රාත්‍රියේ කිසිදු ආබාධයක් නැතිව නින්දට ගියත් සමහරුන්ට උදේ අවදි වන විට කොන්ද දිග ඇර ගැනීම අපහසුය. එසේ නැත්නම් උදේ අවදි වී ගෙතුළ ඇවිද යනවිට විලුඹ පොළවට තද වීමේදී තදබල වේදනාවක් දැනේ. එනිසා සෑහෙන වෙලාවක් යනතුරු ම කොර ගසමින් ගෙයි එහා මෙහා ඇවිදින්නට සිදුවේ. සමහරුන් මැසිවිලි නගන්නේ උදේ අවදි වන විට අත්වල ඇඟිලි නෑවීමේදී සහ දිග හැරීමේදී වේදනාවක් දැනෙන බව කියමිනි. කෙසේවුවද මෙම වේදනාවන් දවස පුරා නොපවතින අතර අවදි වී මඳ වෙලාවකින් ඉබේම මග හැරී යයි. බොහෝ විටම මෙවැනි වේදනාකාරී අත්දැකීම්වලට වැඩිපුර ම මුහුණ දෙන්නේ වැඩිහිටි වියේ පසුවන කාන්තාවන්ය. මේ හේතුව මත ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් නිරන්තරයෙන්ම වෛද්‍යවරුන්ට හමුවෙයි. උදේ අවදි වන විට පමණක් පවතින මේ තත්ත්වයන්ට හේතුව කුමක් දැයි අපි සොයා බලමු.
අප දිනපතා වැඩ කරන විට අපේ අස්ථි විවිධාකාර ලෙසින් චලනය වෙයි. මෙය හරියටම කිවහොත් දොරක් අරිනවා වහනවා වැනි ක්‍රියාවක් ලෙස දැක්විය හැකිය. අස්ථි එසේ චලනය වුවද එය සිදුවන්නේ මාංශපේශීවල පවතින ඝනකම් දිග නූලක් වැනි යමක් ඇදීම සහ හැකිලීම මගිනි. මෙම ඝනකම් නූල යනු ඛණ්ඩරාවයි. මේ ඛණ්ඩරාවෙහි කුඩා කෙඳි නිර්මාණය වී ඇත. අස්ථි චලනය වීමේ දී ඛණ්ඩරාව ඇදීම හේතුවෙන් එම කුඩා කෙඳි කැඩී යාමක් සිදුවේ. මෙසේ කැඩී යන කෙඳි නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රමවේදයක් ද ශරීරය තුළම පවතී. මෙම ක්‍රමවේදයට අනුව කැඩී බිඳී ගිය කෙඳි නැවත යථා තත්ත්වයට පත් කරන්නේ රාත්‍රී කාලයේ දී, එනම් අප රාත්‍රී නින්දට ගිය පසුවය.
අප උදෑසන අවදිවන විට ම මෙලෙස සිරුර රාත්රියේදී ආරම්භ කළ වැඩ කොටස වහා නවතා දමන්නේ නැත. ඒ අනුව අවදි වූ මොහොතේ සිට මඳ වේලාවක් ගතවන තුරු අපට හන්දිපත්වල වේදනාව දැනීම, ඇඟිලි නැවීමේදී සහ දිග හැරීමේදී වේදනාව දැනීම, විලුඹ පොළොවේ ගසා ඇවිදීම අපහසු වීම, තුනටියේ වේදනාව වැනි මෙකී නොකී බොහෝ වේදනාවල් දැනෙන්නේ සිරුර මෙසේ රාත්‍රියේ ආරම්භ කළ වැඩ කොටස ඒ වන විටත් නවත්වා නොතිබීම නිසාය. නමුත් අප අවදි වී මඳ වේලාවකින් පසු ඛණ්ඩරාවේ කැඩුණු කෙඳි සකස් කිරීම සිරුර මගින් නතර කරයි. ඒ අනුව අපට එම වේදනාවන් දැනීම ද නතර වනු ඇත.
උදෑසනට දැනෙන මෙවැනි වේදනාවන්වලදී බොහෝ දෙනෙක් කරන්නේ තෙල් සහ නොයෙකුත් ආලේපන වර්ග ගල්වා තදින් සම්බාහනය කිරීම හෝ උණු දියෙන් තැවීම ය. නමුත් මේවා වේදනාවන් සමනය වීමට හේතුවක් වන්නේ නැත. එනිසා වේදනාව දැනෙන විට කළ යුත්තේ එය ඉවසා ගෙන මඳ වේලාවක් විවේකීව සිටීම ය.
නමුත් ඛණ්ඩරාවේ කැඩී බිඳී ගිය කෙඳි නැවත සකස් කිරීමට නම් විවේකීව ඇඳක් මත දිගා වී සිටිය යුතු වෙයි. ඔබ විවේකීව පුටුවක් මත සිටියොත් එවැනි ප්‍රතිසංස්කරණයන් සිදු වන්නේ නැත. පුටුවක් මත වාඩි වී සිටීමේ දී අපගේ කොඳු ඇට පෙළ ඒ දෙපස තිබෙන මාංශ පේශීන් මගින් තදකර අල්ලා ගෙන සිටී. එවන් විටෙක මාංශ පේශීන් ලිහිල් වීමක් සිදු වන්නේ නැත. මන්ද, මාංශ පේශීන් සිටින්නේ කිසියම් කාර්යයක නිරත වී ගෙන බැවිනි.
මෙවැනි වේදනාවන්ට ප්‍රතිකාර ගැනීමෙන් පලක් වන්නේ නැත. මෙසේ ඛණ්ඩරාවල කුඩා කෙඳි කැඩී බිඳී යාමට විවිධ හේතු බලපායි . අපගේ සන්ධිවලට ඔරොත්තු නොදෙන බරක් දිනපතා එසවීම, වයසට ඔරොත්තු නොදෙන සේ අපේ ශරීරය තරබාරු වීම මේ අතරින් ප්‍රධාන ය. එසේම අප දිනකට බොහෝ වේලාවක් වැරදි ඉරියව්වලින් වාඩි වී සිටීම සහ වැරදි ඉරියව්වලින් හිඳිමින් නොයෙකුත් වැඩ කිරීම ද අපගේ අස්ථිවල චලනයන් වැරදි අන්දමට සිදුවීම සඳහා බලපානු ඇත. නිදසුනක් ලෙස අප පුටුවක වාඩි වී කිසියම් කාර්යයක නිරත වන විට කොඳු ඇට පෙළ කෙළින් තබා ගෙන පුටුවේ වාඩි වී සිටිය යුතුය. මෙලෙස වැරදි ඉරියව්වෙන් බොහෝ වේලාවක් සිටීමෙන් අපගේ මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය වැරදි ආකාරයට සිදු වීම ඛන්ඩරාවල කෙඳි කැඩී යාම සඳහා හේතු වනු ඇත.
මේ අනුව පැහැදිලි වන්නේ අප එදිනෙදා කරනු ලබන සෑම කාර්යයකදීම නිවැරදි ඉරියව් භාවිතා කරන්නේ නම් රාත්‍රියේ දී සහ උදය කාලයේදී අපේ සිරුරට දැනෙන විවිධ වේදනාවන් ද බෙහෙවින් අඩු වන බව ය. ඒ හැර මෙවැනි වේදනාවන්ට ප්‍රතිකාර ක්‍රම නැත.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා