ඉන්දීය පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායකයා ලෙස ඉන්දීය කොන්ග්‍රසයේ නායක රාහුල් ගාන්ධි පත් කර තිබේ. ඉන්දීය පාර්ලිමේන්තුවට විපක්ෂ නායකවරයකු පත් වී ඇත්තේ වසර දහකට පසුවය. මීට පෙර අවසන් වරට මංමෝහන් සිං අගමැතිවරයා ලෙස කටයුතු කළ 2009 සිට 2014 දක්වා කාලයේදී භාරතීය ජනතා පක්ෂයේ සුෂ්මා ස්වරාජ් එරට විපක්ෂ නායිකාව ලෙස කටයුතු කළ අතර, වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ පළමු ධුර කාලයේ (2014-2019) සහ දෙවැනි ධුර කාලයේ (2019-2024) විපක්ෂ නායක ධුරය හිස්ව තිබිණි. එම කාලය ඇතුළත භාරතීය ජනතා පක්ෂයට අභියෝග කිරීමට කිසිදු පක්ෂයක් සමත් නොවීම ඊට හේතුවය, විපක්ෂ නායක ධුරයට හිමිකම් කීමට අවශ්‍ය 10% ක ඡන්ද ප්‍රතිශතය හෝ මුළු ආසන සංඛ්‍යාවෙන් අවම වශයෙන් ආසන 55ක් හෝ ජය ගැනීමට කිසිදු පක්ෂයක් සමත් වී නැත.එහෙත්, මෙවර ඉන්දීය කොන්ග්රසය ආසන 99ක් ජය ගැනීමෙන් විපක්ෂ නායක ධුරයට හිමිකම් කීමට සමත් වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ හිටපු අගමැතිනිය ඉන්දිරා ගාන්ධිගේ මුනුපුරා ද, හිටපු අගමැති රජීව් ගාන්ධිගේ පුත්‍රයා ද වන 54 හැවිරිදි රාහුල් ගාන්ධි 2004 වසරේදී දේශපාලනයට එක්වූ අතර,ගත වූ විසි වසර තුළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් සිටී.