ආගමකට නින්දා කරන පුද්ගලයන්ගේ මානසිකත්වය මොන වගේද ? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

 

අද ලෝක ජනතාවෙන් 85% ක් පමණ මොකක් හරි ආගමක් අදහන මිනිස්සු.

ඒ කියන්නේ මිනිස්සු බහුතරයක් ආගමක් අවශ්‍යයයි කියලා හිතන, තමන්ගේ ආගමික පරිසරයන් තුළ ආරක්ෂිත බවක්, සුවදායක බවක්, මානසික සහනයක් භුක්ති විඳින මිනිස්සු.

ඒකේ කිසි වරදක් නැහැ.ඒක ශීලාචාර සමාජයක තිබෙන නිදහස් අයිතියක් . ඕනම කෙනෙකුට තමන් කැමති ඕනම ආගමක් ඇදහීමට තිබෙන ඒ නිදහස් අයිතියට සැම ශීලාචාර පුරවැසියෙක්ම ගරු කළ යුතුයි.

මේ පුංචි දේ හරියට තේරුම් ගත්ත නං ආගම් අතර කවදාවත් ගැටුම් ඇතිවෙන්නෙ නෑ.මොනතරම් මතගැටුම් තිබුනත් ඒ කිසි දෙයක් සාමකාමී සමාජ ජීවිතයටකට බාධාවක් වෙන්නේ නෑ .

එහෙත් ආගමේ නාමයෙන් මහා විනාශකාරී සිදුවීම්, ඉතා බිහිසුණු අපරාධ පවා සිදු වෙමින් පවතින බව රහසක් නෙමෙයි.

ගැටලුව තියෙන්නෙ මත ගැටුම් වල නෙමෙයි. ගැටලුව තියෙන්නේ කැමති ආගමක් ඇදහීමට ඇති අයිතිය තේරුම් නො නොගැනීමයි. ගරු නොකිරීමයි.

අපි කෑමට කැමති අකමැති කෑම ජාති එකම මේසෙ උඩ තියෙන්න පුළුවන්. ඒත් අපිට එකට වාඩි වෙලා කැමති දෙයක් තෝරගෙන භෝජන සංග්‍රහයක් භුක්ති විදින්න බැරි කමක් නැහැ. ඔබ යම් කෑමකට කැමතිවුනා හෝ අකමැතිවුනයි කියල, මමත් කෑමකට කැමතිවුනා හෝ අකමැතිවුනයි කියලා අප අතර බහින්බස් වීමක් ඇතිවෙන්න , සටන් ඇති වෙන්න, වෛරයක් ඇතිවෙන්න අවශ්‍ය නැහැ.

ආගමත් ඒ වගේ තමයි .

බොහෝවිට ආගම් පදනම් වෙලා තියෙන්නෙ විවිධ විශ්වාසයන් මත.කාගෙවත් පෞද්ගලික විශ්වාසයන් අපට අභියෝගයට ලක්කරන්න බැහැ .ඕනම කෙනෙකුට ඕන දෙයක් විශ්වාස කරන්න නිදහස තියෙනවා.

කොළඹ වරායක් තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මහනුවර වරායක් තියෙනවා කියලා විශ්වාස කරන්නත් පුළුවන්.

අපි තහවුරු කර ගත්තු දැනුම අනුව කොළඹ වරායක් තියෙනවා කියන එක ඇත්තක්, මහනුවර වරායක් තියෙනවා කියන එක බොරුවක්. ඒක අපි දන්නේ ඉන්ද්‍රිය ගෝචර සොයා බැලීම්, අත්දැකීම් හරහා ඇතිවුණු තහවුරුව නිසා.

සමහර ආගමික සංකල්පත් ඒ වගේ තමයි.

නිදසුනක් වශයෙන් කිසි කෙනෙක් තිස්තුන්කෝටියක් තියා එක දෙවි කෙනෙක් වත් දැකලා නැහැ. නමුත් සමහරු එහෙම එකම දෙවි කෙනෙක් හෝ තිස්තුන් කෝටියක් දෙවිවරුන් ගැන හෝ විශ්වාසයකින් ඉන්නවා.

ස්වර්ග රාජ්‍යයක් හෝ නරකාදියක් අපායක් කිසි කෙනෙක් දැකලා නැහැ. නමුත් එහෙම තැන් තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා.

මිනිස්සු බොහෝ දෙනෙක් දෙවි කෙනෙක් දැකල නොතිබුනාට පෞද්ගලිකව අත්දැකල තිබෙන්න පුළුවන්.අපි කොහොමද ඒ වගේ පෞද්ගලික අත්දැකීමක් මත ගොඩනැගුණ විශ්වාසයකට අභියෝග කරන්නෙ?

විශ්වාසය මත පදනම් වුනු කිසිවකට අභියෝග කරන්න අපිට බැහැ. අභියෝග කළත් බොහෝ විට එහි වැරදි හෝ නිවැරදි බව ඔප්පු කිරීමට සාධක සොයා ගන්න ලේසි නෑ. සමහරවිට පුළුවන් වෙන්නෙම නැහැ.

අද අපි විශ්වාස කරන දේ හෙට ඇත්තක් වෙන්නත් පුළුවන්, බොරුවක් වෙන්නත් පුළුවන්.

පුංචි නිදසුනක් වශයෙන්, ඉස්සර මිනිස්සු හිතුවේ පෘථිවිය සූර්යයා ගමන් ගන්නා බව. ඒත් ගැලිලියෝ නමැති විද්යාඥයා ඒක එහෙම එහෙම නෙමෙයි කියපුහම ඔහුට සිර දඬුවම් ලැබුණා. ඒ ආගමික නායකයන්ගේ විරෝධතාවය නිසා. ඔහු කිව්වේ පෘථිවිය හිරු වටා ගමන් ගන්නවා මිසක් හිරු පෘථිවිය වටා ගමන් ගන්නෙ නැති බවයි .

අද අපි පැහැදිලිවම දන්නවා මිලියන ගණන් මිනිස්සු ඇත්ත කියල විශ්වාස කරගෙන හිටපු ඒ දේ විද්‍යාත්මකව බොරු කියලා ඔප්පු වෙලා තියෙන හැටි.

ඒ වගේම, අපි විශ්වාස කරන දේ තමයි හරියිටම හරි කියලා කෑ කෝ ගහන අපිම කවද හරි දවසක ඒක බොරු කියලා අතහැරලා දාන්න ඉඩ නැත්තෙත් නෑ.

අද අදේවවාදීන් හෙට දේවවාදීන් වෙන්න පුළුවන්. අද දේවවාදීන් හෙට අදේවවාදීන් වෙන්න පුළුවන්.

ඒ නිසා අනිත් ආගම් වලට ගරහනවා කියන්නේ තමන්ගේම සපත්තු කටේ දාගන්නව වගේ වැඩක් වෙන්නත් පුළුවන්.

සැබෑ බුද්ධිමතෙක් කවදාවත් එක් එක්කෙනා කියන විදියට කිසි දෙයක් පිළිගන්න සූදානම් නැහැ .හොදට හොයල බලල තමන්ට පිළිගත් හැකි නම් විතරයි පිළිගන්නේ. හැබැයි ඔහුගේ මනසට අනුව මෙතෙක් ඔප්පු නොකළ දෙයක් වුණත් හිතලා බලලා , විශ්වාස කළ හැකි දෙයක් ලෙස පිළිගන්න පුළුවන්.

විශ්වාසය කියන එක එක් එක්කෙනාගේ මානසික සීමාවන් තුළ ගොඩනගා ගත් දෙයක් . ඒක තම තමන්ගේ පෞද්ගලික කැමැත්ත.ඒකටචෝදනා කරන්නත් අපට හැකියාවක් නැහැ. අපට අයිතියකුත් නැහැ.

ඒ නිසා හොඳම සහ නිවැරදිම දේ තමයි තමන්ගේ විශ්වාසය තමන් ළග තියාගෙන අනිත් අය විශ්වාස කරන දේ ඒ අයට කැමති විදිහට විශ්වාස කරගෙන ඉන්න ඉඩදෙන්න.

මේ විදිහට අනෙකාගේ විශ්වාසයට ගරු කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අද අපි අවට ලෝකය දිහා බලද්දි අපට බොහෝවිට දකින්න ලැබෙන්නේ ඊට විරුද්ධ දේවල්.

බොහෝ දෙනෙක් හිතන්නේ තමන්ගේ ආගම තමයි නිවැරදි හරිම ආගම කියලා. තමන්ගේ ආගම ප්‍රචාරය කරනවා. ඒ ආගමට බඳවා ගන්න බලනවා …

තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ වරදක් නැහැ. තමන් අදහන ආගම ගැන අනිත් අයට කියා දුන්නට පැහැදිළිකර දුන්නටකමක් නැහැ .

නමුත් අනිත් අයගේ ආගම දෝෂයට ලක් කිරීම, ගැරහීම, අවමානයට පත් කිරීම, ඊට විරුද්ධව කථා කිරීම කිසිසේත් ශිෂ්ට සමාජයක සිදුවිය යුතු දෙයක් නොවේ.

ඇත්තෙන්ම තවත් ආගමකට ගහන්නේ ගරහන්නේ ප්‍රසිද්ධියේ දොස් කියන්නෙ සිත් තුවාල වෙච්ච මිනිස්සු. මොකක් හරි දෙයකින් මානසිකව රිදෙන්න බැට කාපු මිනිස්සු. තමන්ගෙ ආගම ගැන විශ්වාසයක් නැති මිනිස්සු. ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් සිත් දූෂිත වූ මිනිස්සු.

ඇතැම් විට ඔබ අදහන ආගමට අනිත් අය සමච්චල් කරනවා විය හැකියි. පහත් කොට සලකනවා විය හැකියි. ඒත් මොන විදිහට ඔබව විවේචනය කළත් ගැරහීම්ට ලක් කළත් ඔබ කලබල විය යුතු නැහැ . ඔබට ඔබ අදහන ආගම ගැන විශ්වාසනම් එච්චරයි . ප්‍රචණ්ඩ රැළි ඇවිත් මුහුදේ ගල්වල හැපුනට කිසිම වැඩක් වෙන්නේ නැහැ. ආපසු කලකිරිලා මුහුදට යනවා විතරයි. ඒ වගේ ඔබට ඔබේ විශ්වාසය විශ්වාස නම්, කවුරු මොනවා කිව්වත් ඔබට හානියක් වෙන්න හේතුවක් නැහැ.

අනුන්ගේ ගැරරහීම් වලින් අභූත චෝදනා වලින් බුද්ධිමතෙක් කවදාවත් සැලෙන්නේ නැහැ. ඒ ගැන පස්ස පාරේ එළවන්නෙ නැහැ . කොහේ හරි ඉන්න මෝඩයෙක් පිස්සු දෙඩෙව්වාට ඒ ගැන කරදර වෙන්න අපි කාලේ නාස්ති කරන්න ඕනද ?

ඇත්තෙන්ම නැහැ!

ඒ කියන්නේ ආගමට විරුද්ධව කෙනෙක් නින්දා කරද්දි ගැරහීම් කරද්දි කට වහගෙන අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්න කියලද?

නැහැ.

කාගෙවත් ගැරහීම් වලින් මානසිකව අපට රිදවන්න බැරි බව ඇත්ත .ඒත් ඒක පෘතග්ජනයින් ලෙස මිනිසුන්ට හිරිහැරයක් කරදරයක් වේදනාවක් බවට පත් වුනොත් ඒක අපරාධයක් වෙන්න පුළුවන්.

එහෙම වුනොත් නීතිමය පියවරක් ගන්න එක සුදුසුයි, යුතුයි.

සාරාංශයක් වශයෙන් කියනවා නම් ශීලාචාර මිනිසුන් වෙසෙන සමාජයක ආගම් වලට අගෞරව කිරීමක් හෝ ගැරහීමක් කිසිම දවසක සිදු වෙන්නේ නැහැ. ඇත්තෙන්ම සිදු වෙන්නේ ඒකේ අනිත් පැත්ත . ඇති වෙන්නේ ආගම් අතර සංහිඳියාවක් සුහදතාවක්.

යමෙක් තමන්ගේ ආගම විතරයි හරි අනිත් අයගේ ආගම වැරදියි කියලා ප්‍රකාශ කරනවා නම් ඔහු හද්ද මෝඩයෙක් මෙන්ම තමන් අදහන ආගම ගැනවත් හරි වැටහීමක් නැති, අනිත් ආගම් ගැන අවබෝධයක් නැති, නොගැඹුරු මනසක් ඇති සමාජ විරෝධී පුද්ගලයෙකු මෙන්ම අපරාධකාරයෙකු ද විය හැකියි.

ඒ නිසා ගෞරවයෙන් සැදැහැවත් භවයෙන් ඔබ ඔබේ ආගම අදහන්න. අනිත් අයගේ ආගම් වලට බාධා කරන්න නින්දා කරන්න එපා. කිසිවෙකුට ඉඩ දෙන්නත් එපා.

හැබැයි කවුරුහරි කෙනෙකුට මානසික රිදවන තරමටම ආගමට ගරහනවා නම්, ඔහු පිළිබඳව පෞද්ගලිකව හෝ සාමූහිකව හෝ නීතිමය පියවර ගැනීමට ඔබට ඇති අයිතිය අමතක කරන්නත් එපා.

– මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

එතෙර - මෙතෙර