ඉහළම පෙලේ ජාත්‍යන්තර සම්මානයක් වන බුකර් සම්මානය ශ්‍රී ලාංකික නවකතාකරුවකුට

bukar

බුකර් සම්මානය යනු සාහිත්‍ය ලෝකයේ ඉතා ඉහළින් පිලිගැනෙන ප්‍රධාන පෙලේ සම්මානයකි. මේ වසරේ එම සම්මානය ශ්‍රී ලාංකිකයකු හට හිමි වීම සැබැවින්ම අප රටට විශාල ආඩම්බරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. 2022 වසරේ බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙරට බිහිවූ විශිෂ්ටම සාහිත්‍යකරුවකු වන ෂෙහාන් කරුණාතිලක විසින් ලියන ලද The Seven Moons of Maali Almeida නැමැති නවකතාවයි. පසුගිය 17 වැනි දින මෙම සම්මාන ප්‍රදානය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රවුන්ඩ්හවුස් ශාලාවේ පැවැත්වුණු අතර සම්මානය පිරිනමන ලද්දේ චාල්ස් රජුගේ බිරිඳ කැමිලා විසිනි.

The Seven Moons of Maali Almeida සැබැවින්ම අපූරු නිර්මාණයකි. නිතර කියවන්නට නොලැබෙන ආකාරයෙන් ශෛලියකින් ලියැවුණකි. ඊට පසුබිම් වන්නේ නවසිය අසූව අනූව දශකවල මෙරට උතුරත්, දකුණත් යුද ගැටුම්වලින්, කැරළි කෝලාහලවලින් උණුසුම්ව පැවති කාලයයි. විවිධ පාර්ශ්ව එකිනෙකා මරා ගනිමින් සිටි බිහිසුණු, කෲර, අඳුරු සමය යි. The Seven Moons of Maali Almeida හි කතා නායකයා වන්නේ මිය ගිය පුද්ගලයකුගේ ආත්මයකි. මාලි අල්මේදා නැමැති මෙම පුද්ගලයා ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙකි. ඔහු උතුරේත්, දකුණේත් විවිධ බිහිසුණු සිදුවීම් ඡායාරූපයට නැගූ කෙනෙකු බව පෙනේ. ඔහු ළඟ ඇති ඇතැම් ඡායාරූප රටේ පාලකයන්ට ඉතා හානිකර විය හැකි ආකාරයක් ද පෙනී යයි. මාලි අල්මේදා සමරිසි පුද්ගලයකු ද වන අතර සුරාව, සූදුව ආදි බොහෝ දේ ජීවිතයට සමීප කර ගත්තෙකි.

නවකතාව ආරම්භ වන්නේ මාලි අල්මේදාගේ මරණය සිදුවී ටික වේලාවකට පසුවය. ඔහු එම අවස්ථාවේ පරලොව තුළදී මරණයෙන් අවදි වන අතර යම් පාර්ශ්වයක් තමාගේ මළ සිරුර බේරේ වැවේ ගිල්වා අතුරුදන් කර දමන්නට සැරසෙන ආකාරය ද ඔහුට දැකිය හැකි වේ. මෙම කතාව සැබැවින්ම මාලි ගේ මරණයෙන් මතු ජීවිතය හරහා විකාශනය වන්නකි. ඔහු මරා දැමුවේ කව්රුන්ද යන්න පැහැදිලි නැත. එය ද මෙම පරලොව ජීවිතය තුළ මාලි අල්මේදාට විසඳා ගැනීමට ඇති ප්‍රශ්නයකි. එහා මෙහා පාවෙමින් ගත කරන මෙම ජීවිතය තුළ දී මාලි අල්මේදාට මියගිය තවත් බොහෝ දෙනෙකුගේ ආත්මයන් හමු වේ. මරාගෙන මැරෙන බෝම්බවලින් මිය ගියවුන්ගේ ආත්ම මෙන්ම මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ ආත්ම ද ඒ අතර වේ. 83 ජුලි කලබලවලින් මිය ගිය අය ද, හමුදාව අතින් මිය ගිය ජවිපෙ සාමාජිකයන් ද ඔහුට හමුවේ.

ෂෙහාන්ගේ නවකතාව ගමන් කරන්නේ මරණයෙන් මතු ජීවිතය හරහා පමණක් නොවේ. ජීවත්ව සිටින්නවුන්ගේ ලෝකය ද ඊට හසුවේ. තවමත් ජීවත්ව සිටින මාලි ගේ පවුලේ අය, ඔහුගේ හිත මිතුරන්, ඔහු දන්නා දේශපාලනඥයන්, රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ආදී මේ බොහෝ දෙනා දකින්නට, තමාගේ මරණයෙන් පසු ඔවුන් කරන කියන දේවල් බලන්නට මාලි අල්මේදා ගේ ආත්මය පරලෝකයේ සිට මේ ලෝකයට පැමිණෙයි. එම නිසා අපට හමුවන්නේ පරලෝකයත්, සැබෑ ලෝකයත් අතර දෝලනය වෙමින් ඉදිරියට යන සිදුවීම් මාලාවකි. මේ ආකාරයෙන් ගෙතෙන මෙම අපූරු වියමන හරහා සිවිල් යුද සමයේ, භීෂණයෙන්, වංචාවෙන්, දූෂණයෙන් වැසී ගත් ශ්‍රී ලාංකික සමාජයේ, සංස්කෘතියේ අපූරු අහුමුළුවලට අප රැගෙන යාමට ෂෙහාන් සමත් වෙයි. සැබැවින්ම එය අමුතුම ලෝකයකට පාඨකයා රැගෙන යමින් මවන වෙනස්ම ආකාරයක අත්දැකීමකි.

එක් විචාරකයකු ෂෙහාන්ගේ නවකතාව හඳුන්වා තිබුණේ කිසිම නිශ්චිත ශානරයකට කොටු කළ නොහැකි ආකාරයේ නිර්මාණයක් ලෙසිනි. සැබැවින්ම එය ශානර රැසක සංකලනයක් පෙන්වන නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය. හොල්මන් කතා, අපරාධ පිලිබඳ කතා, උපහාස කතා, රහස් පරීක්‍ෂක කතා, ප්‍රහසන, මේ ආදී බොහෝ නිර්මාණවල දැකිය හැකි ලක්‍ෂණ මේ තුළ දැකිය හැකි වේ. නමුත් ඒ සියල්ල ඉක්මවා ගිය සුවිශේෂී ශෛලියක් ගොඩ නගා ගැනීමට ද ෂෙහාන් සමත් වෙයි.

වාර්ෂිකව පිරිනැමෙන බුකර් සම්මානයත් සමග ජයග්‍රාහකයාට ස්ටර්ලිං පවුම් 50,000 ක මුදල් ත්‍යාගයක් ද හිමි වේ. එය ලංකා රුපියල්වලින් කෝටි 2 කට ආසන්න මුදලකි.

1975 වසරේ ගාල්ලේ උපන් ෂෙහාන් මේ වනවිට දකුණු ආසියානු කලාපයේ සිටින අපූරුම ලේඛකයකු ලෙස සැලකේ. The Seven Moons of Maali Almeida ඔහුගේ දෙවැනි නවකතාව වන අතර 2010 වසරේ පළ කරන ලද පළමු නවකතාව වූ Chinaman ද විශාල අවධානයක් දිනාගත්තේය. 2012 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාහිත්‍ය සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගන්නට එය ද සමත් විය.

ෂෙහාන් කරුණාතිලක වෙළෙඳ දැන්වීම් රචකයකු ලෙස ද කටයුතු කළ කෙනෙකි. බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, සිංගප්පූරුව වැනි රටවල ද ඔහු සේවය කර තිබේ. ෂෙහාන් සංගීතයට ද දක්‍ෂතාවක් දක්වන්නෙකි. Independent Square, Powercut Circus නැමැති සංගීත කණ්ඩායම්වල ඔහු ගිටාර් වාදකයකු ලෙස කටයුතු කර තිබිණි. ශාන්ත තෝමස් ප්‍රාථමික පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ ෂෙහාන් පසුව ද්වීතීයික අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබුණේ නවසීලන්තයේදී ය.

කලින් සඳහන් කළ නවකතා දෙකට අමතරව ෂෙහාන් ළමා කතා තුනක් ද රචනා කර තිබේ. ඔහුගේ අලුත්ම කෙටි කතා සංග්‍රහයක් ද පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අතර එහි නම The Birth Lottery and other Surprises ය.

ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානය දිනූ දෙවැනි ශ්‍රී ලාංකික ලේඛකයා යි. 1992 වසරේ මයිකල් ඔන්ඩච්චි ද මෙම සම්මානය දිනාගත් අතර ඒ The English Patient නවකතාව වෙනුවෙනි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර