ඉන්ධන පෝලිම් වල සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් එක දිගටම වාර්තා වෙමින් තිබේ.ඉන්ධන හිඟය, ඒවා ලබා ගැනීමට ජනතාව තුළ පවතින තරඟකාරීත්වය මත පදනම් වන ගැටුම්, අරගල මෙම සිදුවීම් වලට පාදක වන බව පෙනේ. සිද්ධිමය වශයෙන් මේවා එකි’නෙකට වෙනස් ස්වරූපයක් ගන්නා බව නිසැක ය. එහෙත් සමාජ විද්‍යාත්මක,සමාජ මනෝවිද්‍යාත්මක සහ අපරාධ විද්‍යාත්මක ආදී වශයෙන් විමසා බලන විට මෙම ගැටුම් අරගල සහ ප්රචණ්ඩ ක්‍රියා සඳහා ඉවහල් වන පොදු මූලයන් හඳුනා ගත හැක. එමෙන්ම එම මූලයන් හඳුනා ගැනීම සමාජමය වශයෙන් අතිශය වැදගත් වනුයේ එවැනි ගැටුම්, අරගල සහ ප්රචණ්ඩ ක්‍රියා නිවාරණය සඳහා එවැනි ශාස්ත්‍රීය විමසුමක් අවශ්‍ය බැවිනි.එසේ නොමැතිව ඒ එක් එක් සිදුවීම් මගින් සාපරාධී චෝදනා වලට ලක් වන්නවුන් කුදලා ගෙන ගොස් ඔවුනට එරෙහිව නඩු පැවරීමෙන් පමණක් මෙම සමාජ අවනතිය කෙසේ වත් වලකාලීමට හෝ පාලනය කිරීමට නොපුළුවන.
ලොව ජීවත් වන සියලු සතුන් අතුරින් ශිෂ්ටාචාර ගත එකම සත්වයා මිනිසා ය.එහෙත්, ශිෂ්ටාචාරය යනු මිනිසා විසින් තම පොදු යහපත සඳහා ආරෝපණය කර කෘත්‍රිම තත්වයක් මිස නෛසර්ගිකත්වය හෝ ස්වභාවිකත්වය හා බැඳුණු එකක් නොවේ. එකි’නෙකට යම් යම් විෂම ලක්ෂණ පෙන්නුම් කළ ද ගෝලීය වශයෙන් පොදු බවක් දක්වන ශිෂ්ටාචාරය රඳා පවත්නේ තත්කාලීන සමාජ, ආර්ථික ස්ථායී බව පදනම් කර ගනිමිනි. එම සමාජ, ආර්ථික ස්ථායී භාවය රඳා පැවැත්ම හෝ එහි බිඳ වැටීම තීරණය වනුයේ දේශපාලනික සාධක පදනම් කර ගනිමිනි. නමුත් ඉහත සඳහන් දේශපාලනික යෙදවුම් වල අසාර්ථක භාවය නිසා යම් සමාජයක් සමාජ, ආර්ථික වශයෙන් අස්ථායී භාවයට පත් වුවහොත් ක්‍රමයෙන් එහි ශිෂ්ටාචාර ගත ලක්ෂණ බිඳ වැටෙන්නට පටන් ගනියි. දිගු කාලීන වශයෙන් එම තත්වය නිරන්තරව පැවැතීම එම සමාජයේ සංස්කෘතික, සාදාචාරමය අවනතියකට ද හේතු වෙයි.
මෙම තත්වය මඟින් පුද්ගල, පවුල්, ප්‍රජා, සමාජමය වශයෙන් මිනිසුන් තුළ පවත්නා ශිෂ්ටාචාරගත ලක්ෂණ අවප්‍රමාණ වීමට සාපේක්ෂව සෑම මිනිසකු තුළම පවත්නා නෛසර්ගික සත්ව ගති එළි දැක්වීම සිදුවෙයි.
එකම මස් කැබැල්ල ඉදිරියේ සිටිනා සුනඛයන් දෙදෙනකු එය හිමි කරගැනීම පිණිස එකි’නෙකා මරා ගන්නේ ද මස් වෙළෙඳ සැලකට එක් වන පාරිභෝගිකයන් ඒවා මිලට ගැනීම පිණිස විනයවත් සහ සංවර ලෙස පෙළ ගැසෙනුයේත් මෙම ශිෂ්ටාචාරය නම් සාධකය නැති, ඇති යන වෙනස්කම අනුව ය.
නමුදු විධිමත් සමාජ, ආර්ථිකයක් මගින් මිනිසා වටා පෙළ ගස්වා ඇති සීමිත සම්පත් ප්‍රමාණය මිනිසාගේ උපයෝගීතා මට්ටමට පහළ මට්ටමක රඳා පැවැතීම මත ඒවා හිමිකර ගැනීම පිණිස විනය, සංවරය, සදාචාරය, ශිෂ්ටාචාරය වැනි පොදු සමාජමය අගැයුම් පරදු තබන්නට මිනිසාට සිදු වෙයි.එබඳු හිඟතාවයන් සම්බන්ධ අවිනිශ්චිතතාව,චිත්තාවේගීය පීඩනය මත සිදු වන වෙළඳ පළ හැසිරීම් නම් කෙරෙනුයේ සන්ත්‍රාස මිල දී ගැනීම්( Panic buying)යනුවෙනි සහල් ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කෙරෙහි එවන් තත්වයක් දක්නට ලැබෙන අතර මේ දිනවල ඉන්ධන පෝලිම් ආදියේ නිරතුරුව වාර්තා වන ගැටුම්, අරගල යන ප්රචණ්ඩ ක්‍රියා එහි එක් පැතිකඩක් පමණි.
ජනතාවගේ ජීවන පැවැත්මට බාධා කරමින් ඕනෑම සමාජ, ආර්ථිකයක සිදුවන වේගවත් පසුබෑම් වල දී ඒ සඳහා මුල්වන පුද්ගලයන්ට, සංවිධාන වලට සහ බලවේග වලට පහර දීමේ සමාජමය ස්වභාවයක් පවතී.තමන්ට ජීවිතයේ මුහුණ දීමට සිදුවන සමාජ, ආර්ථික පීඩනයන් වලට එරෙහිව සෘණාත්මක, අන්තගාමී හෝ අතාර්කික ප්‍රතිචාර දැක්වීම පොදුවේ හැඳින්වෙනුයේ සමාජ සන්ත්රාසය (Social Panic) යනුවෙනි. ලන්ඩන් ආර්ථික විද්‍යායතනයේ සමාජ විද්‍යා මහාචාර්ය ස්ටැන්ලි කොහෙන් විසින් අනාවරණය කොට ඇති මෙම සමාජ සන්ත්රාසය නම් සංසිද්ධිය මගින් හටගත හැකි අයහපත් ප්‍රතිවිපාක බොහෝය. නිසි ඉලක්කයක් හෝ අරමුණක් නොමැති සමාජ අරගල හෝ සිවිල් යුදමය තත්වයක් දක්වා වර්ධනය විය හැකි එම ජනතා ආවේගාත්මක ක්‍රියා කලාපයන් තුළින් රට තුළ පවත්නා සමාජ, ආර්ථික අස්ථායී භාවයන් වඩාත් තියුණු වීමත් එම සමාජය යළි යථා තත්වයට පත්වීමට සැළකිය යුතු කාලයක් ගත වීමත් බොහෝ විට දක්නටලැබෙන්නකි.
වර්තමාන ශ්‍රී ලාංකේය ජන සමාජය දිනෙන් දින මුහුණ දෙන සමාජ, ආර්ථික පීඩනය හමුවේ පොදු ව්‍යවහාරයට අනුව කිවහොත් පාලකයන්ට එරෙහිව වීදි බැසීම සේම විවිධ පුද්ගලයන්ට, කණ්ඩායම්, ජන කොටස් අතර ගැටුම් අර්බුද ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවීමේ පැහැදිලි සම්භාවිතාවයක් මේ වන විට පෙන්නුම් කෙරෙමින් පවතින බව අකමැත්තෙන් වුව කිව යුතු ය. එබැවින්, මේ වන විට ඉන්ධන පෝලිම් තුළින් මතුවන ගැටුම් අරගල ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හි අවසානය කුමක්ද? යන්න තීරණය වනුයේ ජනතා පීඩනය හමුවේ පාලකයන් දක්වන සංවේදී බව අනුවය.
එමෙන්ම පාලකයන් පලවා හැරීම සම්බන්ධයෙන් ජනතාව ගනු ලබන උත්සාහයන් හිදී බරපතල හානි සිදුවන්නේ කුමන පාර්ශවයට යන්න සිතීමට වඩා එසේ නැති සිදු නොවන්නේ කුමන පාර්ශවයට ද යන්න සිතා කටයුතු කිරීම සමාජයේ සියලු පාර්ශවයන් සතු සාමුහික වගකීමක් බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය.එමෙන්ම වර්තමාන සිදුවීම් අනුව සලකා බලන විට ඉන්ධන පෝලිම් වලින් මතු වන ප්රචණ්ඩත්වයේ ගිනි පුපුරු වලින් රටම ගිනි ගැනීමට ඇති හැකියාව කෙසේ වත් බැහැර කිරීමට ද නොපුළුවන.
සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර