ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනියි; රට පුරා විරෝධතා

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට එරෙහිව රට පුරා උණුසුම් විරෝධතා පැන නැගී ඇති බව වාර්තා වේ.

ඉම්රාන් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔහු නඩු කටයුත්තක් සඳහා පෙනී සිටීමට එරට අගනුවර වන ඉස්ලාමාබාද් හි මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේ එම අධිකරණ භූමියේදී ය. මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ආරක්ෂක අංශ කණ්ඩායමක් විසිනි. ඔවුන් ඉම්රාන් වාහනයක් තුළට පටවා ගන්නා අන්දමත්, එතැනින් ඉවත රැගෙන යන අන්දමත් දැක්වෙන විඩියෝ දර්ශණ මාධ්‍ය තුළ පළ වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පන්ජාබ් පොලිස්පතිවරයා පවසා ඇත්තේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නා ලද්දේ දූෂණ වංචා පිලිබඳ චෝදනාවකට අදාළව බවයි. එම නියෝගය නිකුත් කරනු ලැබ තිබුණේ එරට ජාතික වගවීම පිලිබඳ කාර්යාංශය (National Accountability Bureau) නම් ආයතනයක් විසින් බවක් ද සඳහන් විය.

2022 වසරේ ඉම්රාන් විශ්වාසභංග යෝජනාවක් හරහා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් පසු ඔහුට එරෙහිව නඩු විශාල සංඛ්‍යාවක් පවරනු ලැබූ අතර මෙය ද ඒ අතරින් එකකි. ඉම්රාන් පවසන්නේ මෙම චෝදනා දේශපාලන පලිගැනීමක කොටසක් බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඉම්රාන් සිට ඇත්තේ අධිකරණ ගොඩනැගිල්ලේ කාමරයක් තුළ ඔහුගේ ජීව දත්ත ලබා දෙමින් බව සඳහන් වේ. එම අවස්ථාවේ එහි ජනෙල් වීදුරු බිඳ දමා පොලිසිය කාමරයට ඇතුල් වූ බවත්, අනතුරුව ඉම්රාන් පිටතට ඇදගෙන ගිය බවත් ඔහුගේ පක්‍ෂය වන පකිස්තාන තෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්‍ෂය ප්‍රකාශ කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ එරට හමුදාව ද ඉම්රාන්ට එරෙහිව චෝදනාවක් කිරීමෙන් දිනකට පසුව ය. ඉම්රාන් හමුදාවේ ඉහළ නිලධාරියකුට එරෙහිව පදනම් විරහිත චෝදනා කරන බවට හමුදාව චෝදනා කර තිබිණි. පසුගිය වසරේ ඉම්රාන් සහභාගි වූ දේශපාලන රැළියක දී ඔහුට වෙඩි තැබීමක් සිදු වූ අතර එහි දී ඉම්රාන් පැවසුවේ තමා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළේ එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ට, අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමැති රානා සනාවුල්ලාට සහ හමුදා නිලධාරියකුට ය. පසුගිය සෙනසුරාදා ලාහෝරයේ පැවැති රැළියකදී ද ඔහු හමුදා නිලධාරියාට එරෙහිව මෙයට සමාන චෝදනාවක් කර තිබූ බව වාර්තා වේ.

ඉහත සඳහන් කළ දූෂණ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් ඉම්රාන්ට කිහිප වරක් දැනුම් දී තිබුණත් ඔහු එසේ නොකිරීම නිසා අත්අඩංගුවට ගත් බවක් අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමැති සනාවුල්ලා ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබිණි. ඉම්රාන් රඳවා සිටින ස්ථානයක් ගැන බදාදා උදෑසන වනවිටත් කිසිවක් ප්‍රකාශ වී තිබුණේ නැත.

පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් හරහා පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ඉම්රාන් අගමැති ධුරයෙන් පහ කරනු ලැබූවත් ඔහු පකිස්තාන ජනතාව අතර තවමත් බෙහෙවින් ජනප්‍රිය බව පෙනී යයි. ඉම්රාන් පැවසුවේ තමා බලයෙන් පහ කිරීම ඇමරිකාව සහ දේශීය බලවේග එක්ව දියත් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි. තමා චීනය, රුසියාව වැනි රටවල් සමග සමීප සබඳතා පැවැත්වීම නිසා මෙම කුමන්ත්‍රණය දියත් කළ බවක් ද ඔහු එකල පැවසුවේය.

තම නායකයා අත්අඩංගුට ගැනීමට එරෙහිව ඉම්රාන්ගේ අනුගාමිකයන් දහස් ගණනින් වීදි බැස විරෝධතා දැක්වීමට පටන්ගෙන තිබේ. මෙම විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බවත් විරෝධතාකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුම් ඇතිව තිබෙන බවත් මාධ්‍ය වාර්තා කරයි. එක් පුද්ගලයකු මියගොස් ඇති බවක් ද සඳහන් වේ. විරෝධතාකරුවන් හමුදා නිලධාරියකුගේ නිවසකට කඩා වැදී එහි වූ බඩු මුට්ටු පොඩි කරන ආකාරයක් දැක්වෙන විඩියෝවක් ද සංසරණය වෙමින් තිබිණි.
ඇතැම් තැන්වල මාර්ග අවහිර කරමින් ද, ගිනි තබමින් සහ නාම පුවරු ආදිය කඩා දමමින් ද, ගල් මුල් විසි කරමින් ද විරෝධතාකරුවන් සිය කෝපය පිට කරමින් සිටින බවක් ද මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට පකිස්තානය ද සිටින්නේ දැඩි ආර්ථික අර්බුදයක් මැද ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද ඔවුන් සාකච්ඡා පවත්වමින් සිටියි. ජනතාව ද සිටින්නේ ජීවන වියදම ඉහළ යාම වැනි ගැටලුවලින් දැඩි ලෙස පීඩා විඳිමිනි. මෙම තත්ත්වය තුළ ඉම්රාන් අත්අඩංගුවට ගැනීම ඔවුන් තවදුරටත් කෝප ගන්වන්නක් වනු ඇති බව නිරීක්‍ෂකයන්ගේ අදහසයි. රට තුළ විශාල අරාජිකත්වයක් පැන නැගිය හැකි බව ඇතැම් නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති. මෙම දේශපාලන අස්ථාවරත්වය නිසා රටේ ආර්ථික අර්බුදය ද වඩාත් දරුණු අතට හැරෙන්නට ඉඩ තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර