ඉන්දියාවේ කෝටිපති සිඟන්නා

මේ සිඟන්නකු හෙවත් යාචකයකු ගැන කතාවකි. නමුත් ඒ එසේ මෙසේ යාචකයකු ගැන නොව කෝටිපති යාචකයකු ගැන ය. මෙම අපූරු යාචකයා භාරත් ජායින් නම් වේ. ඔහු වාසය කරන්නේ ඉන්දියාවේ ය. නමුත් ජායින් සැලකෙන්නේ ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ධනවත්ම යාචකයා ලෙසිනි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන අන්දමට ජායින්ගේ ශුද්ධ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 7.5 කි. එය ලංකා රුපියල්වලින් කෝටි 28 කට ආසන්න වේ. මුම්බායි නුවර ඉහළ පෙලේ තට්ටු නිවාස සංකීර්ණයක සුපිරි නිවසක් ද ඔහු සතු බව සඳහන් වේ. එහි වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 1.2 ක් (ලංකා රුපියල් කෝටි 5 ක් පමණ) බව පැවසේ. මුම්බායි නගරය ආසන්නයේ පිහිටි තෙයින් නැමැති ප්‍රදේශයේ සාප්පු දෙකක් ද ඔහු සතු වේ. මෙම සාප්පු කුලියට දී ඇති බව සඳහන් ය. සාප්පු දෙකෙන් මසකට ඉ. රුපියල් 30,000 බැගින් (ලංකා රුපියල් 115,000 බැගින්) අදායමක් ඔහුට ලැබේ.

දිනකට පැය 10-12 අතර කාලයක් ජායින් සිඟමන් යදියි. ඔහුගේ දවසක ආදායම ඉ. රුපියල් 2,000-2,500 අතර වන බව වාර්තා වේ. එය ලංකා රුපියල් 7,700- 9,600 අතර ආදායමකි. ඉන්දියාවේ බොහොමයක් දිළිඳු ජනයාට මෙවැනි කාලයක් වැඩ කිරීමෙන් ඉ. රුපියල් සිය ගණනකට වඩා උපයා ගන්නට නොහැක. නමුත් ජායින්ට මේ තරම් ආදායමක් ලබන්නට හැකිව තිබෙන්නේ ඔහුගේ සන්නිවේදන හැකියාවන් නිසා බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. චත්‍රපති ෂිවාජි මහරාජ් දුම්රිය ස්ථානය, අසාද් මයිදාන් වැනි ස්ථානවල ඔහු නිතර දැකිය හැකිය. ඔහු මාසයකට ඉ. රුපියල් 60,000- 75,000 අතර මුදලක් උපයන්නට සමත් වන අතර එය ලංකා රුපියල් 225,000-280,000 අතර මුදලකි. ජායින් කෝටිපතියකු බවට පත්ව තිබුණේ සිඟමන් යැදීම තුළින් උපයා ගන්නා මුදල් නාස්ති නොකර වියදම් කිරීමෙන් සහ ආයෝජනය කිරීමෙනි.

ජායින් කුඩා කාලයේ සිටම බොහෝ අගහිඟකම්වලින් පිඩා විඳි කෙනෙකි. ඔහුගේ මව්පියන්ගේ දිළිඳුකම නිසා ජායින්ට විධිමත් ආකාරයෙන් අධ්‍යාපනයක් ලැබීමට නොලැබිණි. කලක් ඔහු පාසලකට ගොස් තිබුණත් පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා අධ්‍යාපනය අතරමග දී නතර කර දමන්නට ඔහුට සිදුව තිබිණි. නිසි අධ්‍යාපනයක් නොමැති වීම හේතුවෙන් ඔහුට ස්ථාවර රැකියාවක් කිරීමට ද අවස්ථාවක් හිමි වූයේ නැත. ජායින් සිඟමනට වැටුණේ මෙම පසුබිම තුළ බව සඳහන් වේ.

මෙම කෝටිපති සිඟන්නාට කුඩා පවුලක් ද සිටියි. ඔහුගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා ඊට අයත් වේ. තමාට නිසි අධ්‍යාපනයක් ලැබීමට වාසනාවක් නොලැබුණත් භාරත් ජායින් තම පුතුන් දෙදෙනාට ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කර තිබේ.

ජායින් සිඟමන් යදිනවාට ඔහුගේ පවුලේ සාමාජිකයන් විරුද්ධ ය. නමුත් තමා මෙතෙක් කරගෙන ආ ‘රැකියාව’ නතර කිරීමට ඔහුට ආසාවක් නැති බව පෙනේ. පවුලේ අයගේ විරුද්ධත්වය නොතකා ඔහු දිගටම සිඟාකෑමෙහි නිරත වෙයි.

ක්‍රිෂ්ණ කුමාර් ජීත් ද ඉන්දියාවේ මුම්බායි හි සිටින තවත් ධනවත් යාචකයෙකි. සිඟමන් යැදීම ඔහු බැරෑරුම් ‘වෘත්තියක්’ ලෙස සලකන බව පෙනේ. ඔහුගේ ආදායම් කළමනාකරණය සඳහා ඔහු තම සහෝදරයා පත්කර ඇතැයි පැවසෙන අතර ඔවුන් දෙදෙනා ද වාසය කරන්නේ ඉහළ පෙලේ සුඛෝපභෝගී තට්ටු නිවාසයක ය. ජීත් මාසයකට ඉන්දීය රුපියල් 45,000 ක පමණ ආදායමක් උපයන බව වර්තා වේ. එය ලංකා මුදලින් රුපියල් 175,000 කට ආසන්න ආදායමකි.

ඉන්දියාව ලෝකයේ යාචකයන් බහුලම රටක් බව රහසක් නොවේ. 2011 වසරේ කරන ලද සංගණනයකට අනුව එරට සිටි සිඟන්නන් ගණන 413,000 කි. මේ අතරින් 221,000 ක් පමණ පිරිමින් වන අතර 192,000 ක් පමණ කාන්තාවන් ය. එම සංගණනයට අනුව ඉන්දියාවේ ප්‍රාන්ත අතරින් යාචකයන් වැඩිම සංඛ්‍යාවක් සිටියේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ යි. එම ගණන 81,000 කි.

ඉන්දියාවේ යාචකයන් පිලිබඳ තවත් ඛේදජනක කාරණයක් වන්නේ කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් ද මේ අතර සිටීමයි. නිසි ආහාර පාන, නිවාස ආදිය පමණක් නොව අධ්‍යාපනය ද අහිමිව සිටින මෙම දරුවන් අතිශයින් දුඃඛිත අනාගතයක් උරුම කරගෙන ජීවත් වන්නෝ වෙති.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර