අවශ්‍ය වුණොත් ලොකු ලූනු අස්වැන්න මිලට ගන්න පුළුවන්

මෙවර යල කන්නයේ ලොකු ලූනු වගා කර ඇති ගොවීන්ට නිසි මිලක් නොලැබී ඇති බවට ගොවීන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට සිදු කර නොමැති මුත් අවශ්‍ය වුවහොත් රජය මැදිහත් වී සතොස මඟින් ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 03කි. මෙම යල කන්නයේ වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර 1200ක් පමණ වේ. ඉන් අපේක්ෂිත අස්වනු ප්‍රමාණය මෙට්‍රික්ටොන් 24,000කි. එම අස්වනු ප්‍රමාණය තුළින් මෙරට සමස්ත අවශ්‍යතාවය සම්පූර්ණ නොවේ. පරිභෝජනය සඳහා ඉතිරි ලොකු ලූනු ප්‍රමාණය මුළුමනින්ම ආනයනය කිරීමට සිදු වී ඇත.එමෙන්ම සෑම වසරකම ලොකු ලූනු අස්වැන්න නෙලන අවස්ථාව වන විට වර්ෂාව නිසා එම වගාවන් විනාශ වී යන තත්ත්වයක් ද පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි.දැනට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මඟින් ලොකු ලූනු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 225-250 අතර මිලකට මිල දී ගන්නා බවත් ලොකු ලූනු රුපියල් 150 දක්වා අඩු වී ඇතැයි ගොවීන් පළ කර ඇතැයි පැවසෙන ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව ද අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්