ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සඳහා ආනයනය කරන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31 න් පළමු තොගය ඊයේ (19) රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1156 ගුවන් යානයෙන් ඉන්දියාවේ සිට කටුනායක ගුවන්තොටුපොලට රැගෙන ඒමට නියමිතව තිබිණ.
මීට අමතර ව ඉදිරි සතිය තුළ පමණක් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ පහක් ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ සිට රැගෙන එන මෙම දියර පොහොර තොගය අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බවද ලේකම්වරයා කියයි.
ඔහු පවසනුයේ පරිසර හිතකාමී කෘෂිකර්මයක් සඳහා වූ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල යටතේ මෙවර මහ කන්නයේ වී ගොවිතැන හා අනෙකුත් බෝග සියල්ලට කාබනික පොහොර භාවිතා කීරිමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන බව ය.
ඉන්දියාවේ සිට ලංකාවට රැගෙන එන මෙම විශේෂිත පොහොර ලෝකයේ දියුණුම නැනෝ තාක්ෂණය භාවිතා කොට නිෂ්පාදනය කර ඇති බව ද මෙය පරිසර හිතකාමි ඉහළ සාර්ථකත්වයක් පෙන්වා ඇති පොහොරක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කරයි.
තව ද ඉන්දියාවේ IFFCO ආයතනය මඟින් නිපදවන ලද මෙම පොහොර ලෝකයේ උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් ලෙස පිළිගෙන ඇති බව ද පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට මෙම පොහොර තොගය කඩිනමින් ලබා දීමට මැදිහත් වීම පිළිබඳව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට හා ඊට සම්බන්ධ වූ සියලු පාර්ශවයන්ට කෘතඥතාව පළ කරන බවද කීය.
වත්මන් රජය දේශපාලනික වශයෙන් ප්‍රබල පසුගැන්වීමකට පත් වීමට ගොවි තැනට අවශ්‍ය පොහොර ගොවීන්ට සපයා දිය නොහැකි වීම හේතු වී ඇති බව චිර ප්‍රසිද්ධ රහසකි.ඒ අනුව තම අවාසිය වාසියක් බවට පත් කර ගත හැක්කේ ගොවීන්ට පොහොර ලබා දීමේ දී “විප්ලවීය වෙනසක්” කළහොත් පමණක් බව රජය වටහා ගෙන තිබේ.
ඒ සඳහා රජය තෝරා ගත් “ඇලඩින් ගේ පුදුම පහන” නැනෝ තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය කරන ලද ‘නැනෝ – නයිට්‍රජන්’ පොහොරයි. මෙය පොහොරක් ලෙස හඳුන්වනු ලැබුව ද සැබවින්ම මෙය පත්‍රවලට ඉසිය හැකි ලෙස නිෂ්පාදනය කරන ලද දියරයකි. ශාකයකට අවශ්‍ය පෝෂණය මුල්වලට වඩා හොඳින් ශාකයේ පත්‍ර සහ කඳෙන් අවශෝෂණය කරගත හැකි බව පැවසේ.
නැනෝ තාක්ෂණය යනු ලොකු වැඩක් අඩු ප්‍රමාණයක් ඔස්සේ සිදුකරගත හැක්කක් නිසා සාමාන්‍ය පොහොර භාවිතයට වඩා අඩක් යොදාගැනීමෙන් පොහොර අවශ්‍යතාව සපුරාගත හැකි බව ද පැවසේ. එබැවින් නැනෝ – නයිට්‍රජන් පොහොර අවශ්‍ය වන්නේ ද කලින් භාවිත කළ පොහොරවලට වඩා අඩු ප්‍රමාණයකි.
නැනෝ – නයිට්‍රජන් යනු ලොව පළමුවරට නිපදවන ලද “ස්මාර්ට්” වර්ගයේ පොහොරක් බව පැවසේ. එය නිපදවනු ලබන්නේ ඉන්දියාවේ ‘ඉන්දීය ගොවි පොහොර සමුපකාර සීමිත සමාගම’ (Indian Farmers Fertilliser Limited)හෙවත් IFFCO සමාගම මගිනි.
මෙය 1967 වසරේ ආරම්භ කරන ලද සමුපකාර සමිතියකි. අප රටේ සමුපකාර ව්‍යාපාරය සමග සැසඳීමේ දී සමුපකාර සමිති ව්‍යාපාරයක් ජාත්‍යන්තර වශයෙන් පොහොර අළෙවි කරන සමාගමක් බවට පත්වීම ද එක් අතකින් පැසසිය යුතු කරුණකි.
අප රටේ නම් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවයට අනුව මෙවැනි සමුපකාර සමිති වැඩ කටයුතු කරන්නට ගොස් බොහෝ ඒවා විනාශ වූ ආකාරය පිළිබඳ සාක්ෂි ඕනෑතරම් සොයාගන්නට තිබේ.
‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත මේ නැනෝ-නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය පිළිබඳ පළමුවරට 2021 ජුනි මාසයේ දී ප්‍රවෘත්තියක් පළකරමින් පවසා සිටියේ වගාබිම් 11,000 ක බෝග වර්ග 94 ක් මත යොදා අත්හදා බැලූ බව ය.
එයින් අස්වැන්න 8% කින් වර්ධනය වූ බව ද සඳහන් ය. නමුත් ඒවා කුමන බෝග ද යන්න සඳහන් කොට නැත. උදාහරණ ලෙස ද බෝග කිහිපයක් හෝ සඳහන් කිරීමක් ද දක්නට නැත.මෙය ඉන්දීය සමස්ත බෝග වගාවෙන් සොච්චමක් පමණි.එමෙන්ම කෙතරම් කාලයක් මේ පිළිබඳ පර්යේෂණ පැවැත්වූයේ ද යන්නක් ද එහි සඳහන් කොට නැත.
මේ පොහොර පිළිබඳ පර්යේෂණ පවත්වා, ඒවා නිපදවා තව වසරකට වැඩි කාලයක් ද ගත වී නැත. එබැවින් මේ ආනයනය කරන්නේ සම්පූර්ණ වශයෙන්ම අත්හදා බලන ලද පොහොරක් ද යන්න පිළිබඳ පැහැදිලි නැත.
එසේ පැහැදිලි කාරණයක් නැති පොහොරක් අප රටේ බෝගවලට කෙතරම් දුරකට ගැලපෙනවා ද කියා සොයා බැලීමක් නොමැතිව ආනයනය කිරීම කෙතරම් දුරකට නුවණට හුරු ක්‍රියාවක් ද යන්න ගැටලුවකි.
සාමාන්‍යයෙන් අප නොදන්නා, නවතම පොහොරක් භාවිතයට ගන්නේ නම්, එයින් නියැදියක් ගෙනැවිත්, තෝරාගත් කෘෂි බෝගවලට යොදා අත්හදා බැලීමකට යටත් කිරීම සාමාන්‍ය සිරිත වේ.ඒ සඳහා යම් කාලයක් ගත වෙයි.
නමුත් පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන ගොවීන්ගෙන් රජයට ලැබෙන පීඩනය වහා සමනය කරගැනීමට සිතන රජය එවැනි අත්හදාබැලීමකින් තොරව මේ “ඇලඩින්ගේ පුදුම පහන”හෙවත් නැනෝ – නයිට්‍රජන් පොහොර ආනයනය කිරීට තීරණය කොට තිබේ.
එය කෙතරම් ද යත් අප රටේ වී වගා කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 8 ක් වුව ද හෙක්ටයාර ලක්ෂ 9 කට අදාළ පොහොර ගෙන්වීමට තීරණය කොට තිබේ.
අතිරේකව ගෙන්වා ඇත්තේ වෙනත් බෝග වර්ග සඳහා බව රජය පවසයි. නමුත් එයින් පෙනෙන්නේ මේ පොහොර වර්ගය අපට යෝග්‍ය වුව ද නැති වුව ද එය ගොවීන්ගෙන් එල්ලවන දැඩි පීඩනය සමනය කරගන්නට නම් යෝග්‍ය විසඳුමක් ලෙස රජය සිතන බවකි.
මෙය සාර්ථක ප්‍රතිඵල ගෙන දුනහොත් එය වඩාත් සතුටුදායක කාරණයක් වනු ඇත. එසේ නොවුණහොත් ගොවියා සමඟ මුළු රටම මීටත් වඩා ලෝක අමාරුවක වැටෙනු ඒකාන්තය.
නිරංජන් චාමින්ද කරුණාතිලක