සිරිත් පරිදි මෙවර ද අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම ජාතික මට්ටමේ ප්‍රවෘත්තියක් බවට පත් ව තිබේ.නමුත් අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම සැමට එක සේ වැදගත් වන ප්රවෘත්තිමය වටිනාකමක් සහිත කාරණයක් වන්නේ කෙසේද? යන්න පිළිබදව පැහැදිලිතාවක් නැත. මන්ද යත් එහි කිසිදු ප්රවෘත්තිමය වටිනාකමක් නොමැති හෙයිනි. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම වැදගත් වන්නේ එයට පෙනී සිටි සිසුන්ට සහ ඔවුන්ගේ දෙමාපියන් සහ ඥාතී මිත්රාදීට පමණි.
නමුත් වර්තමානය වනවිට එයට ලැබී ඇත්තේ ජාතික මට්ටමේ ප්රචාරයකි. මා එසේ පවසන්නේ රාජ්‍ය මාධ්‍යවල පවා උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීම ප්‍රධාන පුවත ලෙස ප්‍රචාරය කළ බැවිනි.මීට දශක කිහිපයකට පෙර නොපැවැති මේ තත්වය කෙමෙන් ප්‍රවර්ධනය වූවක් බව අප රටේ සෑම වැඩිහිටියකුම දන්නා කරුණකි.
මෙය උසස් පෙළ විභාගය සදහා පමණක් නොව, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ද, අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ද ඒ ආකාරයෙන්ම බලපාන තත්වයකි. ඒ එකී විභාග තුනෙහිම ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රධාන සිරස්තලයක් සහිත ප්‍රවෘත්තියක් බවට පත් කර ඇති බැවිනි. මෙය යම් ආකාරයක නිෂේධනීය තත්වයකි. මෙමගින් සමාජයට සිදුවන හානිය පිළිබදව කිසිදු වගකිව යුතු පුද්ගලයෙකුට නිනව්වක් නැති ආකාරයක් දක්නට තිබේ. විභාග ප්‍රතිඵල මේ ආකාරයට “අණ බෙර ගසා” නිකුත් කිරීමෙන් දරුවාගේ මනැසට විභාග පිළිබඳ නිෂේධනීය අදහසක් ඇතුළු වේ. එනම් මෙම විභාග තුන මගින් සිය අනාගතය තීරණය වන්නේ ය යන වැරදි ආකපය දරුවන් තුළ ඇති වීමයි.නමුත් එය ප්‍රායෝගික සත්‍යයක් නොවේ.
සත්‍යය නම් පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ දරුවන් සියල්ලන්ම සාමාන්‍ය පෙළ ඉහළින් සමත් නොවීම ය එසේම සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වන සියල්ලන්ම උසස් පෙළ ඉහළින් සමත් වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබන්නේ ද නැත. සාමාන්‍ය පෙළ සමත් වූවන්ගෙන් සියයට 20 ක් වත් උසස් පෙළ සමත් වන්නේ නැත. උසස් පෙළ සමත් ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන සිසුන්ගෙන් උපාධිය නියමිත පරිදි සම්පූර්ණ කර උපාධිධාරීන් ලෙස විශ්ව විද්‍යාලයෙන් පිට වන්නේ ද යම් ප්රතිශතයකි.එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල සහ උපාධි ප්‍රතිඵල අතර ද බරපතල විෂමතා තිබේ.
මේ නිසා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වීම, සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වීම හෝ උසස් පෙළ ඉහළින් සමත් වීම ජීවිතය සම්බන්ධ තීරණාත්මක සාධකයක් බවට දරුවන් තුළ මතයක් ඇති කිරීම ඔවුන්ගේ මානසික අසමතුලිතතාවට හේතුවකි.
ජීවිතය සාර්ථක කර ගැනීම සදහා පාසැල් අධ්‍යාපනය ලැබීම සහ ඉහත කී විභාග ඉහළින් සමත් වීම අනිවාර්ය යැයි දරුවන් තුළ සිතිවිල්ලක් ඇති කිරීම ඔවුන්ගේ අනාගතයට විශාල හානිදායක තත්වයකි. මෙකී විභාග සමත් නොවුණ ද ජීවිතය දිනා ගැනීම සඳහා වන ඕනෑ තරම් ක්ෂේත්‍ර ඇති බව ඔවුන්ට පැහැදිලි කරදෙනු මිස විභාග ප්‍රතිඵල පිටවීම උණුසුම් ප්රවෘත්ති බවට පත් කරමින් මාධ්‍යවල ප්‍රචාරය කිරීම දියුණු රටවල කිසිසේත්ම සිදු වන්නේ ද නැත. ඉන් සිදු වන්නේ ළමා මනස තුළ අනවශ්‍ය ලෙස තරඟය කුළු ගැන්වීම පමණි. එමගින් ඔවුන්ට සිදුවන කිසිදු යහපතක් ද නැත.
වත්මන් ලෝකයේ විභාග සමත් වීම හැරුණු විට සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා ඕනෑතරම් ක්‍රම තිබේ. යමෙකු පාඩම් කිරීමට අකමැත්තක් දක්වන්නේ නම් ඔහු වෙනත් වෘත්තීය පුහුණු ක්‍රමයකට යොමු කිරීමෙන් එකී ක්ෂේත්රයේ නිපුණ පුද්ගලයෙකු බවට පත් කිරීමට හැකි බව පළමුව තේරුම් ගත යුතු වන්නේ දෙමාපියන් විසිනි. තම දරුවා විභාග සමත් වීමෙන් ලැබිය හැකි උසස් රැකියාවක් සදහා යොමු කිරීම තරමටම විභාග තරයෙන් මිදී ඔහුට ළගා විය හැකි උසස් රැකියාවලට යොමු කිරීමේ වගකීම ද ඇත්තේ ඔවුන් සතුව ය.අද වන විට ලෝකයේ අධ්‍යාපනය තුළ පවත්නා විවිධාංගීකරණ ස්වරූපය තවමත් අප රටට සම්ප්‍රේෂණය වී නැත.එසේ වූයේ නම් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග මුල් කොට මෙතරම් කලබැගෑනියක් ඇති වන්නේ නැත. මෙම තත්වය යටතේ, මෙකී විභාගවලින් දිවයිනේ පළමු, දෙවන සහ තුන්වන ස්ථාන දිනාගත් දරුවන්ගේ පාසැල් පිළිබදව මාධ්‍යවලින් ප්‍රචාරය කිරීම ද යුක්ති සහගත නොවේ. මන්ද යත් එසේ පාසැල්වල නම් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් එවැනි පාසල් සදහා දෙමාපියන් තුළ ඇති ඉල්ලුම වර්ධනය වන්නා සේම එවැනි පාසලක ඉගෙන ගැනීමට නොහැකි වූ දරුවන් තුළ ඉච්ඡා භංගත්වයක් ඇති වීමට පවා ඉඩකඩ පැවතීම ය.
ස්විට්සර්ලන්ත මනෝවිද්‍යාඥයෙකු සහ ජාන විද්‍යාඥයකු වූ Jean Piaget ළමා කාලය පුරාවටම දරුවන් බුද්ධිමය වශයෙන් වර්ධනය වන ආකාරය අධ්‍යයනය කර සංජානන වර්ධනය පිළිබඳ න්‍යායයන් ඉදිරිපත් කර තිබේ. Piaget ඔහුගේම දරුවන් තිදෙනාගේ බුද්ධිමය වර්ධනය අධ්‍යයනය කළ අතර බුද්ධිය සහ විධිමත් චින්තන ක්‍රියාවලීන් වර්ධනය කිරීමේදී ළමයින් පසුකර යන අවධීන් විස්තර කරන න්‍යායක් ඉදිරිපත් කොට ඇත.
උපතේ සිට වයස අවුරුදු 16 පමණ වන කාලය දක්වා දරුවන් ඔවුන්ගේ චලනයක් සහ සංවේදනයන් හරහා ලෝකය හදුනා ගන්නා ආකාරය ඔහු සිය පර්යේෂණය මගින් විස්තර කර තිබේ.
ඔහු මෙකී අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ ද ළමා කාලයේ දී දරුවන්ගේ මනසට, ඔවුන්ට දරාගත නොහැකි පීඩනයන් එල්ල කිරීම මගින් අනාගතයේ සිදුවිය හැකි දරුණු විපාකයන් පිළිබඳව ය. මේ අතර ඉහත සඳහන් විභාගයකින් ඉහළින්ම සමත් වන දරුවන් සම්බන්ධයෙන් දෙමාපිය වැඩිහිටියන් තබා ගන්නා දහසකුත් එකක් බලාපොරොත්තු පසුකාලීනව දරුවා තුළ මානසික ආතතියක් නිර්මාණය කිරීමට ද සමත් විය හැක.ඒ අනුව කවර කරුණක් මත හෝ ඉදිරි විභාගයක දී අපේක්ෂිත ඉලක්කය ග්‍රහණය කර ගැනීමට නොහැකි වීම මත දරුවා තුළ ඇතිවන ඉච්ඡා භංගත්වය මානසික බිඳ වැටීම සුළු පටු නැත.මෙය ද සැමගේ අවධානයට යොමු විය යුත්තකි.
දුලංජලී මුතුවාඩිගේ