ඇතාගේ ඇත්ත!

නැදුන්ගමුවේ රාජා යනු සිවුපා සතෙක්. ඌ සතෙක් බවත් ඌට අපි ඇතා කියන බවවත් ඌ දන්නෙ නැහැ. සාමාන්‍යයෙන් සියලුම සිවුපා සතුන් වගේ මේ සතා ද නොදන්නා දේවල් වලින් කීපයක් මේවායි.

ඌ ඉන්නේ පෘථිවියේ ද? ශ්‍රී ලංකාවේද නැදුම්ගමුවේ ද? නුවරද කොහෙද? කියන එක දන්නේ නෑ. ඌගේ හාම්පුතාගේ නම ගම හෝ විස්තර කිසිවක් ඌ දන්නේ නෑ. ලෝකයේ ආගම් ඇති බවත් බුදු දහම නමින් දෙයක් තියෙන බවත් ඌ දන්නේ නැහැ. දළදා මාලිගාව හෝ දන්ත ධාතුව කියන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ.වඳිනවා කියන්නේ මොකක්ද? එහි අදහස මොකක්ද කියලා මූ දන්නෙ නැහැ.

පෙරහැරක් කියන්නේ මොකක්ද එකේ අරමුණු මොනවද කියලා මූ දන්නෙ නෑ.( ඒත් මුව ඕනෑම දේකට පුහුණු කරන්න පුළුවන්. පුහුණුව පුරුද්දක් වශයෙන් ඌ ඊට පස්සේ කරනවා. උන්ව සර්කස් වලට ගන්නෙත් එහෙමයි. ) අපි මිනිසුන් කන බොන ජීවත් වෙන ආකාරය අපේ පරමාර්ථ පැවැත්ම විමුක්තිය ගැන කිසිම දෙයක් මූ දන්නේ නැහැ. මිනිස්සුන් විසින් විශ්වාස කරන හොඳ නරක ගුණයහපත්කම් දේශපාලනය පිළිබඳ අදහස් කිසිම දෙයක් මේ සතා දන්නේ නැහැ.

කිතුල් ගස්, කෙසෙල් ගස්, වතුර වගේ දේවල් මොනවාද කියලා ඌ දන්නේ නැහැ ඒත් ඒවා උගේ ආහාර බව පමණක් ඌට ආවේණික හඳුනා ගැනීමකින් ඌ දන්නවා. ඌට ආචාරධර්මීය ප්‍රතිපත්ති වගේ දේවල් නැහැ.

මිනිමරුවෙක් වේවා! හොරෙක් වේවා! ඌට කන්ඩ බොන්ඩ දී පෝෂණය කර ඌව රැකබලා ගන්නවා නම් ඒ පුද්ගලයා කවුරු වේවා මොන ආගමේ මොන ජාතියෙ වේවා ඌ ඒ මනුස්සයාට හීලෑ වෙනවා. තවත් මිනිසුන් විසින් මේ සතා දන්නවයි කියලා හිතාගෙන ඉන්නා ඔය වගේ ඌ නොදන්නා දේවල් බොහෝයි.

ඇතෙක් වැනි සිවුපා සතෙක් මිනිසුන් සිතන විදියට සිතන, විශේෂයෙන් මිනිස්සුන්ගේ ආචාරධර්ම විශ්වාස ආදිය පිළිබඳ දැනුවත් කියල විශ්වාස කරන මිනිසුන්ද දැන් මේ ග්‍රහලෝකයේ ශ්‍රී ලංකාව ඇරුණුකොට තවත් ඉතිරි වී ඇත්තේ සුළු ස්ථාන කිහිපයක පමණයි.

මිනිස්සුන්ගේ මනසේ සිටි රාජා නම් ඇතා මනංකල්පිත සතෙක් වන අතර ඌ මේ මිහිපිට සැබෑවට කිසිදිනක පැවතිලා නැහැ.

ධනංජය කරුණාරත්න

ඉරා අදුරුපට