ඉන්ධන හිඟය මැද රාවණා සිහින ඔස්සේ කෝපි කාලෙට සවාරියක්

ශ්‍රී ලංකාව මේ වන විට බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටියි. ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර ඉකුත් 23 දා පෙට්‍රල් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බව මුලින් කියා පසුව එය දිනක් ප්‍රමාද වන බව කීවේය. ඉන්පසු එම නැව එන්නේ නැතැයි කියා රටෙන් සමාව ඉල්ලුවේය.සමාව ඉල්ලීම හොඳ දෙයකි.එහෙත් ඉන්ධන නොමැති කමින් එලොව පොල් පෙනි පෙනී සිටින ජනතාව ඇමති වරයාට කෙසේ සමාව දෙනු ඇතැයි අපි නොදනිමු.අද වන විට රජය කරවන දේශපාලඥයන්ට සෘජුවම බනින පිරිස අඩු වෙමින් තිබේ.ඒ ඔවුන්ගේ මව් වරුන් සිහි කරන පිරිස් වැඩි වීම නිසා ය.

ඉන්ධන යනු මෙරට සමාජය හා බද්ධ වූ කාරණයකි. ඉන්ධන නැතුව කිසිවක් කළ නොහැකිය.කොටින්ම වර්තමානයේ සමස්ත ජන ජීවිතයම රඳා පවතින්නේ ඉන්ධන මතය. රට තුළ ඇති ඉන්ධන තොග සීමාසහිත වීම නිසා නාගරික පාසල් වසා දැමුණු අතර රාජ්‍ය සේවකයන් රැකියාවට ගෙන්වීම සීමා කළේය.

ලබන 10 දා තෙක් තෙල් නොමැති බව රජය නිවේදනය කළේය. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවතින සීමිත ඉන්ධන තොග නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන කීවේය. ඉන්ධන නොමැති වීම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නිලධාරීන් ආදී සියළු පාර්ශව රැකියාවට යා නොහැකිව නිවසට සීමා වී සිටිති. වෙනදාට ජනාකීර්ණ කොළඹ මාර්ග මේ දිනවල ජනශූන්‍ය වී ඇත.

මේ අතර ජනාධිපතිවරයා නියෝජනය කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කීවේ ලබන 10 දායින් පසුව ඉන්ධන ගැටළුව අවසන් වන බවකි. මහින්දානන්ද අලුත්ගමගේ යනු හිටපු කෘෂිකර්ම ඇමතිවරයාය. ඔහු ද වර්තමාන අර්බුදයේ ප්‍රධාන කොටස්කරුවෙකි.රසායනික පොහොර තහනම් කොට කාබනික පොහොර සංකල්පය වෙනුවෙන් අත්තනෝමතික ලෙස පෙනී සිටි කෘෂිකර්ම ඇමතිවරයා එදා කීවේ කාබනික පොහොර නිසා අස්වැන්න අඩුවන සෑම ගොවි මහතෙකුටම වන්දි ලබා දෙන බවය.

සෑම වී ඇටයක් වෙනුවෙන්ම වන්දි ලබා දෙන බව ඔහු කීවේය. අස්වැන්න අඩුවුව ද ගොවියාට වන්දි ලැබුණේ නැත. එහෙත්, චීනයෙන් ගෙන්වන ලද බාල පොහොර නැවක් වෙනුවෙන් ඩොලර් මිලියන 7 ක වන්දියක් නම් ගෙවා දැමුවේය.හිටපු ඇමති වරයාගේ ඒ නොසරුප් කල් ක්‍රියාව රටට මතක වුවද ඇමති වරයා එය අමතක කොට තම බොරු කීම “යාවත් කාලීන” කොට ඇත.රටේ ඩොලර් අර්බුදයට මේවා ද හේතු කාරණාය. ලබන මස 10 දායින් පසුව ඉන්ධන අර්බුදය අවසන් වන බව කී විට ජනතාව වික්ෂිප්ත වනවා හැර වෙනත් දෙයක් නැත. මේ අතර පුවත්පත් කර්තෘවරුන්, විද්‍යුත් මාධ්‍ය ප්‍රධානින් හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (29) පැවැත්විණි. එහිදී සාගල රත්නායක හිටපු ඇමතිවරයා කළ ප්‍රකාශයක් එසැනින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

ඉන් කියැවුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළ ඇණවුම් අනුව තෙල් නැවක් ලැබීමට ඇත්තේ ලබන 22 දා බව ය.එතෙක්, ඉන්ධන නෞකාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කළැයි මාධ්‍ය සඳහන් කළේය. නමුත් පසුව නිවැරදි කිරීමක් යොමු කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ තෙල් සංස්ථාව එසේ දින නියම කර ඇතත් රජය මැදිහත් වී ඊට පෙර ඉන්ධන නෞකාවක් ගෙන්වීමට පියවර ගන්නා බව ද සාගල රත්නායක හිටපු ඇමතිවරයා කියූ බවකි. කෙසේ නමුත් මාධ්‍ය ඔස්සේ මෙය ප්‍රචාරය වීමත් සමඟ ජනතාව ඇත්ත කුමක්දැයි දැන ගත නොහැකිව කලබලයට පත්විය.

ඉන්ධන නොමැතිව ත්‍රිරෝද රථ අති විශාල ප්‍රමාණයක් පැත්තකට දමා තිබේ. ලක්ෂ නවයක් පමණ වන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ රැකියාව මෙයින් අහිමිව ඇත.ඔවුන්ගෙන් යැපෙන පිරිස ලක්ෂ හතලිස් පහකි.මේ වත්මන් ඉන්ධන අර්බුදයේ එක් ශෝචනීය පැතිකඩක් පමණි. ලබන 22 දා තෙක් තෙල් නැවක් නොපැමිණෙන්නේ නම් මෙකී නොකී සියලු පාර්ශවයන් මාසයකටත් ආසන්න කාලයක් රැකියාව නොමැතිව නිවසට කොටු වී සිටිති. දෛනික ආදායම් ලාභීන්න් වන මොවුන් එවිට සිය දරුපවුල් නඩත්තු කරන්නේ කෙසේද? යන පැනය නිතැතින් මතුවේ.

ඛනිජ තෙල් ඇමතිවරයා තෙල් සොයා කටාර් රාජ්‍යයට යන්නේ රටේ තෙල් තොග අවසන්වීමෙන් පසුව ය. ඇමතිධූරය බාරගෙන මාසයක් යනතුරු ඔහු එවැනි ගමනකට සුදානම් වූයේ නැත. ඔහුගේ පළමු රාජකාරිය විය යුතුව තිබුණේ ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් වෙත ගොස් රටට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමටය. නමුත් ඔහු ඇමති ධූරය බාරගෙන මාස දෙකකට අසන්න වන තුරුත් එවැනි ගමනක් ගියේ නැත.

ඇමති වරයා ඉන්ධන නිෂ්පාදිත රටවල් සමඟ සාකච්ඡා කරන්න යන්නේ රටේ තෙල් තොග අවසන්වීමෙන් පසුව වීම කණගාටුවට කාරණයකි. රටක ඉන්ධන නැතැයි කියන්නේ සියළු දේ අවසන් වනවාය කියන කාරණයයි.මෙය වටිනා මිනිස් ජීවිත අකාලයේ මරු තුරුළට යවන බරපතල තත්ත්වයකි. රජය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ ඉන්දියාවෙන් ඉන්ධන නෞකා හතරක් මිලදී ගැනීමට ය. ඒ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ විසින් සාකච්ඡා ආරම්භ කර තිබේ.

එය ලද හොත් ලංකාවේ ඉන්ධන අර්බුදයට යම් සහනයක් ලැබෙනු ඇත. නමුත් එය ද ඉටු නොවී 22 දා තෙක් මේ ගැටළුව ඉදිරියට ගියහොත් සිදුවිය හැකි දේ කුමක් දැයි සිතා ගත නොහැකිය.මේ අතර පුවත්පත් කර්තෘවරුන්, විද්‍යුත් මාධ්‍ය ප්‍රධානින් සමඟ පැවති සාකච්ඡාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ ඉතිහාස කතාවක් කීය.එනම් 1869 වසරේ අප රටේ කෝපි වගාව බිඳ වැටීමෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදය වැනි අර්බුදයකට අප දැන් මුහුණ දෙමින් සිටින බවකි.ඔහුගේ ඒ කතාව කෙසේ හෝ රාවණා යුගයක් පිළිබඳව සිහින දකිමින් සිටි ජනතාවට කෝපි කාලයට සවාරියක් ගොස් හෝ නවතින්නට හැකි වුවහොත් එය ලොකු දෙයකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර