ඉන්දියාව කැළඹූ තරුණ ගණකාධිකාරිනිය ගේ මරණය

ව්‍යාපාර ලෝකයේ වර්තමානයේ පවතින අධික තරගකාරිත්වය නිසා බොහෝ සමාගම් සිය සේවකයන් දැඩි ලෙස සූරාකමින් අධික ලෙස ඔවුන්ගෙන් වැඩ ගැනීමට පෙළඹී සිටින ආකාරය දැකිය හැකි වේ. මෙම තත්වය ලංකාවේ පවා දක්නට ලැබෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.

පසුගිය දිනෙක ඉන්දියාවේ සිදු වූ අවාසනාවන්ත මරණයක් මෙම කාරණය ගැන විශාල සංවාදයක් ඇති කිරීමට සමත්ව තිබේ.

මෙහි දී මියගොස් තිබුණේ ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසිද්ධියක් දිනා සිටින එක්තරා ගණකාධිකරණ සමාගමක සේවය කළ 26 හැවිරිදි තරුණ කාන්තාවකි. ඇනා පෙරායිල් නැමැති ඇය මෙම සමාගමේ සේවය කර තිබුණේ වරලත් ගණකාධිකාරිනියක ලෙසිනි. මාධ්‍ය වාර්තාවල සඳහන් වන අන්දමට ඇයගේ මරණයට හේතු වී තිබුණේ හෘදයාබාධයකි. ඇනා ගේ මරණය සිදුව ඇත්තේ ඇය ඉහත කී සමාගමේ සේවයට බැඳී මාස හතරකට පසුව යි.

මෙම මරණය නිසා බොහෝ සමාගම්වල මේ වනවිට ක්‍රියාත්මක වන වැඩ සංස්කෘතිය පිලිබඳ ඉතා උණුසුම් සංවාදයක් ඉන්දියාව තුළ ඇති වී තිබෙනු දැකිය හැකි වේ. මෙම සංවාදය ආරම්භ වී තිබුණේ ඇනා ගේ මව විසින් ලියන ලද ලියුමක් සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනා ගන්නට පටන් ගැනීමත් සමග ය. ඇනිටා ඔගස්ටින් මෙම ලියුම ලියා තිබුණේ ඇනා සේවය කළ සමාගමේ කළමනාකාරිත්වය වෙත යි. සිය දියණිය මිය ගියේ සේවා ස්ථානයේ දී ඇයට දරන්නට නොහැකි තරම් වැඩ කන්දරාවක් කරන්නට සිදු වීම නිසා ඇති වූ මහත් පීඩනය හේතුවෙන් බවක් ඇය මෙහි පවසා තිබිණි.

සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් ඇනා ගේ පියා වන සිබි ජෝසප් ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. ඔහු පවසා තිබුණේ බොහෝ දවස්වල ඇයට මැදියම් රාත්‍රි 12.30 පමණ වනතුරු වැඩ කරන්නට සිදු වූ බව යි. මේ නිසා ඇයට නිදා ගැනීමට, විවේක ගැනීමට පමණක් නොව හරියට කෑමබීම ගැනීමට පවා වේලාවක් නොවූ බව ඔහු පවසා තිබේ.ඇනා හැමදාම වාගේ වැඩ අවසන් කර ඇයගේ නවාතැනට පැමිණියේ පාන්දර 1 ට පමණ බවත්, සතියක පමණ සිට පපුව හිරවෙන ගතියක් ගැන පවසමින් සිටි බවත් ඇයගේ මව ඇනිටා පවසා තිබුණාය. වෛද්‍යවරයකු හමුවීමෙන් පසුව පවා ඇය විවේක නොගෙන වැඩට යාමට අවශ්‍ය බව පැවසුවේ යයි ද ඇය කියා තිබිණි. ඇනා ඒ ආකාරයෙන් නැවත රැකියාවට ගොස් තිබුණේ අවසන් කිරීමට රාජකාරි රැසක් ඇති බවක් කියමිනි.

අද බොහෝ සමාගම් තුළ පවතින වැඩ සංස්කෘතිය සේවකයන්ගේ සෞඛ්‍යය දෙවැනි තැනට දමා අධික ලෙස වැඩ කිරීම උත්කර්ෂයට නංවන්නක් බවත්, ඇනාගේ සිද්ධිය මේ තත්වය වෙත යම් ආලෝක ධාරාවක් එල්ල කරන්නක් බවත් ඇනීටා ඉහත කී ලිපියෙන් අවධාරණය කර තිබේ. යථාර්ථවාදී නොවන ඉලක්ක සපුරාලීම සඳහා කළමනාකාරිත්වයෙන් කෙරෙන කෲර බලකිරීම් නිසා ඇති වන පීඩනය දරා ගැනීමට අපහසු බවත්, විශාල විභවයක් තිබූ තරුණ කාන්තාවකගේ ජීවිතය එය විසින් උදුරා ගන්නා ලද බවත් මෙම ලිපියෙහි තවදුරටත් සඳහන් ය.

සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් ඇනා ගේ පියා වන සිබි ජෝසප් ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. ඔහු පවසා තිබුණේ බොහෝ දවස්වල ඇයට මැදියම් රාත්‍රි 12.30 පමණ වනතුරු වැඩ කරන්නට සිදු වූ බව යි. මේ නිසා ඇයට නිදා ගැනීමට, විවේක ගැනීමට පමණක් නොව හරියට කෑමබීම ගැනීමට පවා වේලාවක් නොවූ බව ඔහු පවසා තිබේ.

ඇනා හැමදාම වාගේ වැඩ අවසන් කර ඇයගේ නවාතැනට පැමිණියේ පාන්දර 1 ට පමණ බවත්, සතියක පමණ සිට පපුව හිරවෙන ගතියක් ගැන පවසමින් සිටි බවත් ඇයගේ මව ඇනිටා පවසා තිබුණාය. වෛද්‍යවරයකු හමුවීමෙන් පසුව පවා ඇය විවේක නොගෙන වැඩට යාමට අවශ්‍ය බව පැවසුවේ යයි ද ඇය කියා තිබිණි. ඇනා ඒ ආකාරයෙන් නැවත රැකියාවට ගොස් තිබුණේ අවසන් කිරීමට රාජකාරි රැසක් ඇති බවක් කියමිනි.

මේ තරම් මානසික ආතතියක්, පීඩනයක් දරාගෙන තමාට වැඩ කරන්නට නොහැකි බව පවසමින් සිය දියණිය දුරකතන ඇමතුම් දුන් ඇතැම් අවස්ථාවල හඬා වැටුණු බව ඇනා ගේ පියා සඳහන් කර තිබිණි.

කෙසේ නමුත්, ඇනාගේ මරණයට හේතුව වැඩ නිසා ඇති වූ පීඩනය බවට ඇයගේ මව්පියන් නගන චෝදනාව ඉහත කී සමාගම පිලිගන්නා බවක් නොපෙනේ. ඇයට ද වැඩ පැවරුණේ අන් සේවක සේවිකාවන්ට මෙන්ම බවත්, ඇනාගේ මරණයට වැඩ නිසා ඇති වූ පීඩනය හේතු වී ය යන්න විශ්වාස කළ නොහැකි බවත් සමාගම ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්විණි.

ඇනාගේ මව ලියූ ලිපිය මාධ්‍ය තුළ සංසරණය වන්නට පටන් ගත් විට එහි ඇති කාරණාවලට බොහෝ දෙනා අනුකූලතාව දක්වා තිබෙනු දැක ගන්නට ලැබිණි. සමහරුන් මෙයට අදාළව තමුන්ගේ අත්දැකීම් ද සටහන් කර තිබිණි. තවත් ප්‍රධාන පෙලේ සමාගමක රැකියාව කළ කෙනෙකු පවසා තිබුණේ තමුන්ට දිනකට පැය 20 ක් පමණ වැඩ කරන්නට සිදු වූ බවයි. එතරම් වැඩ කළත් අතිකාල දීමනා වැනි කිසිවක් සමාගම නොගෙවූ බවක් ද එම පුද්ගලයා පවසා තිබිණි.

ඇනා සේවය කළ සමාගමේ ම කලින් සේවය කළ කෙනෙකු පවසා තිබුණේ සවස නියම වේලාවට වැඩ අවසන් කර පිටව යන සේවකයන් ගර්හාවට, සමච්චලයට ලක් කිරීමේ සිරිතක් එහි පවතින බව යි. සති අන්තවල වැඩ නොකරන්නන් ද මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන බව ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි. මෙවැනි කාරණා සත්‍ය නම් ඒ තුළින් පෙනෙන්නේ ඉතා සූක්‍ෂ්ම ලෙස සේවකයන් සූරා කෑමේ සංස්කෘතියක් ක්‍රියාත්මකව පවතින ආකාරය යි.

ඇනා සේවය කළ සමාගමේ ම කලින් සේවය කළ කෙනෙකු පවසා තිබුණේ සවස නියම වේලාවට වැඩ අවසන් කර පිටව යන සේවකයන් ගර්හාවට, සමච්චලයට ලක් කිරීමේ සිරිතක් එහි පවතින බව යි. සති අන්තවල වැඩ නොකරන්නන් ද මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන බව ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි. මෙවැනි කාරණා සත්‍ය නම් ඒ තුළින් පෙනෙන්නේ ඉතා සූක්‍ෂ්ම ලෙස සේවකයන් සූරා කෑමේ සංස්කෘතියක් ක්‍රියාත්මකව පවතින ආකාරය යි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මෙයට පෙර ද බොහෝ අවස්ථාවල විවේචන, චෝදනා එල්ල වී තිබේ. නාරායන මූර්ති නැමැති ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද ප්‍රකාශයක් ද මෙයට මාස කිහිපයකට පෙර විශාල වශයෙන් විරෝධයට ලක් විය. ඔහු පවසා තිබුණේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය ඉහළ දැමීම සඳහා තරුණ ඉන්දියානුවන් සතියට පැය 70 ක පමණ කාලයක් වැඩ කළ යුතු බව යි.

ෂාන්තානු දේශ්පාන්දේ නැමැති තවත් ව්‍යවසායකයකු පවසා තිබූ කතාවකට ද මේ ආකාරයෙන්ම විරෝධයක් එල්ල විය. ඕනෑම රැකියාවකට බැඳෙන නවකයකු සිය රැකියාවේ පළමු වසර හතර පහ තුළ දිනකට පැය 18 ක් පමණ වැඩ කිරීමට සූදානම් විය යුතු බවක් ඔහු පවසා තිබිණි.

කෙසේ නමුත් මානසික සෞඛ්‍යය පිලිබඳ විශේෂඥයන් මෙන්ම කම්කරු අයිතීන් පිලිබඳ ක්‍රියාකාරිකයන් ද මෙවැනි අදහස්වලට දැඩි විරෝධය දක්වති. මෙබඳු යෝජනා ඉතා අසාධාරණ බවත්, මේ ආකාරයෙන් වැඩ කිරීමෙන් සේවකයන් ගේ කායික මානසික සෞඛ්‍යය පිරිහෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර