අහස් කුස තරණය කළ මනීෂා සසර තරණයට ධම්ම නිරෝධා නමින් සසුන් ගත වෙයි ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් ඊයේ (27) සසුන්ගත වූවාය.තිස් පස් වන වියේ පසුවන ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද වන්නීය.යුද හමුදාවේ රාජකාරි කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් ඇය බිමට පැන ඇති බව වාර්තා වෙයි.
බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්ති රතන, ගලඋඩහේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යයත්වයෙන් යුතුව ඇය සසුන්ගත වූ අතර ඊට ප්‍රථම ලෝක සම්මතයට අනුව ගිහි ජීවිතයක පරමෝත්තෘෂ්ඨ අවස්ථාව සේ සැලකෙන විවාහ මංගල්‍යයකදී තරුණියක හැඩ ගැන්වෙන මනාලි ඇඳුමින් ද සැරසී මඳ වේලාවක් විවේකීව ගත කොට ගිහි ජීවිතය සහ පැවිදි ජීවිතය සම්බන්ධ අවසන් නිගමනයකට ඒමේ අවස්ථාව ද ඇය සඳහා උදා කර දෙන ලදී.බෞද්ධ ශාසන සම්ප්රදාය අනුව සාමනේර භික්ෂූන් උපසම්පදා කිරීමට පෙර ද ගිහි රජ ඇඳුමකින් සරසවා පැවිදි දිවියත් ගිහි දිවියත් අතර “නාග”(උතුම් පුරුෂයා)නම් තත්වයේ රඳවා තැබීමක් සිදු කෙරේ.මෙහි දී එම මනාලි ඇඳුමින් මඳ වේලාවක් ගත කළ මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය එය ප්‍රතික්ෂේප කොට පැවිදි බව ද ඉල්ලා සිටීම බොහෝ දෙනකුට සාතිශය සංවේදී අද්දැකීමක් වූ බව දා පෙනිණ.ගිහි ජීවිතයේ දී උඩු ගුවන ජයගෙන ගිහි දිවිය ප්‍රතික්ෂේප කොට පැවිදි දිවියට පිවිසි කරන්දෙණියේ ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය සේම තමන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ අති උතුම් ආධ්‍යාත්මික විමුක්ති සුවය ද ලැබේවායි අපි ද පතමු.
රේණුකා දමයන්ති