ආගම් වාදය මිනිසාගේ ලෞකික දියුණුවට බාධාවකි

එදා තම පුතු මිය යාම නිසා සිත් තැවුලට පත් කිසා ගෝතමියට බුදුන් වහන්සේ, නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගෙන එන්නැයි පැවසූ නමුත් ඇයට එවැනි නිවසක් හමු වූයේ නැහැ. නමුත් අද? අද නම් කෙනෙක් නොමළ ගෙදරක් සොයා ගැනීම ඉතා පහසුයි. එවැනි ගෙවල් එකක් නොව දහස් ගණන් සොයා ගත හැකියි. එදා බුදුන් දවස, මරණය යන්න සාමාන්‍ය කාටත් පොදු දෙයක් බව පෙන්වා දුන්නාට, අද එය එසේ නොවේ. අද, මරණයට වඩා තිබෙන්නේ මරණ බයයි.

එදා මිනිසා, මරණය යන්න පොදු දෙයක් විදියට පිළි ගත්තා. දුක් වුණා. අද එය සලකන්නේ සාමාන්‍ය දෙයක් විදියට නොවේ. අවුරුදු 85 ආච්චිලාටවත් තමන්ගෙ ගෙදර තමන් ගේ ඇඳේ මැරෙන්න ඉඩ දෙන්නේ නැහැ. අද ඔවුන් අවසන් හුස්ම හෙලන්නේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් උඩයි. මෙයට හේතුව පැහැදිලියි. හෙහේතුව පසු ගිය ශතක පහ ඇතුළත ඇති වූ අසාමාන්‍ය වෛද්‍ය දියුණුවයි. මා එදා නවක වෛද්‍යවරයෙකු විදියට රාජකාරි කළ කාලයේ හෘදයාබාධයක් වැළදුණු රෝගියෙක් වාට්ටුවට ඇතුළත් කළහොත් ඔහුට හෝ ඇයට ඇදක් දුන්නා, ඊ සී ජී කළා, Morphine දුන්නා, ප්‍රතිකාරය එපමණයි. නමුත් අද? මා නොකීවාට ඔබ දන්නවා එවැනි රෝගියකුට කරන නොයෙකුත් ප්‍රතිකාර ගැන. ඉතින් එදාට වඩා අද කෙනෙකු නොමළ ගෙවල් වැඩි වුණේ, වෛද්‍ය විද්‍යාව නිසයි.

දැන් මරණ සංඛ්‍යාව අඩු වීමට නම්, මරණ බයත් ඊට සාපේක්ෂව අඩු විය යුතු බව අපි බලාපොරොත්තු වෙන්න ඕනෑ. නමුත් එය එසේ වූයේ නැහැ. වෛද්‍ය විද්‍යාව මරණ වලින් මිනිස්සු බේරා ගන්න ගන්න , මරණ බිය වැඩි වුණා. ඊට හේතු වුණෙත් වයසට යන ඇත්තෝ පවා මරණය කල් දමමින් සිටිය යුතුයි කියන අදහස ඇති කර ගැනීම නිසයි. බොහෝ අය, ” මම මැරෙන්න කලින් ළමයි කසාද බන්දලා දීලා ඉන්න ඕනෑ” වැනි දේ කියන්නේ ඒ මරණ බය නිසයි. ඔබට මතක ඇති අපේ නාහිමි කෙනෙකුත් පවසා තිබුණා, ” මා අපවත් වෙන්න කලින් අධිවේගී මාර්ගය හදලා දෙන්න කියලා! බුදුන් වහන්සේ දෙසූ දහම අනුව දැන් අපේ මෝහය වැඩි වෙලා විනා අඩු වී නැහැ. දැන් අපි අතර තිබෙන්නේ නොයෙක් බය වලින් වැඩිම බය වී තිබෙන්නේ මරණ බයයි.

ඇයි මා මේ තරම් දුරට මරණ බිය ගැන විග්‍රහ කළේ? හේතුව, වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍ය ව්‍යාපාරය මරණ බිය නිසා දියුණු වුණා වගේම මරණ බියට එදා පිළිසරණක් වූ ආගමත් දැන් හොඳ ව්‍යාපාරයක් වෙලා. එදා මරණය ඇති වන විට එය බේරා ගන්නවා හැරෙන්නට කාටවත් කරන්න දෙයක් තිබුණේ නැහැ. කියවා බලන්න, චෙකොෆ් ගේ කෙටි කතා, ඔහු ගේ කතාවල සිටින දොස්තරවරු ළමයෙකුට ගලපටලය හැදුණොත් එම ළමයාට සැනසිල්ලේ මැරෙන්න ඉඩ හරිනවා. තමාටත් එය බෝ වී මිය යනවා.

එදා තිබුණේ අදට වඩා කෙතරම් වෙනස් ලෝකයක්ද? සිතන්න ආගමික පූජකවරයකුට කෙතරම් වැදගත් තැනක් තිබුණාද කියා. ඔහුට, වෛද්‍යවරයෙකුට වඩා කර්තව්‍යයක් තිබුණා. ඔහු මරණාසන්න පුද්ගලයාට, ඔහු ගේ පව් කමා කර ගන්නා හැටි කියා දුන්නා සහ ඉන් එම පුද්ගලයා අපායට නොයා ස්වර්ගයට යන විදිය කියා දුන්නා. එවිට මිය යන පුද්ගලයා සතුටින් මිය ගියා.

ඉතින් සියලුම ආගම්වලින් කළ වැදගත් කර්තව්‍යය වන්නේ මෙම මිය යන පුද්ගලයා ගේ සහ ඔහු හෝ ඇය වටා සිටිනා අය ගේ මරණ බිය නැති කිරීම. මැරෙනවා කියන්නේ දිව්‍ය ලෝකයට යනවා නම් එය හොඳ චාරිකාවක් නොවැ. හරියට හොරෙන් ඉතාලි යනවා වගේ දෙයක්. නමුත් මේ ගැන යුරෝපයේ දාර්ශනිකයන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තා.

මූලික ප්‍රශ්නය වූයේ මෙයයි. අපි සතුන්ගෙන් පරිණාමය මගින් ඇති වූ තවත් සතෙක් නම්, අනෙක් සතුන්ට නැති පශ්චාත් මරණ ජීවිතයක් අපිට ඇති වූයේ කෙසේද? යන්නයි. මරණ මංචකයෙන් පසුව දිව්‍ය ලෝකයට ගියේ මොන සතාද? එසේ නැති නම් අපායට ගියේ, සතුන් දඩයම් කොට මරා කෑ කුමන කොටියාද? මෙවන් ප්‍රශ්න කිරීම් තුලින්ම අද බටහිර රටවල් , ආගම් ගැන විශ්වාසයක් නැති තැනට පත්ව සිටිනවා..

ආගම් වාදය නිසා මිනිස්සු බලාගෙන ඉන්නේ තමන් ගේ ඊ ළග ආත්මය ගැනයි. මේ ආත්මයේ මහන්සියෙන් වැඩ කරලා ජීවිතය සාර්ථක කර ගන්නවා වෙනුවට ඔවුන් දන් දෙනවා, බණ, පිරිත් අහනවා, සිල් සමාදන් වෙනවා. ඒ අර මී ළග ආත්මය ගැන හිතලයි. ඉතින් මෙවැනි ඕනෑම ආගමක් සමාජයක් අරක් ගත් විට, රටක් ලෞකික දියුණුවක් දකින්නේ නැහැ.

මෙය තේරුම් ගත් සමහර නායකයෝ ආගම් පාලනය කරන්න බැලුවා. එදා එංගලන්තයේ 8 වැනි හෙන්රි රජතුමා පල්ලිවලට අයත් සියලු දේපොළ රජයට පවරා ගත්තා. ප්‍රංශයේ විප්ලවයෙන් පසු කතෝලික පල්ලිවල දේපොළ රාජ සන්තක කළා. ඇමෙරිකාවේ ව්‍යවස්ථාව මගින් ආගම රජයෙන් ඈත් කළා. ජපානයේ සමුරායි නායකයෝ ආගම නැති කළා. චීනයේ මාවෝ කළේත් එයමයි. එසේ කළේ දියුණු ලෞකික සමාජයක් මේ ලෝකය තුළ ඇති කරන්නයි.

නමුත් අපේ සමාජයේ දේශපලානඥයෝ තම බලය තබා ගන්නට ආගම් පාවිච්චි කළා සහ තවමත් පාවිච්චි කරනවා. දැන් ඔබ මගෙන් අසයි, අපි එතකොට අර මාක්ස් , ආගම ජනතාව ගේ අබිං විදියට දැක්කා වගේ, සැලකිය යුතුයි කියන එකද කියා. නැහැ, මාක්ස් ගේ ඒ මතය අන්තවාදී එකක්. නමුත් ආගම සමාජය පාලනය කරන මහ බලයක් හෝ නීති රීති පද්ධතියක් නොකර ගත යුතුයි යන්නයි මා පවසන්නේ. එය හුදෙක් පුද්ගලයෙකුට සීමා වූ ආධ්‍යාත්මික විශ්වාස පද්ධතියක් විය යුතුයි.

හොඳම උදාහරණය, පසු ගිය වෙසක් පෝය දවසේ ගෝටාගෝගම පිරිත් මණ්ඩපයක් හදා පිරිත් කීවා. එදා නිර්පාක්ෂික නිරාගම්වාදීන් වූ ඔවුන් අද ආගමට යටත් වෙලා. ප්‍රසිද්ධ සටන්වල පිරිත් කීම, ගෝටාගෝගමෙන් ආවත් අරලියගහ මන්දිරයෙන් ආවත් එකයි. එයින් සිදු වන්නේ ආගම් දඩමීමා කර ගැනීමයි. මහින්ද මැර බලය පාවිච්චි කොට, කළ නොහැකි වූ දේ, දැන් රනිල් , ආගම පාවිච්චි කොට ගෝටාගෝගම විනාශ කරනවාද? පිළිතුර පිළිතුර ඔබම සොයා ගන්න.

විශේෂඥ වෛද්‍ය රනිල් අබේසිංහ.

එතෙර - මෙතෙර