ඉදිරි අහේනියට විසඳුම් සොයා අතීතයටම යන්න වේවි !

ලබන වසරේ මුල් භාගයේ අපේ රට බරපතල ආහාර හිඟයකට මුහුණ පෑමේ පෙර ලකුණු පහළ වී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් කෘෂි ආර්ථික විද්‍යාඥ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ව්‍යවහාරික විද්‍යා අංශයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ ඇතුළු තවත් විද්වතුන් කිහිප දෙනෙක් පුරෝකථන ලබා දී ඇති මෙම ආහාර හිඟය සම්බන්ධ අනාවැකි වී වගාව මුල් කොට ගත් වානිජ කෘෂි කර්මාන්තයේ යෙදෙන ගොවි ප්‍රජාව වෙතින් ද නිතර අසන්නට ලැබේ.මේ සඳහා වත්මන් රජයේ අදූරදර්ශී දේශපාලනික තීන්දු තීරණ ඉවහල් වී ඇති බව බහුතර මතයයි.

අපේ රට විවිධ යුගවල බරපතල ආහාර හිඟතාවයන්ට මුහුණ දී ඇති අතර ඒ සම්බන්ධ ආසන්නම නිදසුන ලෙස 1975 වර්ෂයේ දී පමණ අප රට පුරා පැතිර ගිය අත්‍යවශ්‍ය ආහාර හිඟය දැක්විය හැක.මෙවන් ආහාර හිඟයක් සම්බන්ධ පැහැදිලි පුරෝකථන අසන්නට ලැබෙන විට කළ යුතු ප්‍රධානතම කටයුත්ත වනුයේ තම තමන් ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම පිණිස වන ආහාර බෝග ගෘහාශ්‍රිතව නිපදවා ගැනීම ය.

ගෙවතු වගා, උද්‍යාන බෝග වගා සේම ආලින්ද වගා, පියැසි වගා ආදී නොයෙකුත් වගා ක්‍රම ඒ සඳහා යොදා ගත හැකිය. එවැනි ගෘහාශ්‍රිත වගාවන් සඳහා වන නව විද්‍යා තාක්ෂණික ක්‍රම ලෝකයේ බොහෝ රටවල භාවිතයට ගන්නා නමුදු අප රට තුළ එවැනි ප්‍රවණතාවක් ඉස්මතු වී ඇති බවක් නොපෙනේ. එසේ තම ආහාර අවශ්‍යතාවයන් ගෙන් යම් කොටසක් හෝ ගෘහාශ්‍රිතව සපයා ගත නොහැකි පසුබිමක සිදුවන්නේ කුමක්ද? ඒ සමාජය නිරායාසයෙන්ම එම කරුණ සම්බන්ධයෙන් ප්‍රාථමීකරණයට බඳුන් වීම ය.

මෙහි දී ප්‍රාථමීකරණය යනු තමන් ජීවත් වන සමාජය මීට දශක හෝ සියවස් කිහිපයකට පෙර ආහාර උපයා සපයා ගත් ආකාරය කෙරෙහි උනන්දුවක් පළ කොට ඒ සඳහා නැඹුරු වීම ය. මෙම නැඹුරුව බොහෝ විට සතුන් ගේ ආහාර රටා කෙරෙන් පවා දක්නට ලැබෙන ස්වභාවික නැඹුරුවකි. සමාජයීය වශයෙන් විස්තර කළ හොත් එය සංස්කෘතික විලෝපනයකි.

අප රටේ මධ්‍යම පන්තිය නම් වන සමාජ ස්ථරය මෙතරම් විස්තෘත වීමට පෙර පැවැති ග්‍රාමීය සමාජ ක්‍රමය තුළ ජනතාව තමන් ගේ ආහාර පාන අවශ්‍යතා සපුරා ගන්නා ලද්දේ හුදෙක් තමන් ජීවත් වන පරිසර පද්ධතියෙනි. මීට සියවස් කිහිපයකට පෙර අප රටේ අද මෙන් වානිජ බෝග වගාව ව්‍යාප්ත වී නොතිබිණ.

විශේෂයෙන් ඉංග්‍රීසි යටත් විජිත සමයේ අප රට පුරා වානිජමය පදනමින් වගා කරන්නට යෙදුණු බෝන්චි, ගෝවා, ලීක්ස්, කැරට්, රාබු, නෝකෝල් ආදී උඩරට බෝග නොතිබූ සේම අද වන විට රසායනික පොහොර භාවිතයෙන් මනා පරිමානයෙන් සිදු කෙරෙන පහත රට එළවළු වගාවන් ද එවක නොතිබිණ. ඒ අනුව අතීත ගැමියා තම ආහාර වේල සපුරා ගත්තේ එය ආහාරයට ගත හැකිය යන පදනමේ සිට මිස එහි ඇති වානිජමය අගය පදනම් කර ගෙන නොවේ.

අද වන විට අප රටේ මධ්‍යම පන්තිය සතුව බත් සහ ව්‍යංජන මුල් කොට ගත් සම්මත ආහාර වට්ටෝරුවක් තිබේ. සම්බා බත්, පරිප්පු, බෝංචි ව්‍යංජන, තෙලින් පිසූ අර්තාපල්, වම්බටු මෝජුවක්, අච්චාරුවක් මිරිසට පිසින ලද මාළු හෝ මස් ආදියෙන් සමන්විත මෙම ආහාර වට්ටෝරුව සාංඝීක දාන වල දී මංගල ඇතුළු අනෙකුත් උත්සව වල දී සේම නිවසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ලදී. එමෙන්ම මධ්‍යම පාන්තිකයන් ආහාර ගනු ලබන තානායම්, බොජුන් හල් වලදී දක්නට ලැබුණේ ද; බොහෝ විට දක්නට ලැබුණේ මේ මධ්‍යම පාන්තික ආහාර වට්ටෝරුවම ය.

එහෙත්, අප රටේ මධ්‍යම පන්තිය විස්තාරණය වීමට ප්‍රථම ඉහත සඳහන් සියළුම ආහාර වේල් සඳහා යොදා ගන්නා ලද්දේ තමන් ජීවත් වන පරිසර පද්ධතියෙන් උපයා සපයා ගන්නා ලද බව බෝගයන් ය. ඒවා බොහෝ විට වානිජමය නොවන ගෙඩි, අල, කරල්, දළු, කොළ, මල් ආදියෙන් සකසන ලද ව්‍යංජන, මැල්ලුම්, තැම්බුම් ආදියෙන් සමන්විත විය. එසේම අතීත ගැමියා තම ආහාරවේල සඳහා මස් මාංශ සපයා ගන්නා ලද්දේ ද තමන් ජීවත් වන පරිසර පද්ධතියෙනි.එහි දී වර්තමාන සමාජය පවා පිළිකුල් කරන සතුන් ගේ මාංශ ද යොදා ගන්නා ලද බවට තොරතුරු අසන්නට ලැබේ.

අතීත ගැමි ජනයා තමන් ජීවත් වන පරිසර පද්ධතිය ඇසුරින් සකසා ගත් සත්ව සහ ශාකමය ආහාර පිළිබඳව වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති.ජනාවාසකරණය මුල් කොට ගෙන  මීට දශක කිහිපයකට සාපේක්‍ෂව අද වන විට අප රටේ තුරු වැස්ම ශීඝ්‍රයෙන් අව ප්‍රමාණ වීම මීට ප්‍රධාන හේතුවක් වී තිබේ.ඒ මත ස්වභාවික වනගහනයේ තිබූ ඒ ශාක සමහරක් එම පරිසර පද්ධතීන් ගෙන් අතුරුදන්ව ගොසිනි. තවත් කොටසක් දුලබ ශාක ගණයට පත්ව තිබේ. එමෙන්ම අතීත සමාජය ඉතා හොඳින් දැන හඳුනා ගෙන තමන් ගේ ආහාර රටාවට එක් කර ගත් එම ශාක වර්ග අද සමාජයේ බොහෝ දෙනෙක් නම් වශයෙන් හෝ නොහඳුනති.

ලොව සෙසු බොහෝ රටවල් හා සසඳන විට අප රටේ උසස් අධ්‍යාපන ධාරාවෙන් මානව විද්‍යා විෂය පථයට එතරම් පිළිගැනීමක් ලැබී නොමැති බව අප අකමැත්තෙන් වුව පිළිගත යුතු සත්‍යයකි.අධ්‍යාපනයට හුදු වෘත්තීය පදනමක් තිබිය යුතුය යන පටු සමාජ ආකල්පය ප්‍රචලිත වීමත් සමඟම එවන් විෂය පථයන් පිළිබඳ සමාජ උනන්දුව අවප්‍රමාණ වීම මත මෙම අවනතිය සිදුව ඇති බවක් පෙනේ.

ඉන් සිදුව ඇත්තේ අප සමාජයේ අතීත පොදු ජනවිඥානය සහ වත්මන් පොදු ජන විඥානය අතර විද්‍යාත්මක හා ශාස්ත්‍රීය පදනමක් යටතේ අන්තර් සබඳතාවයක් ගොඩනැඟිය හැකි මංපෙත් මුළුමනින්ම පාහේ ඇහිරෙමින් තිබීම ය. ඇතැමුන් ප්‍රකාශ කරන අන්දමට වර්තමාන ‘අසංතෘප්තිත’සමාජ ආර්ථික ක්‍රමයක් අප රට තුළින් බිහි වීමට හේතුව අප සමාජයේ නූතන ජන විඥානය තුළින් සම්ප්‍රදාය පිළිබඳ අක්–මුල් සිඳී ගිලිහී යාම නිසා ය.

ඒ කෙසේ හෝ ඉදිරි කාලයේ දී උදාවීමට නියමිත ආහාර පාන අහේනි සමය තුළින් ඉතා ස්වභාවික ලෙසම වර්තමාන ආටෝපකාරී සමාජ සංස්කෘතික ධාරාවෙන් පිටතට පනින අපගේ වර්තමාන සමාජය ආහාර පාන සපයා ගැනීම සම්බන්ධ ප්‍රාථමීකරණයට බඳුන් වී හෝ හුදු ආටෝපකාරී නොවන සරල හා චාම් බවින් යුතු නමුත් විධිමත් සමාජ ආර්ථික ක්‍රමයක් වෙත යොමු වන්නේ නම් එය ද එක්තරා අන්දමක ‘විප්ලවීය’ වෙනසක් වනු ඇත.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

හරිත දනව්ව