ආණ්ඩුව කළ යුත්තේ අරගලයේ පණිවිඩය තේරුම් ගැනීම මිස අරගල කරුවන් මැඩලීම නොවේ

ගාලු මුවදොර අරගලය තරම් රටේ අවධානයට ලක්වුණු වෙනත් කරුණක් පසුගිය වසර කීපය තුළ දක්නට නොවුණි. රටේ විශාල ජන වරමකින් බලයට පත් ඒ සමාන ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ද සහිත වූ පාලකයා තනතුරෙන් පමණක් නොව රටෙන් ද එලවා දැමීමට සමත් වූ මේ අරගලය පිළිබඳව නොයෙකුත් විග්‍රහයන් මේ දිනවල ජනගත වෙමින් තිබේ. ඇතැමෙකු කියන්නේ අරගලය යනු තමන්ගේ දේශපාලනික වැඩ පිළිවෙලේ කොටසක් බව ය. තව සමහර අය කීමට උත්සාහ කරන්නේ නව ලිබරල් වාදයේ කඩා වැටීමට එරෙහි ශ්‍රී ලාංකීය ජනතා නැගිටීම ගාලු මුවදොර අරගලය ලෙස පෙන්වීමට ය. තව සමහරු අරගලයේ තිබූ දේශපාලනික සම්බන්ධතා වලට වඩා නිර්පාක්ෂික ස්වරූපය ඉස්මතු කරති.

තව සමහරුන්ට අරගලය යනු මත්ද්‍රව්‍ය ගන්නා කොණ්ඩෙ, රැවුල් වවාගෙන කරාබු පැළඳගෙන සිටින කුල්ටූර් කොල්ලන් ගේ “ආතල්” වැඩකි. මේ ආදී හුදු අරගල විග්‍රහයන් ගෙන් අරගලයේ නියම තත්වය විස්තර කළ නොහැකි ය. නමුදු අරගලය හඳුනා ගැනීම ශ්‍රී ලංකා වාසී අප සැමට ප්‍රයෝජනවත් වනු ඇත.එය මෙතෙක් අප සමාජයේ කිසි දින දකින්නනට නොවූ සංසිද්ධියක් මෙන්ම රටේ මෙතෙක් නොතිබුණු ශ්‍රී ලාංකීය අනන්‍යතාව නිර්මාණය කරගනිමින් තමන්ට ආවේණික විවිධත්වයන් ද ආරක්ෂා කර ගනිමින් එකම අරමුණකට ක්‍රියාකාරී වීමේ ශක්තිය එකරාශී කර ගත් සමාජ ව්‍යුහයක් වූ නිසා ය.

අරගලයේ ආරම්භය සැබවින්ම ආර්ථික පීඩනයයි. දැනට විස්තරාත්මකව කවුරුත් දන්නා ආර්ථික අර්බුදය කෙමෙන් උත්සන්න වෙත්ම පීඩනය නිසා හටගත් විවිධ ස්වේච්ඡා ජන ක්‍රියාකාරකම් රටේ තැනින් තැන මතු විය. මේ ස්වේච්ඡා විරෝධතා වල විශේෂත්වය වූයේ කිසිදු දේශපාලන සංවිධානයක සම්බන්ධයකින් තොරව ප්‍රාදේශීයව පැන නැගුණු ඒවා වීමයි. රට පුරා ප්‍රාදේශීයව පැතුරුණු පොහොර පිළිබඳව වූ උද්ඝෝෂණ දේශපාලන පක්ෂයකට සම්බන්ධ ගොවි ජන සංවිධානයකින් සංවිධානය කළ ඒවා වූ අතර තවත් දේශපාලන පක්ෂයකින් දීර්ඝ පා ගමනක් සංවිධානය කරනු ද දැකිය හැකි වුවත් ඒවා එතනින් ඉහළට අරගල ස්වරූපයෙන් මතුකිරීමක් දක්නට නොලැබුණි. මේ අතර කුඩා ජන කණ්ඩායම් අගනුවර තදාසන්න නගරවල සැන්දෑ විරෝධයන් විදුලි කප්පාදුව හා ගෑස් හිඟයට එරෙහිව පවත්වනු දැකිය හැකි විය.

මේ අතර කොහුවල ප්‍රදේශයේ සෑම දිනකම අඛණ්ඩව පන්දම් දල්වා හැන්දෑ යාමයේ සිදු කළ විරෝධයක් ද දැකිය හැකි විය. මේ විරෝධයන්ට පදනම් වූ ප්‍රමුඛ කරුණ වූයේ විදුලි කප්පාදුව සහ ගෑස් හිඟයයි. විශේෂයෙන් මිල මුදල් ඇති ඉහළ මධ්‍යම පංතියටත් විදුලිය හා ගෑස් හා ඉන්ධන හිඟයට විකල්ප නොවීය. මෙසේ පැවතුණු විරෝධයන් ගෙන් දළුලා වැඩුණු විරෝධයන් ඒකාබද්ධ කළේ තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතින් නිමවුණු අපූරු සටන් පාඨයකිනි.එනම්”ගෝඨා ගෝ හෝම්”යන්න ය එසේ ”ගෝඨා ගෝ හෝම්” නම් වූ සටන් පාඨය වටා එක්වුණු මධ්‍යම පංතික තරුණ තරුණියන් ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන අරගලය ආරම්භ කළේ නාගරික මධ්‍යම පංතික ප්‍රජාවගේ හා තාරුණ්‍යයේ සුපුරුදු ජීවන රටාව අවුල් කල ආර්ථික පීඩනයේ ප්‍රකාශනය ලෙස ය.

නමුත්,මෙසේ ඇරඹුණු අරගලය දෙස සාම්ප්‍රදායික වමේ උරුමක්කාර බලවේගයන් බැලුවේ වපර ඇසිනි. ඔවුන් රාජ්‍ය බලයට එරෙහිව විරෝධයක් ගොඩනැඟිය හැක්කේ සංවිධානාත්මක දේශපාලනික බලවේගයකට පමණක් යැයි යන අදහසේ සිටි අය වූහ.පැහැදිලි නායකත්වයක් නැතිව දේශපාලනික බලවේගයක පදනමක් රහිතව පාලකයාට ඉවත් වන ලෙස ඉල්ලමින් විරෝධය දැක්වීම ඔවුන්ගේ බලවත් සැකයට තුඩුදුන් කරුණක් විය. මෙබඳු අරගල පාලකයින්ට එරෙහිව තමන් විසින් කරන විරෝධයන්ට බාධා පැමිණවීමේ සංවිධානාත්මක ක්‍රියා බව ඔවුන් විශ්වාස කරන බව පෙනුණි. ඒ නිසා අරගලයට සම්බන්ධ නොවන ලෙසට ඔවුන් මුලදී ජනතාවට අනතුරු ඇඟවීම් ද කළෝය.
සාම්ප්‍රදායික වමේ උරුමක්කරුවන්ගෙන් බිඳීගිය දැඩි මතධාරීන්ට මේ විරෝධය විහිළුවක් වුණත් තරුණ ප්‍රජාව ක්‍රියාකාරී වන ස්ථානයක් නිසා ස්වකීය මතවාදය එතන දැල්වීමේ අදිටනින් කිහිප දෙනෙකු අරගලයේ ස්ථානගත කිරීමට වගබලා ගත්තේ ඉඩක් ලද ඇසිල්ලෙන් එය තමන් අතට ගැනීමටත් පහසු වනු පිණිස ය. මේ හැර ජන අරගලවලට පෙම් බැඳි පැරණි වාමාංශික සටන් කරුවන් රැසක් ද හුදකලා චරිත ලෙස අරගලයට ආකර්ශනය වුණේ අවංකව ඇවසි සහයක් දීමට ය.

සාම්ප්‍රදායික කදුළු ගෑස් බැටන් ප්‍රහාර වලට ඉඩ නොතැබූ ගෝඨා ගෝ ගම විරෝධය අමුතුම පන්නයක එකක් විය. මුලින්ම ඊට ආකර්ශනය වුණේ හැන්දෑවට පවුල් පිටින් ගෝල්පේස් සිරි නරඹන කොළඹ මධ්‍යම පංතික ප්‍රජාවයි. ජනාධිපති කාර්යාලය ඉදිරියේ සුරක්ෂිතව පවුල් පිටින් විරෝධය පා තමන්ගේ ජීවන රටාවට ඇති වෙමින් තිබෙන පීඩනයන් පිටකර ගැනීමේ ස්ථානය ලෙස ඔවුන් එය ප්‍රයෝජනයට ගත් හ. විදුලිය,ඛනිජ තෙල් හා ගෑස් අර්බුදයෙන් මිරිකුණු ඉහළ මධ්‍යම පංතිය අරගලයට ආර්ථික උපකාර ආහාර පාන පහසුකම් ආදිය නොඅඩුව සැපයූ අතර විදේශගත කොටස් අරගලය ලොව පුරා ප්‍රචලිත කිරීමටත් ආර්ථික සවියටත් දායක වූහ. විශේෂයෙන් කොළඹ තදාසන්න සුලු ජාතික ප්‍රජාවන් අරගලයට බෙහෙවින් ආකර්ශනය වූහ.

විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාව දීර්ඝ කලක සිට ප්‍රධාන ජනවර්ගයේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමක් සිදුනොවිණි. ජාතිවාදී ප්‍රචාරයන්ගෙන් ඔවුන්ව අසාධාරණ ලෙස ප්‍රධාන ප්‍රවාහයෙන් ඉවත්කර සැකයට භාජනය කර තිබුණි. ඊට වග කිවයුතු ජාතිවාදී බලවේග ආණ්ඩුවේ සමීපතම කණ්ඩායම් ලෙස වැජඹුණි. අරගලය බැලීමට පැමිණි මුස්ලිම් තරුණ තරුණියන්ට අරගලය තුළ ඉතා හොඳ පිළිගැනීමක් ලැබුණි. ඔවුන් ගේ ආගමික අනන්‍යතාවයන්ට බෙහෙවින් ගරුකල අරගල කරුවෝ ඔවුහු ස්වකීය සහෝදරයන් සේ සැලකීම ඒ මුස්ලිම් තරුණ පරපුර ලද නවමු රසවත් අත්දැකීමක් විය. මෙය සුලු ජාතික ප්‍රජාව අරගලයට ආකර්ශනය කළ ප්‍රධාන සාධකය විය. තමන්ව අතිශය අසාධාරණ ලෙස සැකයට භාජනය කළ ජාතිවාදී බලවේග වලට සුළු ජාතිකයන් තුළ වූ විරෝධය ද අරගලය තුළට එක්වූයේ එම බලවේගවල වීරයා වූ පාලකයාට වූ විරෝධය ලෙසට ය.

අරගලය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී හා නිර්මාණාත්මක එකක් විය. අරගල ක්‍රියාකාරී තරුණ තරුණියෝ ගැටුම්කාරී පිරිසක් නොවූහ. ඔවුහු සිය විරෝධය විවිධ නිර්මාණයන් ඔස්සේ ප්‍රකාශ කළෝය. පුස්තකාල, වීදි නාට්‍ය, සංගීත වැඩසටහන්, චිත්‍ර ඇඳීම් ,සම්මන්ත්‍රණ සාකච්ඡා ආදී බොහෝ ක්‍රියාකාරකම් හරහා කළ විරෝධය ලොව පුරා ප්‍රචාරය කළේ සමාජ මාධ්‍යයෙනි. රට තුළ ගම් මට්ටම දක්වා මහජනයා මේ අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ගැටුම්කාරී නොවන විරෝධයට මනාසේ ආකර්ශණය වූහ. වෙනදා දේශපාලන උද්ගෝෂණයක දී පොලීසිය සමඟ ගැටෙන තරුණයින් වෙනුවට කුළු පොලු රැගත් පොලිස් භටයාට සුන්දර මලක් පිරිනමන තරුණියන් කුළු පොලු ගත් භටයින්ට අක්‍රෝෂ පරිභව
කරන කලබලකාරීන් වෙනුවට “ඇයි අයියේ අපිට ගහන්න ද හදන්නෙ?” යි අසන තරුණියන් පොලිස් භටයින්ට “මචං අපියි උඹලයි ගහගන්න ඕනෙ නෑ අපි විරුද්ධ ගෝඨටයි” කියන තරුණයින් සහිත අරගල බිමක් ආකර්ශණීය නොවන්නේ කවරෙකුට ද? මහජනයාට හැඟී ගියේ මෙවන් අරගල කරුවන්ට උපරිම සහය දිය යුතුය යන හැඟීමයි.

අරගලයට ගොඩ වැදීම මධ්‍යම පාංතික සමාජයේ අනිවාර්යය කරුණක් විය. කලෙක මනමෙ, සිංහබාහු නාට්‍ය ලයනල් වෙන්ට් රඟහලේ නැරඹීමෙන් ද තවත් කලෙක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යාමෙන් ද ප්‍රකට කල මධ්‍යම පාංතික සමාජීය අනන්‍යතාව මෙවරප්‍රකට කෙරුණේ අරගලය බලන්න යාමෙන් ය. මුලදී කුලියට ගත් වාහන වල අරගලය බැලීමට කොළඹ ආ ජනතාව පසුව ඉන්ධන ගැටලුවත් සමඟ ප්‍රාදේශීය අරගල මධ්‍යස්ථාන ද ඇති කළෝය.මෙසේ රටේ ඉතිහාසයෙහි මෙතෙක් දක්නට නොහැකි වූ අරගලයක් ජනතා ප්‍රසාදය අත්කර ගනිද්දී අරගලය තමන්ගේ ග්‍රහණයට ගැනීමට ඊට පා ගමනින් සංවිධානය කිරීමට ද වමේ උරුමක්කාර දේශපාලන ව්‍යාපාර උත්සාහ ගනු ලැබිණි. ජනතා විරෝධය නිසා ඒවා නතර වු පසු අරගලයේ වාටියට තම සහායකයින් ඇමිනීමෙන් සැනසීමට ඔවුන්ට සිදුවිය.

මේ වන විට ඔවුන් ගේ අනික් පාර්ශවය ද සරසවි සිසුන්ගේ පිරිස් බලය යෙදවීමෙන් අරගලය තුළ වඩාත් හොඳින් ස්ථාවර වී තිබුණි. ආන්තික සමාජ කොටස් වූ විශේෂ අවශ්‍යතා ප්‍රජාව සම රිසි ප්‍රජාව කොළඹ කේන්ද්‍රීය අඩු ආදායම්ලාභී ප්‍රජාව මෙන්ම ආගමික කණ්ඩායම් පරිසරවේදීන් ආදිය ද අරගලය හා බැඳී සිටියෝය. මේ අතර මැයි නමවෙනි දින අරගලයට එල්ල වූ ප්‍රහාරය අරගලයේ හැඩය වෙනස් කිරීමකට භාජනය වූවක් විය.තමන්ට අභියෝගයක් වූ අරගලය රාජ්‍ය බලයෙන් මර්දනයට ජනාධිපතිවරයා ක්‍රියා නොකරන්නේ ය යන චෝදනාව ද හිත තබා ගත් ආණ්ඩුවේ ලොක්කෝ තමන්ගේ දූෂිත ක්‍රියා මාර්ග ඔස්සේ දිගු කලක් නඩත්තු කල බල ඇණි කොළඹට කැඳවා අරගලයට ආණ්ඩු බලය ද යොදා එල්ල කල ප්‍රහාරය මගින් අරගලකරුවන් එලවීමත් ජනාධිපතිවරයාට ආණ්ඩුකරණ සැටි ඉගැන්වීමටත් කළ එකක් විය.

මෙම ප්‍රහාරය දරුණු ප්‍රති ප්‍රාහාරයකින් ආපසු හැරවූයේ අරගලයේ එතෙක් වාටියේ අල්ලී සිටි දේශපාලනික කණ්ඩායම් හුදකලා පැරණි වමේ සටන්කරුවන් හා වෘත්තීය සමිතිවල සහභාගිත්වයෙනි. ප්‍රති ප්‍රහාරය රට පුරා පැය කීපයකදී දියත් කර අවසන් කළ හැකි ශක්තිය තමන් සතු බව ඔවුහු අරගලයේ න්‍යෂ්ටියේ සිටි කොටස්වලට ඔප්පු කළා පමණක් නොව ඒ ශක්තියෙන් අරගලයේ ඉදිරිය තීරණය කිරීමේ බලය ද සැලකිය යුතු මට්ටමකින් අත්කර ගැනීමට ද සමත් වූහ. ජුලි නව වෙනි දින මහා සටන ඇරඹුණේ ඔය අතර ය.

මේ වන විට අරගලය මෙහෙයවීම ප්‍රහාරාත්මක නැඹුරුවක්ව තිබිණි. මෙතෙක් තිබුණු වට කිරීම් වලින් ඔබ්බට ගොස් අල්ලා ගැනීම හා රඳවා ගැනීම ක්‍රියාත්මක කළේ අරගලයට ශක්තිය දුන් දේශපාලනමය කොටස් වලිනි. අල්ලා ගත් ස්ථාන වලට කිව නොහැකි තරම් හානියක් කළේ ඒ නායකත්වය දුන් බලවේග වලට ශක්තියක් වූ පාදඩ බලවේග වලිනි. සාමාන්‍ය මහජනයා ඒ ස්ථාන නරඹා සිය කුතුහලය තුනීකර ගත්තෝය.සුන්දර අරගල කරුවන් එබදු විනාශයන් ගෙන් කම්පාවට පත්වූහ. අල්ලාගත් ස්ථාන පරිහරණය පිළිබඳව මහජන විරෝධයක් මතුවී ආවේය. දේශපාලන බලවේගවල අරමුණ වූයේ ගෝඨා ගෝ හෝම් පමණක් නොවේ. ඊළඟට බලය ද ඔවුන්ට ඇවසි විය. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් පිට බලය ගොඩනැගීම ගැන කතා ඇරඹුණි. ගාලු මුවදොර පෙරමුණේ ප්‍රමාණවත් ඉඩ නොලද වමේ උරුමකරුවෝ පාර්ලිමේන්තුව වට කිරීමේ දෙවන පෙරමුණ විවෘත කළෝය. එම පෙරමුණ ලත් තැනම අවසන් වූයේ දරුණු රාජ්‍ය ප්‍රහාරයකිනි. දැන් එම වැටලීමේ වගකීම ගැනීමටවත් කිසිවෙක් නැත.

සුන්දර අරගල කරුවෝ වික්ෂිප්ත වූවෝය. අරගලයේ ගාමක බලවේගය වූ මධ්‍යම පංතියට බලය අල්ලා ගැනීමේ අවශ්‍යතාවක් හෝ සූදානමක් නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ ශක්තිමත් ක්‍රමවත් පාලනයකින් රට අර්බුදයෙන් ගලවා ගැනීමයි. ප්‍රධාන වශයෙන් ඉන්ධන, ගෑස් හා විදුලිය ස්ථාවර සැපයුමත් ජීවන වියදම ස්ථාවර කරගැන්මත් ඔවුන් ගේ අපේක්ෂාව විය. අරගලය ඒ මට්ටමින් එහාට ගෙනයාම ඔවුන්ට අනුව “දත ගලවන්න ගොස් ලෙඩා මරා දැමීම”කි. ඒ නිසා ඔවුන්ට අරගලය ගාලු මුවදොරට ආපසු කැඳවීමට අවශ්‍ය විය. මේ බෙදුම් අනුව
අරගලයේ බලය යෙදූ දේශපාලන කණ්ඩායම් හුදකලා වීම ඇරඹුණි.

දැන් මෙතෙක් පැවති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සහාය වෙනුවට දේශපාලන නීතිඥ කණ්ඩායම් සහාය දෙන බවට කියවෙන්නේ ඒ අනුවය. අරගලයට බලය සැපයූ බලවේගයන් වෙන්වී ක්‍රමයෙන් ඈත් වෙමින් සිටිති.ආණ්ඩුව මේ අරගලයේ පණිවුඩය තේරුම් ගත යුතු ය. සෑම ආණ්ඩුවක් විසින්ම මෙතෙක් සිදු කළ රාජ්‍ය දේපල සම්පත් අනිසි පරිහරණය, දූෂණය, අධි වරප්‍රසාද, හොරකම තමන්ගේ එකාට රජයේ සම්පත් මංකොල්ල කන්නට ඉඩදීම ආදී දේ වලට ජනතාව බලවත් සේ අකමැති බවත් තවදුරටත් ඒවා කරගෙන යාම නොඉවසන බවටත් වූ පණිවුඩය
පැහැදිලිව දී ඇත. ආණ්ඩුවේ දූෂිතයින්ගේ කයිවාරු ප්‍රලාප ආදිය මාධ්‍ය හරහා ප්‍රචාරය ද ජනතාව නොඉවසයි. වහා සාධාරණ ක්‍රියා මාර්ග හරහා ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම කළ යුතු බවත් සාමාන්‍ය මිනිසුන් අරබයා මෙන්ම නීතියට අනුව ආණ්ඩුවේ ලොකු ලොක්කන් හා හෙංචයියන් අරබයා ද ක්‍රියා කළ යුතු ය යන පණිවිඩයත් පැහැදිලිව දී ඇත.

බලයෙන් ඉවත්වුණු පාලකයින් රටට කළ හානිය සොයා බලා ඊට දඬුවම් කළ යුතු ය යන පණිවුඩයත් ජාති ආගම් කුල ආදී බේදයන් වර්ධනයෙන් ජනතාව බෙදා වෙන් කිරීම් ඔවුන් නොඉවසන බවටත් වූ පණිවුඩය දී ඇත. ආණ්ඩුව අරගලකරුවන් ගේ ක්‍රියාවන් වීඩියෝ කැමරා දර්ශනවලින් සොයමින් ඔවුන් මර්දනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වහා නතර කර ඔවුන් ලබාදුන් පණිවුඩය තේරුම් ගෙන ක්‍රියා කිරීමට බුද්ධිමත් විය යුතුය.

සුනිල් කන්නන්ගර හිටපු කොළඹ,රත්නපුර,අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර