අසිරිමත් නත්තල උදා වෙයි

ඊයේ(24) මධ්‍යම රාත්‍රියෙන් ලෝ වැසි දනන් උදෙසා තවත් අසිරිමත් නත්තලක් උදා විය.මෙවර ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ නත්තල සම්බන්ධ සාධනීය ආකල්ප ප්‍රවර්ධනය වීමේ නව නැඹුරුවක් හට ගෙන ඇතැ‍යි කිතුනු ආරංචි මාර්ග සඳහන් කරයි.විශේෂයෙන් පසුගිය වසර වලට සාපේක්ෂව මෙවර නත්තල් උදාවේ ගිනිකෙළි භාවිතයේ සැලකිය යුතු අඩුවක් දක්නට දක්නට ලැබුණු බව ද වාර්තා වේ.එමෙන්ම මස් මාංශ ආදී ආහාර සම්බන්ධ අධි භාවිතයේ ද මෙවර විශේෂ අඩුවක් දක්නට ලැබුණු බවත් පැවසෙයි.මෙවර නත්තල් සැමරුම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ඥානාර්ථ ප්‍රදීපය පුවත් පතේ ප්‍රධාන කර්තෘ මෙසේ පවසා තිබේ.”නත්තල උදාවෙන්නේ ගිලිහී යන සාරධර්ම ගොඩනඟා ගන්න දරන උත්සාහයක් ලෙසටයි. පවුලේ සැවොම එකතු වී සමරපු නත්තල් මිහිරියාව අද කෙමෙන් කෙමෙන් ගිලිහී ගොස් තිබෙනවා.නත්තල් සැමරීම වෙනස් වී ඇති පසුබිමක එය මිල මුදල් මත යැපෙන මංගල්‍යයක් බවට පත්ව ඇති අයුරු කීම පවා කනගාටුදායකයි. නත්තලේ සැබෑ අරුත නොදැනීම හේතුවෙන් නත්තලේ යහපත් සාරධර්ම අපි අතින් ගිලිහී යෑමකට පත්වී තිබීම දැකගත හැකියි. නත්තල වෙළෙඳ සැනකෙළියක් බවට පත්කර ගැනීම තුළ නත්තලේ තිබූ සතුට, සමගිය නැති වීමට එය හේතුවක් වී තිබෙනවා.තමන්ට හැකි විදිහට නත්තල් ගහක්, ගවලෙනක් හදලා නත්තල සැමරීමට හැකි නම් නත්තලේ සැබෑ අසිරිය ඇත්තේ එතනයි. සෑම විටම වෙනසක් අපේක්ෂාවෙන් කල් ගෙවන මිනිස්සු ජීවත්වෙන සමාජයක වෙනස්වීම බලාපොරොත්තු විය යුත්තේ දේශපාලනයෙන් පමණද? රටක වෙනස්වීම දේශපාලනයෙන් පමණක් මැනිය හැකිද? යන කාරණය මෙහිදී ඉස්මතු වෙනවා. දුප්පත්කම කියන්නේ මිනිසුන්ට දැනෙන දෙයක්. නත්තල මුල් කොට හෝ දුප්පත් පවුල්වලට උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ නත්තලේ අරුත වෙන්නේ. නත්තලට දුප්පත් කෙනෙක්ට උදව් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. තෑගි බෝග ලැබෙන්නේ නැති, අලුත් ඇඳුම් පැළඳුම් ගන්න මිල මුදල් නැති ගොඩාක් දරුවෝ අපේ සමාජයේ ජීවත් වෙනවා සහ අපි අතරේ ඉන්නවා. සැබෑ නත්තලින් සිදුවිය යුත්තේ සියල්ල එකතු වී නත්තල හැකි අන්දමින් සැමරීම නොවේද? ආත්මාර්ථකාමිත්වයට වහල් වී මිල මුදල් සිතූ පැතූ ලෙස වියදම් කිරීම නත්තල නොවේ.

කාලීන පුවත්