අසභ්‍ය දර්ශන නරඹන පූජක වරුන්ට සහ පූජක වරියන්ට පාප් වහන්සේ අනතුරු හඟවති

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමේ අන්තරාය පිළිබඳව ශූද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පූජකවරුන්ට සහ කන්‍යා කන්‍යා මව් වරුන්ට හා සොහොයුරියන්ට අනතුරු අඟවා තිබේ.මෙම විෂය පථය පිළිබඳව උන් වහන්සේ අදහස් ප්‍රකාශ කළ පළමු අවස්ථාව ද එයයි. “අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීම බෝහෝ දෙනකු සේම පූජකයන් සහ කන්‍යා මව් වරුන් සොහොයුරියන් පවා ඇති නරක දෙයක්.යක්ෂයා එතනින් ඇතුල් වෙනවා පූජක හදවත් දුර්වල කරනවා” යනුවෙන් වතිකානුවේ පැවති සැසිවාරයකදී ඩිජිටල් සහ සමාජ මාධ්‍ය වඩාත් හොඳින් භාවිත කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන් වහන්සේ සඳහන් කළහ. එම අවස්ථාවට පූජකවරුන් ඇතුළු තවත් පිරිසක් එක් ව සිටියහ
සමාජ මාධ්‍ය සහ ඩිජිටල් ලෝකයේ සැරිසරන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන්, 86 හැවිරිදි පාප් වහන්සේ පැවසුවේ ඒවා භාවිතා කළ යුතු නමුත් ඒ සඳහා වැඩි කාලයක් නාස්ති නොකරන ලෙස ය.ජේසුස් වහන්සේට දිනපතා ලබා දෙන පිරිසිදු හදවතට මෙම අසභ්‍ය තොරතුරු අයත් නොවන බව පැවසූ,උන් වහන්සේ එම කණ්ඩායමට උපදෙස් දුන්නේ “මෙය ඔබගේ දුරකථනයෙන් මකන්න, එවිට ඔබ අතින් පෙළඹවීමක් ඇති නොවේ” යනුවෙනි. ලිංගිකත්වය සඳහා ආචාර විචාර සම්ප්‍රදායක් හඳුන්වා දී ඇති පල්ලියේ ඉගැන්වීම් අසභ්‍ය දර්ශන නැරඹීම දකින්නේ නිර්මලකමට එරෙහි වරදක් ලෙස ය.පාප් වහන්සේ ගේ මෙම ප්‍රකාශය මඟින් කිතුණු පූජක වරුන් හෝ කන්‍යා මව් වරුන් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමේ වැඩි නැඹුරුවක් පළ කරන බවක් අප කෙසේ වත් සිතිය යුතු නැත.උන් වහන්සේ මෙහි දී හඟවා ඇත්තේ වත්මන් කාමභෝගී සමාජයේ ඉස්මතු වී ඇති ලිංගික ප්‍රවණතාවන් පැවිදි සමාජය වෙත ද සම්ප්‍රේෂණය වී ඇති බවකි.මෙම තත්වය සම්බන්ධයෙන් දේශීය වශයෙන් සිතන විට”පල්ලියේ මෙහෙම වුණාට පන්සලේ මෙහෙම නැතුව ඇති”යනුවෙන් යමකුට සිතුණහොත් එය බරපතල ගණයේ අඥාන සිතුවිල්ලක් වනු නොඅනුමාන ය.ඊට හේතුව වත්මන් කාමභෝගී සමාජයේ උණුසුම පල්ලියට සේම පන්සලට ද එක සේ දැනී තිබීම ය.එමෙන්ම කතෝලික සභාව තුළ ජාතික වශයෙන් සේම ජාත්‍යන්තර වශයෙන් සංස්ථාමය විනයක්,ශික්ෂණයක් පැවතීමත් ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය තුළ ප්‍රායෝගික වශයෙන් එවැනි සංස්ථාමය ව්‍යුහයක් ක්‍රියාත්මක නොවීමත් මුල් කොට මෙවන් තත්වයන් අතින් පල්ලියට වඩා පන්සල බොහෝ දුර දිග ගොස් ඇති බවට අනුමාන කළ හැකි සාධක තිබේ.වත්මන් කිතුණු පූජක වරුන්ට අමතරව ශ්‍රී ලාංකීය භික්ෂු ප්‍රජාවේ ක්‍රියාකාරම් පෙරට වඩා විවිධාංගීකරණයට ලක් ව ඇති බවක් පෙනෙයි.එම විවිධාංගීකරණ ලක්ෂණ ලෞකිකත්වය පදනම් කර ගත් කාමභෝගීත්වය හා සබැඳුණු ඒවා බව එවන් සංසිද්ධීන් පිළිබඳව අනාවරණය වන තොරතුරු වලින් පෙනී යයි.සෙසු බොහෝ පැවිද්දන්ට තම ආගමික සංස්ථා ව්‍යුහය මඟින් යම් විනයක් ශික්ෂණයක් හිමි කොට ඇති අතර ජෛන ආගමේ එම ප්‍රමිතිය විශිෂ්ඨ ලෙස ආරක්ෂා වී තිබේ.එම ආගමය අයත් “දිගම්බර්” නම් නග්න පැවිද්දන් පවා අතිශයින් විනයවත්ය.ශික්ෂාකාමීය. නමුත් නූතන බෞද්ධ භික්ෂු ක්‍රියාකාරකම් වලින් පෙනී යනුයේ වත්මන් ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය තුළ එවැන්නක ශේෂ මාත්‍රයක් හෝ දක්නට නොමැති බව ය.මේ සියළු තත්වයන් යටතේ මානව ඉතිහාසයේ අන් කිසිදු කලෙක නොමැති ලෙසින් ලිංගිකත්වය ජනතාවගේ “සාක්කුවට වැටී ඇති” සමයක පූජක වරුන් විෂයෙහි එය යක්ෂයා ගේ ඇතුල් වීමක් පූජක හදවත දුර්වල කිරීමක් ලෙස මෙම වයෝ වෘද්ධ ගුණ වෘද්ධ ඥාන වෘද්ධ පූජක උතුමන් කරන ප්‍රකාශය කතෝලික දහමට පමණක් සීමා කළ යුතු නැත.ඒ අනුව “මෙය ඔබගේ දුරකථනයෙන් මකන්න, එවිට ඔබ අතින් පෙළඹවීමක් ඇති නොවේ” යන ශූද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පූජකවරුන්ට සහ කන්‍යා කන්‍යා මව් වරුන්ට හා සොහොයුරියන්ට කළ ඒ අනතුරු හැඟවීම පිළිබඳව අප රටේ පැවිදි ප්‍රජාව ද ගැඹුරින්ම සිතා බැලිය යුතු ය.මක් නිසා ද කිතුණු දහමේ “යක්ෂ” නමින් හඳුන්වන නපුරු දුෂ්ඨ පාපී අයහපත් බලවේග වලට සමාන “මාර” නම් වන නපුරු දුෂ්ඨ පාපී අයහපත් බලවේග බලයක් පිළිබඳව බුදු දහමේ ද දැක්වෙන බැවිනි. දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර