ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට කාන්තාවක් ජනාධිපති ධුරයට ?

ඇමරිකානු ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක ජනාධිපති පදවියට පත් වීමට ඉඩ ඇති බවක් මේ වනවිට පෙනෙන්නට තිබේ. ඒ, එරට ප්‍රධානම දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක් වන ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් කමලා හැරිස් ජනාධිපති තරගයට ඉදිරිපත් වීමත් සමග ය. කමලා හැරිස් යනු වර්තමාන උප ජනාධිපතිනිය යි.

ලබන නොවැම්බර් 5 වැනි දින පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටියේ ඇය නොවේ. වර්තමාන ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් ය. නමුත් ඔහු ගේ වයස සම්බන්ධයෙන් පසුගිය කාලයේ බොහෝ ගැටලු මතුවන්නට විය. බයිඩ්න්ගේ වයස මේ වනවිට අවුරුදු 81 කි. ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපති ධුරයට පත් වියපත්ම පුද්ගලයා ලෙස බයිඩ්න් වාර්තාවක් ද පිහිටු වූ බව රහසක් නොවේ. ඔහු තවත් ධුර කාලයක කටයුතු කරන්නට තරම් සුදුසු කායික මානසික තත්ත්වයක සිටිනවා ද යන්න සම්බන්ධයෙන් බොහෝ සැකසංකා මතුවන්නට විය.

මෙම ගැටලුව වඩාත් ප්‍රබල ලෙස මතුවන්නට වූයේ මෙයට සති කිහිපයකට පෙර ඔහු සහ ඔහුගේ ප්‍රතිවාදියා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැති ප්‍රසිද්ධ විවාදයකින් පසුව යි. ඊට බයිඩ්න් මුහුණ දුන්නේ ඉතා දුර්වල ආකාරයෙන් වූ අතර ඔහු කතා කළ සමහර කාරණා අපහැදිලි සහ ව්‍යාකූල බවක් ගත්තේය. බයිඩ්න් ජනාධිපති තරගයෙන් ඉවත් විය යුතු බවට එයින් පසු ඔහුගේ පක්‍ෂය තුළින් විශාල පීඩනයක් එල්ල වන්නට විය. ඒ කාලයේ පවත්වන ලද ජනමත සමීක්‍ෂණ බොහොමයකින් ද පැවසුණේ බයිඩ්න් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහු පරාජය වීමට වැඩි ඉඩක් ඇති බව යි.

හැරිස් සහ බයිඩ්න්

ඔහුට තරගයෙන් ඉවත් වන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවත් බයිඩ්න් මුලින් ඊට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් පක්‍ෂයෙන් එල්ල වූ පීඩනය වැඩි වෙද්දී පසුගිය මාසයේ ඔහු ජනාධිපති තරගයෙන් ඉවත් වූයේය. ඔහු වෙනුවට කමලා හැරිස් තරගයට අවතීර්ණ වූයේ එයින් පසුව යි. බයිඩ්න් ද හැරිස් ගේ අපේක්‍ෂකත්වය අනුමත කරමින් ඇයට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

කමලා හැරිස් ගේ අපේක්‍ෂකත්වය මේ වනවිට ඩිමොක්‍රටික් පක්‍ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පසුගිය 22 වැනි දින අවසන් වූ එම පක්‍ෂයේ ජාතික මහා සම්මේලනයේදී ය. මේ අනුව නොවැම්බර් 5 වැනි දින ජනාධිපතිවරණය හැරිස් සහ ට්‍රම්ප් අතර සටනක් වනු ඇත.

යම් හෙයකින් හැරිස් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇත. මන්ද යත් මෙයට පෙර කිසිදු අවස්ථාවක කාන්තාවක එරට ජනාධිපති පදවියට පත්ව නැති බැවිනි. ඇමරිකාවේ ප්‍රධාන පක්‍ෂයකින් ජනාධිපතිවරණයක් සඳහා නාමයෝජනා දිනාගත් පළමු කළු ජාතික කාන්තාව ලෙස ද මේ වනවිට හැරිස් වාර්තාවක් පිහිටුවා තිබේ.

හැරිස් තරගයට ඉදිරිපත් වීමට පෙර පවත්වන ලද බොහෝ ජනමත සමීක්‍ෂණවලට අනුව තරගයේ ඉදිරියෙන් සිටියේ ට්‍රම්ප් වුවත් දැන් එම තත්ත්වය වෙනස් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. එරට ප්‍රධාන පෙලේ සමීක්‍ෂණ ආයතන පසුගිය දිනවල පවත්වා තිබූ සමීක්‍ෂණ අනුව පෙනී යන්නේ හැරිස් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටින බව යි. පසුගිය කාලයේ තරමක් පරාජිත මානසිකත්වයකින් සිටි ඩිමොක්‍රටික් පක්‍ෂය ද දැන් අලුත් පණක් ලබා ඇති ආකාරයක් දිස් වෙයි.

යම් හෙයකින් හැරිස් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇත. මන්ද යත් මෙයට පෙර කිසිදු අවස්ථාවක කාන්තාවක එරට ජනාධිපති පදවියට පත්ව නැති බැවිනි. ඇමරිකාවේ ප්‍රධාන පක්‍ෂයකින් ජනාධිපතිවරණයක් සඳහා නාමයෝජනා දිනාගත් පළමු කළු ජාතික කාන්තාව ලෙස ද මේ වනවිට හැරිස් වාර්තාවක් පිහිටුවා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්

ජනාධිපති තරගය තුළ හැරිස්ට වාසිදායක ලෙස ක්‍රියා කරන ඇතැම් සාධක ගැන දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇයට ඇති එක් ප්‍රධාන වාසියක් ලෙස සැලකෙන්නේ ඇයගේ වයස යි. මේ වනවිට හැරිස් පසුවන්නේ 59 වැනි වියෙහි ය. ඇය බයිඩ්න්ට වඩා අවුරුදු 22 කින් ද, ට්‍රම්ප්ට වඩා අවුරුදු 19 කින් ද බාල ය.

හැරිස් සාපේක්‍ෂ වශයෙන් වයසින් අඩු අපේක්‍ෂිකාවක වීම එරට තරුණ ඡන්දදායකයන් තුළ යම් උනන්දුවක් ජනිත කිරීමට හේතු වී ඇති බව පෙනේ. ඇමරිකාවේ ප්‍රධාන මට්ටමේ ජනාධිපති අපේක්‍ෂකයන් වියපත් පුද්ගලයන් වීම ගැන එරට තරුණ පරපුර තුළ ඇත්තේ අප්‍රසාදයක් බව ඔවුන් දක්වන අදහස්වලින් පැහැදිලිව පෙනී යයි. එම පසුබිම තුළ කමලා හැරිස්ගේ ආගමනය ඔවුන් තුළ යම් බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත්ව ඇත. මෙම තත්ත්වය තුළ ඇමරිකාවේ තරුණ තරුණියන් වැඩි පිරිසකගේ ඡන්දය ඇයට හිමි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එරට කාන්තාවන් විශාල පිරිසකගේ ඡන්දය ද හැරිස්ට ලැබීමට ඉඩ ඇති බවට විශ්වාසය පළ වෙයි. ට්‍රම්ප් කාන්තාවන් පිලිබඳ දක්වන ආකල්ප පසුගිය කාලයේ බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ බව ද මෙහි දී අමතක කළ හැකි නොවේ.

හැරිස් සහ ට්‍රම්ප් ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයන් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති තත්ත්වය තුළ දැන් ඡන්දදායකයන් ගේ කුතුහලය සහ අවධානය යොමුව ඇත්තේ ඉදිරියේ දී ඔවුන් අතර පැවැත්වීමට නියමිත විවාද කෙරෙහි ය. ඉතා චතුර කථිකත්වයක් ඇති හැරිස්ගෙන් මෙම විවාදවලදී ද ට්‍රම්ප්ට හොඳ අභියෝගයක් එල්ල වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

එමෙන්ම ඇමරිකාවේ ජීවත්වන කළු ජාතිකයන් ඇතුළු සුළු ජාතික කොටස් ද හැරිස්ට සහය දක්වනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස යි. හැරිස් ගේ පියා ජැමයිකානු ජාතිකයකු වන අතර මව ඉන්දියානු කාන්තාවකි. ඔවුන් කලකට පෙර ඇමරිකාවට සංක්‍රමණය වූවන් ය. මෙම පසුබිම තුළ එරට සුළු ජාතිකයන්ට ඇය වඩාත් සමීප චරිතයක් ලෙස දැනෙනු ඇත.

හැරිස් සහ ට්‍රම්ප් ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයන් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති තත්ත්වය තුළ දැන් ඡන්දදායකයන් ගේ කුතුහලය සහ අවධානය යොමුව ඇත්තේ ඉදිරියේ දී ඔවුන් අතර පැවැත්වීමට නියමිත විවාද කෙරෙහි ය. ඉතා චතුර කථිකත්වයක් ඇති හැරිස්ගෙන් මෙම විවාදවලදී ද ට්‍රම්ප්ට හොඳ අභියෝගයක් එල්ල වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර