේන්තුව අල්ලා ගැනීම වෙනුවෙන් ඇරඹි අරගලය මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ද අවසන්ව නැත. කදුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර එල්ල කළ ද එහි පැමිණි පිරිස විසිර ගියේ නැත. මාර්ගය අවහිර කරමින් යොදා තිබූ මාර්ග බාධක බැකෝ යන්ත්‍රයක් ගෙනවිත් කඩා දැමුණු අතර දෙපාර්ශවය අතර ගැටුමෙන් 48 දෙනෙක් තුවාල ලබා තිබුණි.
පාර්ලිමේන්තුව යනු ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල්කඩ ලෙස හැදින්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නා රටක ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව හරහා ය. රටේ ප්‍රධාන කළුණු හතර ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව, අධිකරණය හා ජනමාධ්‍ය සැලකෙයි. ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලා ගනිමින් විධායක කුළුණ පෙරලා දැමූ පිරිස් දැන් පාර්ලිමේන්තු කුළුණත් අත්පත් කරගනිමින් එයත් පෙරළා දැමීමට උත්සාහ කරමින් සිටිති
මාධ්‍ය කුළුණට බලපෑම් කලත් ඔවුන් එය අල්ලා ගත්තේ නැත. දැන් ඔවුන්ට අල්ලා ගැනීමට තිබෙන්නේ අධිකරණ කුළුණ පමණකි. එතැනට පැමිණීමට පෙර මෙය නතර කර ගැනීම පොදු මහත් සැමගේ වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. විධායක කුළුණ පෙරළද්දි හුරේ දැමූ ජනතාව පාර්ලිමේන්තු කුළුණ අත්පත් කර ගැනීමට එද්දී සලිත වූ හැඩක් පෙන්නුම් කරයි.ඒ අරගලයේ කඳ මිස හිස නොපෙනෙන බැවිනි.
එහෙත්, හිසක් නැති අරගලයක අවසානය අතිශය බිහිසුණු බව බහුතරයකට වැටහෙන්නේ නැත. ඒ මන්ද සමහර දේශපාලඥයින් පැරණි භාණ්ඩ එකක් දෙකක් කැඩුණාට කම් නැත, ශිෂ්ඨ අරගලයක් නැතැයි කියමින් අරගලකරුවන්ට ආවැඩීම මිස ඔවුන් යහමඟට යොමු කරන්නට උත්සාහ නොකිරීමේ ප්‍රතිඵලය දැන් සැමටම ඇස්පනාපිටම දැක ගන්නට තිබේ.ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද අනතුරු අඟවා සිටින්නේ දැන් අරගලය වැරදි මංපෙතකට පා තබා ඇති බැවිනි.ඒ අනුව අරගල කරුවන් මතු සිදු කරන අනීතික ක්‍රියා වලට ලංකා නීතිඥ සංගමය මැදිහත් නොවනු ඇත.
අරගලයට නායකත්වය දුන් බව කියූ පැතුම් කර්නර් නමැති පුද්ගලයා පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ අරගලයට නායකත්වය දෙමින් සිටියි. ඔහුගේ අරගලයට හසු නොවී නැවත ගෝල්ෆේස් එන්නැයි අරගල නායකයෙකු වන රැට්ටා රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ප්‍රකාශ කරද්දී පැතුම් කර්නර් කීවේ සැබෑ අරගලයට තමන් අරගල නායකයන් යැයි සිතා සිටින පිරිසක් බාධා කරන බවකි.
අරගලකරුවන් අතර බෙදීම් ඇතිවීමට පටන් ගත්තේ ගෝල්ෆේස් අරගලයට දේශපාලන කණ්ඩායම් අත පෙවීමත් සමඟ ය. ගෝල්ෆේස් අරගල භූමිය හැදින්වූයේ “ආදරයේ අරගලය” ලෙසය. එහි පැමිණි බොහෝ තරුණ කොටස් කිසිදු පක්ෂයක සාමාජිකයෝ නොවූහ. ඔවුන් අරගල භූමියට පැමිණියේ රටේ දැවෙන ආර්ථික ප්‍රශ්නවලට විසදුම් ඉල්ලමින්ය. එම නිසා මධ්‍යම පාන්තිකයන් මෙන්ම කොළඹ හතේ නෝනලා මහත්වරු ද අරගලයට පැමිණියහ.
ඔවුහු අරගලකරුවන්ට සැලකුවේ තම දූ පුතුන්ට මෙනි. කෑම බීම බේත් හේත් පවා සපයන්නට කටයුතු කළහ. සමාජ මාධ්‍යයන් ඇතිකරගත් එකඟතාවයකට අනුව මේ පිරිස අරගල භූමියට පැමිණියහ. සිංදු කියමින් චිත්‍ර අඳිමින් සෞන්දර්යාත්මක ප්රවේශයකින් තම විරෝධතා පළ කළ තරුණ තරුණියන්ට රාජ්‍ය දේපලවලට අත තැබීමේ ආසාවක් තිබුණේ නැත. ඔවුනට අවශ්‍ය වූයේ සිටින පාලකයාගෙන් තමන්ට තිබෙන ප්‍රශ්න විසදා ගැනීමට ය. එහෙත් සමාජ මාධ්‍යයන් මේ අරගලය නිර්මාණය කළ පුද්ගලයන්ගේ අවශ්‍යතාවය වූයේ පවතින පාලනය පෙරලා දැමීමට ය.
ඔවුහු එය සූක්ෂමව කළහ. ඒ අනුව “ගෝටාගෝහෝම්#“ ලෙස හෑෂ් ටැග් එකක් නිර්මාණය කළ ඔවුහු මෙරට තරුණ පිිරිස ඒ වෙනුවෙන් යොමු කරනු ලැබූහ. “ආදරයේ අරගලය”ට දහස් ගණන් ජනතාව ගෝල්ෆේස් පිටියට පැමිණියේ එලෙස ය. දහස් ගණනක් ගෝල්ෆේස් අරගල භූමියට පැමිණිය ද රට වටේම ලක්ෂ ගණනක් ජනතාව හදවතින් අරගල භූමියේ සිටියේ ය.එය මෑත කාලීන සුවිශේෂ සමාජ සංසිද්ධියකි.
මේ අතර මුල දී අරගලයට විරුද්ධකම් පෑ කෙනෙහිලි කම් කළ දේශපාලන පක්ෂවල සංවිධාන හා කණ්ඩායම් ද අනාරාධිතව අරගල භූමියට පැමිණ වාඩි ලා ගත්තේ අරගලකරුවන්ගේ විරෝධය මැද ය. අවසානයේ එය නිර්පාක්ෂික අරගලයක් යැයි කියා සිටීමට පවා ඔවුනට සිදුවිය. එහිදි අරගලයට නායකයන් කිහිප දෙනෙකු බිහිවූ අතර ඉන් පසු ඔවු`නොවුන් අතර ගැටුම් ඇතිවීමට පටන් ගත්තේය. අරගලය මුවාවෙන් මුදල් එකතු කළාය යන චෝදනාව මත “මෝටිවේෂන් අප්පච්චි“ ලෙස හදුන්වාගත් අයෙකු අරගලකරුවන් පන්නා දැමූහ.මෙම අරගලය මුල් කොට ජනප්‍රිය උප සංස්කෘතියක් ද නිර්මාණය විය.එහි යම් ආශ්වාදනීය බවක් ද තිබිණ.මෙහි එකි`නෙකා නොහඳුනන තරුණ කොටස් පවා ඔවවුනොවුන් ආමන්ත්‍රණය කර ගත්තේ අයියා,අක්කා,නංගී,මල්ලී යන වදන් ය.”මචං” යන්න ඉන් වැඩිපුරම ඇසුණු වදන ය.මෙරට වාමාංශික දේශපාලනයේ පට්ටා ගැසූ “සහෝදරයා” යන්න බැරි වෙලාවත් අසන්නට ලැබුණේ නැත.එහෙත්,අප රටේ සාම්ප්‍රදායික අරගල ඉතිහාසයකට හිමිකම් කියන දේශපාලන පක්ෂ පසුව මෙම අරගලයේ නායකත්වයට ඉව අල්ලන්නට වූහ.
අරගලය උච්චස්ථානයට පැමිණියේ මැයි 09 දා අරලිය ගහ මන්දිරයෙන් ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ය. ඉන් පසු අරගලය තුළත් පැවැති සාමකාමි බව විනාශ වී ගියේය. ඉන් පසු ඒ දක්වා අරගල භූමියේ කැරකෙමින් සිටි දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඉදිරියට පැන එහි බලය අල්ලා ගැනීමට වෙරදරන්නට වූහ. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි සමාජවාදී පක්ෂය එහි මුල් තැනට පැමිණි අතර. සමගි ජන බලවේගයේ කොටස් හා එක්සත් ජාතික පක්ෂයේ කොටස් පැත්තකට වීසි විය.එහෙත් මෙය ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි සමාජවාදී පක්ෂය දියත් කරන “ලේ රත් කරන අරගලයක්” නොවන බව ඒ වන විට කාටත් පසක් වී තිබිණ.එහෙත් ඔවුන් කියා සිටියේ මෙම අරගලය තම පක්ෂ ක්‍රියාකාරීන් විසින් බිහි කළ හා ගොඩ නැඟූ එකක් බව ය.එය අප රටේ සාම්ප්‍රදායික දේශපාලන කතාවකි.කෙටියෙන්ම කිව හොත් ලෝක බොරුවකි.
මේ අතර රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා නමැත්තා ඇතුළු කොටසක් වෙනම අරගලය මෙහෙයවද්දී පැතුම් කර්නර් තව පැත්තක සිට අරගලය මෙහෙය වන්නට විය. ජූලි 09 දා නැවත අරගලය සක්‍රීය කිරීමට විපක්ෂ දේශපාලන අධිකාරියට අවශ්‍ය වූ අතර අරගලකරුවන් හා එක්ව නැවත ජන ගඟක් කොළඹට ගෙන්වා ගැනීමට ඔවුහු සැලසුම් කලෝය. එහි නායකත්වය ගනු ලැබූවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ය. ඔවුන්ට විපක්ෂයේ සියළු දේශපාලන පක්ෂවල සහාය හිමි විය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොලිස්පතිවරයා හරහා පොලිස් ඇඳිරි නීතිය දැමීම නිසා අරගලකරුවන් අපේක්ෂා කළාටත් වඩා වැඩි ජන ගඟක් කොළමට ගැලුවේය.
ආරක්ෂක අංශවලට නිසි විධානයක් නොලැබීම නිසා ඔවුන් පසු බැස්ස අතර අරගලකරුවෝ ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගත්හ. එහිදි ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ අතර 13 දා එය රටට දැනුම් දෙන බව ද කීවේය. ඉන් පසු අරගලකරුවන් සමඟ සාකච්ඡාවක් කතානායකවරයා සුදානම් කළත් එය වැලකී ගියේ කතානායක වරයා වෙත යොමු කළ අරගලකරුවන් සැබෑ අරගලකරුවන් නොවන බවට ගෝල්ෆේස් අරගල භූමියෙන් ප්‍රකාශ වීමත් සමඟ ය.ඒ අනුව ඔවුන්ගේ බරපතල විවේචන එල්ල වන රාජ්‍ය අංශයට පවා සැබෑ අරගල කරුවන් සොයා ගැනීම අපහසු විය.ඒ අරගල භූමිය පසුව ආක්‍රමණය කළ පිරිස් එහි “මුදුනන්” වීමට වෙරදැරීම නිසා ය.
පක්ෂ දේශපාලකයන් නිර්පාක්ෂික අරගලය “උස්සා” ඇතැයි කියමින් තවත් අරගලකරුවන් පිරිසක් විරෝධය පළ කරන්නට වූහ. එහි මුලින්ම සිටියේ පැතුම් කර්නර් ය. පක්ෂයක් නොමැතිව අරගල භූමියට මුලින් පැමිණි ආදරයේ අරගලකරුවන් අරගල භූමියෙන් ඉවත්ව ගොස් බොහෝ කල්ය. දැන් ඇත්තේ දේශපාලන අරමුණු සහිතව පැමිණි කණ්ඩායම් අතර අරගලයකි. ඔවුනොවුන් ඇණකොටා ගන්නේ එබැවිනි.
දැන් අරගලයට න්‍යෂ්ටියක් නැත.අරගල කරුවෝතැන තැන දුවමින් සිටිති. ඔවුහු අගමැති කාර්යාලය අත්පත් කර ගත්හ. දැන් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට ගොස් සිටිති. පිරිසක් ගෝල්ෆේස් එන්නැයි කියද්දී තවත් පිරිසක් ඉන් ඉවත් වෙන්නැයි කියද්දීත් පාලනයක් නැති අරගලය පාර්ලිමේන්තුවම ඉල්ලා සිටිති. එහි එන්නැයි කියති. තම තමන් අතර සමගියක් නැති අරගල නායකයන් දිනක රට බාර ගත්තොත් එය පාලනය කරන්නේ කෙසේදැයි සිතා ගැනීම පවා දුෂ්කර කාරණයකි.නමුත් මේ වන තුරු ම රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලාත්මක ය.මෙම අරගලයට උවමනා,ජවය පන්නරය ලැබුණේ ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළිනි.එහෙත්,ඒ තත්වය තුළ පාර්ලිමේන්තුව බල රහිත කිරීමට අරගලයේ මුවාවෙන් ඇතැම් පිරිස් ක්‍රියාත්මක වුවහොත් එහි අවසාන ඉරණම බොහෝ දෙනකු සිතනවාට වඩා අතිශයින් බිහිසුණු වනු ඇත. ලසන්ත වීරකුලසූරිය