ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට පිළිකා සැත්කමක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සමෙහි පැවැති පිළිකාමය කොටසක් ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් කර ඇති බව ධවල මන්දිරයේ වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. වෛද්‍ය කෙවින් ඔ’කොනර් මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පෙබරවාරි 16 වැනි දින ජනාධිපතිවරයා මෙම සැත්කමට මුහුණ දුන් බවයි. වොෂින්ටන් නුවර පිහිටි වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ දී මෙම සැත්කම කර ඇති අතර ඉහත කී පිළිකාමය තත්ත්වය තිබී ඇත්තේ බයිඩ්න්ගේ පපුව ප්‍රදේශයේ යි. තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය නොවන බවත්, සැත්කම කළ ස්ථානය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවත් වෛද්‍ය ඔ’කොනර් පවසා තිබුණා.

මෙම පිළිකාව හැඳින්වෙන්නේ basal cell carcinoma නමින් බවයි වෛද්‍යවරයා පවසන්නේ. එය සිරුර තුළ එතරම් ව්‍යාප්ත වන ආකාරයේ පිළිකාවක් නොවන බවත් ඔහු සඳහන් කරනවා. මෙය ඇමරිකාවේ සුළභවම දක්නට ලැබෙන චර්ම පිළිකා වර්ග දෙකෙන් එකක් ලෙසයි සැලකෙන්නේ. අනෙක් වර්ගය වන්නේ squamous cell carcinoma යන්නයි. මෙම වර්ග දෙකම සිරුරේ වෙනත් ස්ථානවලට සහ අවයවවලට නොපැතිරෙන නිසා පහසුවෙන් සුව කළ හැකි පිළිකා වර්ග දෙකක් ලෙස සැලකෙනවා.

මේ වනවිට 80 වැනි වියෙහි පසුවන බයිඩ්න් මෙවැනි චර්ම පිළිකා සැත්කමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවෙයි. ඔහු ජනාධිපති පදවියට පත් වීමට කලිනුත් මෙයට සමාන සැත්කමකට මුහුණ දී තිබුණා. එයින් පසු 2021 වසරේ වෛද්‍ය ඔ’කොනර් බයිඩ්න්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ලියවිල්ලක් නිකුත් කළ අතර චර්ම පිළිකා ලෙස සැක කළ හැකි ලක්‍ෂණ තවදුරටත් දැකිය නොහැකි බව ඔහු එහි සඳහන් කර තිබුණා. නමුත් නැවතත් එවැනි තත්ත්වයක් වර්ධනය වී ඇති බවයි පෙනෙන්නේ.

මේ අතර පසුගිය ජනවාරි මාසයේ ජෝ බයිඩ්න්ගේ බිරිඳ ජිල් බයිඩ්න් ද මීට සමාන සැත්කමකට මුහුණ දුන්නා. එහිදී ඇයගේ මුහුණේ ඇස්වලට ඉහළින් ස්ථාන දෙකක සහ පපුවේ තැනක චර්ම පිළිකා යයි සැක කෙරුණු සෛල ඉවත් කරනු ලැබුවා. දකුණු ඇසට ඉහළින් සහ පපුව ආසන්නයෙන් ඉවත් කරන ලද කොටස්වල පිළිකාමය තත්ත්වයක් තිබූ බව පසුව කරන ලද පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබුණා. ජිල් බයිඩ්න්ගේ වයස මේ වනවිට අවුරුදු 71 ක්.

ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වියපත්ම පුද්ගලයා වන බයිඩ්න්ගේ සෞඛ්‍ය තත්ත්වය දේශපාලන ක්‍ෂේත්‍රයේ ද නිතර අවධානයට ලක් වන්නක්. ඔහු මෙම ධුරයේ කටයුතු කිරීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක පසුවෙනවා ද යන්න ගැන බොහෝ පාර්ශ්ව නිතර සැලකිල්ලෙන් පසුවෙනවා. පසුගිය මාසයේ ද ඔහු වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයකට පෙනී සිට තිබුණා. ජනාධිපතිවරයා ධුරයේ කටයුතු කිරීම සඳහා සුදුසු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බැව් එහි දී අනාවරණය වූ බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.

ලබන වසරේ නැවතත් ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත යි. දැනටමත් ඒ පිලිබඳ උණුසුම ඉහළ යාමට පටන්ගෙන තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී බයිඩ්න් සමග තරග කළ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය සඳහා ද තරග කරන බව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එයත් මෙම උණුසුම ඉහළ යාමට හේතුවක්. ට්‍රම්ප් අයත් වන්නේ රිපබ්ලිකන් පක්‍ෂයට යි.

ඔහු සමග තරග කිරීමට ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් බයිඩ්න් නැවතත් ඉදිරිපත් වේවි ද යන්න කාගේත් කුතුහලයට ලක්ව ඇති කාරණයක්. ජනාධිපතිවරයා පසුගිය දා පවසා තිබුණේ තමා 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව යි. නමුත් එම පක්‍ෂයේ ඇතැමුන් ඊට වැඩි කැමැත්තක් නොදක්වන බවකුත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණා. 2022 වසරේ මීට අදාළව පවත්වන ලද සමීක්‍ෂණයකට සහභාගි වූ ඩිමොක්‍රටික් පාක්‍ෂිකයන්ගෙන් සියයට 64 ක් බයිඩ්න් නැවත ඉදිරිපත් වනවාට තමුන් අකැමැති බව ප්‍රකාශ කළා. 2024 වනවිට බයිඩ්න්ගේ වයස අවුරුදු 81 ක් වනු ඇති. මෙම වයස් ප්‍රමාණය සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉහත කී පාක්‍ෂිකයන්ගේ අවධානයට යොමුව තිබූ ප්‍රධාන සාධකයක්.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ද තරුණයකු නොවෙයි. මේ වනවිට ඔහුගේ වයසත් අවුරුදු 76 ක්. ඇමරිකාවේ ජනාධිපති ධුරයට මේ තරම් වියපත් අය පත්වීම ගැන එරට තරුණ පරපුරේ බහුතරයකගේ කැමැත්තක් නැති බවත් වරක් ජනමත සමීක්‍ෂණයක දී අනාවරණය වී තිබුණා. මේ වනවිට අවුරුදු 20-40 අතර වයස්වල පසුවන ඡන්දදායකයන් වැඩි දෙනෙකුගේ කැමැත්ත වී ඇත්තේ වයස අවුරුදු 50 ට අඩු කෙනෙකු ජනාධිපති වනු දැකීමට යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර