” සමනල වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරණය කර
දෙහදක් අද වෙන්ව ගිහින් සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා ”
මේ කරුණාරත්න දිවුල්ගනේ ගායකයාණන් විසින් ගායනා කරන ලද ජනප්‍රිය ගීතයක මුල් පද පේළි කිහිපයයි. මෙයින් කියවෙන්නේ සබරගමු විශ්වවිද්‍යාලයේ දී හමු වූ පෙම්වතුන් යුවළක් ගැන. මුලදී ඉතා ආදරයෙන් සිටියද පසුව එම පෙම්වතිය, පෙම්වතාගෙන් වෙන් වී යනවා. එම වියෝගය නිසා උපන් වේදනාවෙන් පෙම්වතා විසින් ගයනු ලබන විරහ ගීතයක් ලෙස තමයි මේ ගීතය නිර්මාණය වී තිබෙන්නේ.
ආදර කන්ද ගැන විස්තර කරන්නට මේ ගීතයේ මුල් පද පේළි කිහිපය ඉතා ගැලපේ යැයි සිතුනා. බෙලිහුල් ඔය පිහිටි සබරගමු විශ්ව විද්‍යාලයට ආසන්නයෙන් පිහිටා තිබෙන මෙම ආදර කන්දට එම නම ලබා දී තිබෙන්නේ විශ්ව විද්‍යාල සිසුන් විසින්ම බවයි දැනගන්නට තිබෙන්නේ. පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන්ට හන්තාන කන්ද මෙන් සබරගමු විශ්ව විද්‍යාල සිසුන්ට මේ ආදර කන්ද ඉතාමත්ම සමීපයි. ආදර කන්ද ලෙසින් ප්‍රසිද්ධ ව තිබුණත් මෙම කන්දෙහි සැබෑ නම පරෙවියන්ගල යි.
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් මෙම ආදර කන්ද කළුපහන කඳු පන්තියට අයත් තව එක කන්දක්. මීටර් 1500 ක් උස ආදර කන්ද එම කඳු පන්තියෙහි ඇති උසම කන්ද ලෙසයි සැලකෙන්නේ. මෙම කන්දෙන් එම කඳු වළල්ල ඔස්සේ බලතුඩුව කන්දටත්, ඉන්පසු ගොම්මොලියට සහ වංගෙඩිගල කන්දටත් යා හැකියි.
කොළඹ බදුල්ල පාරේ පඹහින්නෙන් තමයි ආදර කන්ද ආරම්භ වෙන්නේ. සබරගමු විශ්ව විද්‍යාලය වගේම සමනල වැවත් මීට සමීපයෙන් පිහිටා තිබෙනවා. මේ කන්දට යන පාරේ ටික දුරක් යනවිට විහාරස්ථානයක් හමු වෙනවා. මේ යන පාරේ කිලෝ මීටර් දෙකක් පමණ යනතුරු තිබෙන්නේ පඹහින්න ගමේ ගෙවල් දොරවල් කුඹුරු වගාවන් ආදියයි. මේ ප්‍රදේශයේ තියෙන්නේ හිටපු ගමන් වහින, හිටපු ගමන් පායන ඒ කියන්නේ, ක්ෂණිකව වෙනස් වෙන දේශගුණයක්.
කන්දට යන පාරේ ගම පහු කරගෙන ඇවිදගෙන යනකොට කුඩා ඔයක් හමු වෙනවා. අඩි 10 – 15ක් පමණ පළලැති මේ කුඩා ඔය තරණය කළාට පස්සේ තමයි කන්දේ නැග්ම ආරම්භ වෙන්නේ.
සබරගමු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් අතර ජනප්‍රියව පැවතියත් ආදර කන්ද තරණය කිරීම තරමක් අසීරු ගමනක්. කන්ද ආරම්භයේ සිටම තිබෙන්නේ අංශක 80 තරම් වන දළ නැග්මවල් . ඒ මහා නැග්මවල් අතරින් සමතලා බිම් දෙක තුනක් ද මුණ ගැහෙනවා. මේ කන්ද තරණය කරන්න කැමති අයට මේ සමතලා බිම්වල කූඩාරම් ගසාගෙන කඳවුරු බිමක රාත්‍රිය ගත කරන්නටත් පුළුවන්. හැබැයි ඉතින් වැහි කාලයට කූඩැල්ලන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙන්න බලාගෙන තමයි යන්න ඕනෙ.
කන්ද තරණය කරන කොට මුලින්ම හම්බ වෙන්නෙ විශාල ෆයින් ගස් යායක්. සමහර තැන්වල කුඩා වනාන්තර දැකගත හැකියි. මේ කුඩා වනාන්තරවල හීන්බෝවිටියා බහුලව දැකගන්නට ලැබෙනවා. මේ විදියට කිලෝමීටර් තුන හතරක් විතර යනකොට මහ ගස් සහිත කොටස අවසන් වෙනවා. ඊට පස්සේ බහුලව දකින්න ලැබෙන්නේ මිටි මානා පඳුරු යි. නිරන්තරයෙන් පවතින සුළං ප්‍රවාහය නිසා උස ගස් හැදෙන්නේ නැති තරම් .
කන්දට නගින්න තියෙන්නේ අඩිපාරක් . කන්ද මුදුනටම ගියාම සබරගමු පළාතේ ඉතා විශාල ප්‍රදේශයක් දැකගන්න ලැබෙනවා. සබරගමු විශ්වවිද්‍යාලය, සමනලවැව හරිම සුන්දර ලෙස කුඩාවට දිස්වෙනවා. මේ සේරම වගේම ඈතින් චන්ද්‍රිකා වැවත් තවත් බොහෝ ස්ථානත් දැකගත හැකියි.
ආදර කන්ද තරණය කිරීම තරමක් අපහසු චාරිකාවක්. නමුත් කඳු තරණය කරන්නට කැමති අය මෙවැනි කඳු ඉතා කැමැත්තෙන් තමන්ගේ චාරිකා සඳහා යොදා ගන්නවා.
මෙම චාරිකාවල යෙදෙන සංචාරකයන් බෙලිහුල් ඔයෙන් සහ කිරිකඩු ඔයෙන් නාන්නට බොහෝ සෙයින් ප්‍රිය කරනවා. සමනල වැව නිර්මාණය කර තිබෙන්නේ මේ බෙලිහුල් ඔය හරස් කරලයි. කොහොම වුණත් මේ ප්‍රදේශවල දේශගුණය ඉතා ඉක්මනින් වෙනස් වන බව මුලින් සඳහන් කළා. කන්ද උඩ ප්‍රදේශයට වැස්සොත් අධික වේගයෙන් එම වතුර කෙළින්ම පහළට ගලා ගෙන එනවා. ඒකට කියන්නේ දොලදිය කියලා. ඒ දොලදිය පහළට ගලාගෙන එන වේගය කොයිතරම් ද කිව්වොත් පහළ බෙලිහුල් ඔයේ හරි කිරිගඩු ඔයේ හරි ස්නානය කරමින් ඉන්න අය එක සැණින් ගසාගෙන යන්න තරම් මේ වතුර ප්‍රවාහය හරිම වේගවත්. පිහිනුම් ශූරයෙකුටවත් ඒ වතුර එන වේගයට අනුව පීනන්න බෑ. අනිත් එක මේ ඔයවල් වල විශාල වශයෙන් කළු ගල් පිහිටා තිබෙනවා. ඒ අනුව වතුරේ ගසාගෙන යන කෙනෙකුට මේ වතුර පෙවී මිය යන්නට පෙර කළුගල්වල හැපී මිය යන්නට තිබෙන අවදානම ඉතාමත්ම වැඩියි. මේ නිසා බෙලිහුල් ඔය, කිරිකඩු ඔය එවැනි ස්ථානවලින් ඔබ ස්නානය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඊට පෙර එදාට එහි දේශගුණික තත්ත්වය ගැන සොයා බැලීම අනිවාර්යයි. ගම්මුන්ට නම් කඳු මුදුනේ සිට දොළ දිය ගලා ගෙන එන ශබ්දය දුර දී ම හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා.
ආදර කන්ද හෙවත් පරවියන්ගල තරණය කිරීම ඔබට සුවිශේෂ අත්දැකීමක් වේවි. නමුත් මෙවැනි ගමන් යාමේදී එහි අවදානම පිළිබඳව විශේෂයෙන් සිහි තබාගෙන ඔබේ ප්‍රවේශම ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.
විස්තර සහ ඡායාරූප සොනාලි ප්‍රේමරත්න
සටහන – ඉන්දු පෙරේරා