ඇමති ධුර වෙනස් කර රටේ ප්‍රශ්න විසඳන්න බැරි බව නාමල්ට තේරුණේ දැන්ද?

අමාත්‍ය ධුර වෙනස් කිරීමෙන් රටේ ප්‍රශ්න නොවිසෙඳෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා දැන් පවසන මුත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නාමල් රාජපක්‍ෂ මහතාට අමාත්‍ය ධූර,රාජ්‍ය අමාත්‍ය ධූර ,විෂයයන් ලැබුණු මුත් ඒ කාලේ අමාත්‍ය ධූර වෙනස් කිරීමෙන් රටේ ප්‍රශ්න නොවිසෙඳෙන බව එදා එතුමාට තේරී නොමැති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා කියයි.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ නිමල් ලන්සා මහතා මෙසේ කීය. “ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නාමල් රාජපක්‍ෂ මහතාට අමාත්‍ය ධූර කීයක් දුන්නද? රාජ්‍ය අමාත්‍ය ධූර කීයක් දුන්නද? තව විෂයයන් කීයක් දුන්නද? අමාත්‍ය ධූර වෙනස් කරපුවාම රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා එතුමාට ඒ කාලේ තේරුණේ නැද්ද? එතුමට දැන් තමයි ඒක තේරුම් ගිහිල්ලා තියෙන්නේ. ඔය තනතුරු වෙනස් කිරීම්, කැබිනට් සංශෝධන ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ හතර පාරක් කරලා තියෙනවා. අවසාන කැබිනට් සංශෝධනයේදී පොහොට්ටුවේ කැබිනට් අමැතිවරු, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු විශාල පිරිසක් එළියට දැම්මා.නාමල් රාජපක්‍ෂ හෝ සාගර කාරියවසම් එදා කතා කළේ නැහැ. එදා කතා කරන්න තිබුණානෙ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා අපෙන් අහන්නේ නැතිව කරපු එක වැරදියි කියලා.අපි සම්පූර්ණයෙන් විරුද්ධයි කියලා කියන්න තිබුණා.ඒත් එදා පූස් පැටව් වගේනෙ හිටියේ”

කාලීන පුවත්