හිටපු ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි ගුවන් අනතුරකින් මරණයට පත් වීමෙන් පසුව, ජූනි 28 වැනිදා සහ ජූලි 5 වැනිදා පවත්වන ලද ජනාධිපතිවරණයේ දී සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 53.7% ලබා ගැනීමෙන් ඉරාන නව ජනපතිවරයා ලෙස මවුසුඩ් පෙසෙෂ්කියාන් තේරී පත් විය. 69 හැවිරිදි, වෘත්තියෙන් හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ ඔහු ඉරාන දේශපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණයට ලක් කරන්නට දුන් පොරොන්දු මේ ජයග්‍රහණයට හේතු වූයේ යැයි සිතිය හැකිය. මන්ද ඔහුගේ ජනාධිපතිවරණ සටනේ ප්‍රතිවාදියා වූ සායිඩ් ජලීලී ඔහුට වඩා දැඩි මතධාරියකු යැයි සැලකේ.
මැතිවරණයෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ඇතැමුන්, තමා මවුසුඩ් වෙනුවෙන් ඡන්දය භාවිත කළේ ජලීලී බලයට පත්වීම වැළැක්වීම පිණිස යැයි පැවසීමෙන් ජලීලීගේ දැඩි මතධාරිත්වය සහ ඉරන වැසියන් එවැනි නායකයකු කෙරෙහි ඇති අකැමැත්ත ප්‍රදර්ශනය වෙයි. නව ජනපති මවුසුඩ් පෙනී සිටින්නේ මධ්‍යස්ථ මතධාරියකු ලෙස වන අතර මැතිවරණ සමයේ ඔහු නිතර පාහේ කතා කළේ ඉරානය තුළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම, බටහිර ලෝකය, විශේෂයෙන් ඇමරිකාව සමග යම් එකඟතාවකින් කටයුතු කරමින් ඉරානය මත පැනවී ඇති සම්බාධක අඩු කර ගැනීම, විදේශ ප්‍රතිපත්තිය ලිහිල් කිරීම වැනි මාතෘකා පිළිබඳවය. මධ්‍යස්ථ මතධාරී ඉරාන වැසියන්, ඉරානය තුළ වෙසෙන, නිරන්තරයෙන් කෙනෙහිලිකම්වලට මුහුණ පාන සුළු ජන කොට්ඨාස, ඉරාන කාන්තාවන්, මධ්‍යම පාන්තිකයන් සහ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මේ නිසා මවුසුඩ් වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන්නට ඇතැයි සිතිය හැකිය.
ඉරානය තුළ පැවති රාජකීය පාලනය අවසන් කිරීම සඳහා දියත් කරන ලද ඉරාන විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස 1979 වසරේ දී ඉරානය, ඉස්ලාමීය ආගමික රාජ්‍යයක් බවට පත් වූ බව කවුරුත් දන්නා කාරණයකි. මේ නව පාලනයත් සමග ඉරානය තුළ ද්විත්ව පාලන ක්‍රමයක් බිහිවිය. ඒ ආගමික සහ ජනරජ වශයෙනි. මෙහි ආගමික පාර්ශ්වය ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් ඛමේනි විසින් පාලනය කරන අතර ජනරජ පාර්ශ්වය මහජන ඡන්දයෙන් පත් වන ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් පාලනය කරනු ලබයි. ජනපතිවරයාට කෙතරම් මහජන මතයක් නියෝජනය වුව ද ආගමික නායකයා මත පැවරී ඇති බලය එයට වඩා කිහිප ගුණයකින් වැඩි බැවින් කිසිදු ජනපතිවරයකුට උත්තරීතර නායකයා අභිබවා යාමේ හැකියාවක් නැත. කෙසේ වෙතත් නව උත්තරීතර නායකයකු පත් කිරීමේ දී එයට මැදිහත් වීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබේ. ඉරාන නව ජනපතිවරයා වැඩකටයුතු කළ යුත්තේ මේ ආගමික වටපිටාව මැදය.
ඉරානය තුළ මහජනතාවට නිදහසේ ජීවත් වීමේ යම් අවහිරතාවක් ඇත්නම් එයට ඍජුවම බලපාන්නේ උත්තරීතර නායකයා විසින් මෙහෙයවන ආගමික නායකත්වයය. එහි වෙනසක් සිදු කරන්නේ නම් ඉරාන ජනපතිවරයා ඔහුට එරෙහිව යම් යම් තීරණවලට යා යුතුය. නමුත් මවුසුඩ් සිය මැතිවරණ කටයුතු අතරතුර කිසිදු අවස්ථාවක ඛමේනිගේ ප්‍රතිපත්තිවලට එරෙහිව යන බවක් පැවසුවේ නැත. උත්තරීතර නායකයාගේ ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් පාලනය රැගෙන යන බවක් පමණක් පවසා සිටියේය. ඔහු සඳහන් කළ එකම දෙය වූයේ තමා පොරොන්දු වූ කාරණා ඉටු කර ගත නොහැකි වුවහොත් ජනපති තනතුරට සමු දෙන බව පමණකි.
ඉරාන නව ජනාධිපතිවරයා දේශපාලනයට ආගන්තුකයෙක් නොවේ. ඉරානයේ ප්‍රතිසංස්කරණවාදී ජනාධිපතිවරයෙක් ලෙස 1997 සිට 2005 වසර තෙක් බලයේ සිටි මොහොමඩ් ඛටාමිගේ රජයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් දේශපාලනයට එක් වූයේය. එයින් පසුව පස් වතාවක් ඉරාන පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු ඉරාන පාර්ලිමේන්තුවේ පළමු නියෝජ්‍ය කථානායකවරයා බවට ද පත් විය.
මවුසුඩ් ජනාධිපතිවරයාගේ අවසන් ඡන්ද ප්‍රතිඵල නිවේදනය කරන්නටත් පෙර සිටම ඉරානයේ විවිධ ප්‍රදේශවල වීදිවලට පැමිණි තරුණ තරුණියන් කොල පැහැ කොඩි වනමින්, ගී ගයමින්, නටමින් විනෝදවනු දක්නට හැකි විය. ඒ මවුසුඩ් ජනාධිපතිවරයාගේ ප්‍රතිසංස්කරණ තරුණ පරපුරේ ඉදිරි ගමනට රුකුලක් වනු ඇතැයි ඔවුන් විශ්වාස කළ නිසා විය හැකිය. ඔහු පසුගිය කාලයේ දිගින් දිගටම ඉරාන පාලන තන්ත්‍රය දැඩි ලෙස විවේචනය කරමින් කතා කරනු දක්නට ලැබීම නිසා ඔහු පිළිබඳ බහුතරයකගේ විශ්වාසය ඇති වන්නට හේතුවක් වන්නට ඇත. කෙසේ නමුත් බී බී සී ප්‍රවෘත්ති සේවයේ දේශපාලක විචාරකයකු නව ජනපතිවරයා පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ ඉරානය තුළ කුමනාකාර ජනාධිපතිවරයකු පත් වුවත්, ‘රූකඩ නටවන්නාගේ භූමිකාව’ රඟ දක්වන්නේ අන් කිසිවකු නොව ඉරාන උත්තරීතර නායකයාම බවය.
තවත් වැදගත් කාරණයක් වන්නේ ඉරානය 1979 වසරේ ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත්වන විට කාන්තාවන් හිජාබය පැළඳිය යුතු බවට වූ මතවාදී ප්‍රචාරණයට ඉතා සක්‍රියව දායක වූ පුද්ගලයකු ලෙස ද නව ජනපතිවරයාගේ නම සඳහන් වීමය. බටහිර දේශපාලන විචාරකයින් මේ කාරණය දැඩිව ඉස්මතු කරන බව පෙනෙන්නට තිබේ.
ඔහු වරින් වර ඉරාන පාලන තන්ත්‍රය විවේචනය කළ කාරණය සත්‍ය නමුත් ඒ නිසාම ඔහුට නොසෑහෙන වන්දි ගෙවන්නට සිදු වූ බව ඉතිහාසය දෙස හැරී බැලීමේ දී පෙනෙන්නට තිබේ. 2022 වසරේ දී හිජාබය පැලඳිය යුතු යැයි අනිවාර්ය කර ඇති නීතියට එරෙහිව යාමේ වරදට අත්අඩංගුවට පත්ව වදහිංසාවලට ලක් වී ඝාතනයට ලක් වූ මාෂා අමීනිගේ කාරණයේ දී ඉරාන රජය විවේචනය කරන්නට ඔහු ඉදිරිපත් වූයේ නැත. ඔහු එම අවස්ථාවේදී ද පවසා සිටියේ තමා උත්තරීතර නායකයාගේ මතයට හිස නවන බවය. මාෂා අමීනිගේ මරණය ඝාතනයක් නොවන බවට ඉරාන රජය ප්‍රකාශයට පත් කරද්දී බොහෝ පාර්ශ්වවලින් එයට එරෙහිව විරෝධයක් පැන නැගුණි. මවුසුඩ්හට, වෛද්‍යවරයකු ලෙස එම අවස්ථාවේ දී ඉදිරිපත් වී එය ඝාතනයක්ම බව ස්ථිරසාර ලෙස පවසන්නට ඒ අවස්ථාවේ දී ඕනෑ තරම් අවස්ථාව තිබුණ ද ඔහු කිසිදු අදහසක් ප්‍රකාශ නොකරමින් සිටි බවට චෝදනා එල්ල වෙයි. මෙවැනි දුර්වල ගත් ලක්ෂණ පෙන්නුම් කරන්නෙකු දේශපාලන ප්‍රතිසංස්කරණ, කාන්තා නිදහස වැනි කාරණා කෙසේ ක්‍රියාත්මක කරන්නේ ද යන ගැටලුව පැන නගියි.
මවුසුඩ් ජනාධිපතිවරයාගේ ඉදිරියේ ඇති අභියෝග වන්නේ තමා සැබවින්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට තරම් ශක්තියක් ඇති තැනැත්තෙක් ද යන්න මහජනතාව හමුවේ ඔප්පු කර පෙන්වීමය. අතීතයේ දී ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය ද තම වර්තමාන ස්ථාවරය එය නොවේ යැයි පෙන්වා දීමය. නමුත් අමතක නොකළ යුතු දෙය වන්නේ ඉරාන උත්තරීතර නායකයාගේ බලය බොහෝ සෙයින් වැඩි බවය. මවුසුඩ් හට ඡන්දය භාවිත කළ අයගෙන් බහුතරයක් පවා උත්තරීතර නායකයාගේ මතයට පිටින් යනවාට කැමැත්තක් නැත. ඔවුනට අවශ්‍ය වන්නේ උත්තරීතර නායකයාගේ කැමැත්ත මත ඉරානය තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරන නායකයෙකි. නමුත් උත්තරීතර නායකයන් සෑම විටම පාහේ දැඩි ආගමික මතධාරීන්ය. විශේෂයෙන් ඔවුන් සමග කාන්තා අයිතිවාසිකම් කතා බහ කිරීම, ලිහිල් බටහිර ප්‍රතිපත්ති ආදිය පිළිබඳ කතා කිරීම අර්ථයක් නැතැයි දේශපාලන විචාරකයෝ පවසති.
මවසුඩ් ජනාධිපතිවරයා උත්තරීතර නායකයාට එරෙහිව දේශපාලන ප්‍රතිසංස්කරණවලට එලැඹෙයි ද නැතහොත් ඒ නායකත්වය තුළම දිය වී යයි ද යන්න වැඩි දිනක් යන්නට මත්තෙන් දකින්නට ලැබෙනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක