ඇමරිකානු කතානායකවරිය ප්‍රාණ ඇපයට ගැනීමේ සැලැස්මක් ගැනත් හෙළි වෙයි

ඇමරිකානු දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රබල සහ ආන්දෝලනාත්මක චරිතයක් වන එරට කතානායකවරිය නැන්සි පෙලෝසි පැහැරගෙන ප්‍රාණ ඇපයට ගැනීමේ සැලැස්මක් ගැනත් මේ වනවිට අනාවරණය වී තිබේ. කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි පෙලෝසි ගේ නිවසට කඩා වැදුණු කිසියම් පුද්ගලයකු ඇයගේ සැමියා වන 82 හැවිරිදි පෝල් පෙලෝසි ගේ හිසට මිටියකින් පහර දී බරපතල තුවාල සිදු කළ අතර එය මේ වනවිට විශාල අවධානයක් දිනාගෙන ඇති සිදුවීමකි. ඉහත කී පැහැර ගැනීමේ සැලසුම් ගැන හෙලි වී ඇත්තේ මෙම සිද්ධිය පිලිබඳව කෙරෙන විමර්ශණවලදී ය.

ඩේවිඩ් ඩිපාප් නැමැති සැකකරු පෙලෝසිලාගේ නිවසට කඩා වැදුණේ පසුගිය 28 වැනි සිකුරාදා අලුයම 2 ට පමණ ය. නමුත් එම අවස්ථාවේ නැන්සි නිවසේ සිටියේ නැත. ඇය ඒ වනවිට දේශපාලන කටයුත සඳහා වොෂින්ටන් නුවරට ගොස් සිටි බව පැවසිණි. මේ නිසා සිකුරාදා අලුයම නිවසෙහි සිටියේ පෝල් පෙලෝසි පමණි. නිවසට කඩා වැදුණු සැකකරු කෑ ගසමින් පෝල්ගෙන් විමසා ඇත්තේ ‘කෝ නැන්සි? නැන්සි කොහේද?’ යනුවෙනි. එයින් පෙනී යන්නේ ඔහු කතානායකවරිය ඉලක්ක කරගෙන පැමිණ ඇති බවයි.

පසුව මෙම සැකකරු සහ පෝල් පෙලෝසි අතර ඇති වූ රණ්ඩුවකින් පසු ඔහු පෝල් ගේ හිසට මිටියකින් පහර දී තිබූ අතර එයින් පෝල් පෙලෝසිගේ හිස් කබල පුපුරා ගොස් තිබිණි. මේ අයුරින් දරුණු ප්‍රහාරයකට ලක් වූ පෝල් මේ වනවිට සිටින්නේ රෝහල්ගතව යි. සැකකරු පසුව අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ මිනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ය.

කෙසේ හෝ වේවා, සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ළඟ තිබී ටේප් රෝලක්, කඹයක්, තවත් මිටියක්, දෑත් බැඳ දැමීම සඳහා යොදාගත හැකි පටි කිහිපයක් යනාදිය සොයා ගැනීමට හැකි වී තිබිණි. මේ බව ප්‍රකාශ කර තිබුණේ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛනවල තවත් තොරතුරු රැසක් අඩංගු වේ. එම ඇතැම් තොරතුරුවලින් පැවසෙන්නේ නැන්සි පෙලෝසි පැහැර ගෙන ප්‍රාණ ඇපයට ගැනීමේ සැලසුමක් සැකකරුගේ සිතෙහි තිබී ඇති බවය. එපමණක් නොව ඔහු අදහස් කරගෙන සිට ඇත්තේ නැන්සි ඔහුට බොරු කිවහොත් ඇයගේ දණිස් පොල්කටු බිඳ දැමීමට ය. ඇයට ඒ ආකාරයෙන් තුවාල සිදු කළානම් ඇයට ඉන්පසු කොංග්‍රසයට පැමිණීමට සිදුවන්නේ රෝද පුටුවකින් බව ද සැකකරු පොලිසියට පවසා ඇති බව වාර්තා වේ. එයින් අනෙක් දේශපාලනඥයන්ට ද පණිවුඩක් ලැබෙන්නට ඉඩ තිබුණු බව ද ඔහු පවසා තිබිණි.

නැන්සි පෙලෝසිට අමතරව සැකකරු ඉලක්ක කරගෙන සිටි තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් ද ඔහු ළඟ තිබී ඇත. මේ අනුව ඔහු තවත් ප්‍රහාර සැලසුම් කර තිබුණා විය හැකි බව විමර්ශකයන් ගේ අදහසයි.

ඩේවිඩ් ඩිපාප් නැමැති 42 හැවිරිදි සැකකරු මේ වනවිට රඳවා සිටින්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ බන්ධනාගාරයේ යි. ඔහු සිකුරාදා අලුයම පෙලෝසිගේ නිවසට ඇතුල් වන අවස්ථාවේ පෝල් පෙලෝසි සිට ඇත්තේ ඔහුගේ නිදන කාමරය තුළ නිදා ගෙන ය. පසුව සැකකරු එම නිදන කාමරයට ඇතුල්ව තිබිණි. නැන්සි පෙලෝසි නිවසේ නොමැති බව දැනගත් සැකකරු ඉන්පසු පෝල් ට හිරිහැර කිරීමට සූදානම්ව ඇති බව සඳහන් වේ. එම අවස්ථාවෙහි තමාට නානකාමරයට යා යුතු බව පවසා ඇති පෝල් එහි ඇතුල්ව පොලිස් හදිසි ඇමැතුම් අංශයට ඇමැතුමක් ගෙන තිබිණි. පොලිස් නිලධාරීන් එහි පැමිණෙද්දී මේ දෙදෙනා පොර බදමින් සිටි බවත්, සැකකරු පෝල් ගේ හිසට මිටියෙන් පහර දී ඇත්තේ ද එම අවස්ථාවේ බවත් වාර්තා විය.

මේ වනවිට රෝහල්ගත කර සිටින පෝල් පෙලෝසි සෙමෙන් සුවය ලබමින් සිටින බව සඳහන් වේ. නැන්සි පෙලෝසි පවසා තිබුණේ ඔහු සම්පූර්ණ සුවය ලැබීමට ටික කලක් ගත වනු ඇති බවයි.

මෙම සිද්ධියත් සමග ඇමරිකානු කොංග්‍රස් මන්ත්‍රීවරුන් ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු වෙමින් ඇති අතර ඔවුන්ගේ ආරක්‍ෂාව දැඩි කිරීමට ද පියවර ගෙන තිබේ. මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තේරීමේ මැතිවරණය පැවැත්වීමට දින කිහිපයක් තිබියදී ය. මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 8 වැනි දිනයි. මැතිවරණය වෙනුවෙන් ඩිමොක්‍රටික් පක්‍ෂය සහ රිපබ්ලිකන් පක්‍ෂය අතර මේ වනවිට උණුසුම් තරගයක් ඉදිරියට යමින් තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර