ඔබේ නිවහන අද්දරටත් කුරුළු පොකුණක්

ඔබේ නිවහන අද්දරටත් කුරුළු පොකුණක් නවීන සමාජයේ බොහෝ දෙනෙක් ගෙඋයන් අලංකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වති.ඒ අතරේ නිවසේ දීම යෙදිය හැකි පහසු සරල විනෝදාංශ පිළිබඳව ද සමහරකු උනන්දුවක් පළ කරනු පෙනෙයි.

මේ අතර සතුන්ට කරුණාව දැක්වීම සම්බන්ධයෙන් නූතන තරුණ පෙළ අතරේ පෙර නොවූ විරූ උනන්දුවක් ඇති වී තිබේ.මේ සියළු කණ්ඩායම් වලට එක සේ ගැළපෙන කදිම ක්‍රියාකාරකමක් අපි ඔබට හඳුන්වා දෙමු.එනම් ඔබේ නිවහන අද්දර කුරුළු පොකුණක් තනා ගැනීම ය.

අප මෙය කුරුළු පොකුණක් ලෙස හැඳින්වුව ද එය ජාත්‍යන්තර වශයෙන් නම් කෙරුනුයේ කුරුළු ස්නානය ( birdbath ) යනුවෙනි.කුඩාවට තැනූ නොගැඹුරු කෘත්‍රිම පොකුණක් වන අතර එය ජලයෙන් පිරුණු සිමෙන්ති හෝ ලෝහ බඳුනකින් වුව සාදන ලද අතර කුරුල්ලන්ට පානය කිරීමට, ස්නානය කිරීමට සහ සිසිල් වීමට වුවමනා ජල ප්‍රමාණයක් එහි තිබිය යුතු ය.

උද්‍යාන ආභරණයක්, තටාකයක්, එළිමහන් මූර්තියක් සේම පාරිසරික උද්‍යානයක කොටසක් ලෙස මෙය නිර්මාණය කිරීමේ හැකියාව ඔබ සතු වනු ඇත.විශේෂයෙන් උනුසුම් ගිම්හාන කාලවල දී ඔබේ ගෙවත්තේ තුරු සිසිල සොයා එන විවිධ පක්ෂීන් විශේෂ ආකර්ෂණය කර ගැනීමට ඔබේ නිවහන අද්දර කුරුළු පොකුණ සමත් වනු ඇත.

වසර පුරා අඛණ්ඩව ජලය සපයන මූලාශ්‍රයක් මීට එක් කළ යුතු අතර දිනපතා මීට ජලය එක් කිරීම ඔබ සතු වගකීමක් වනු ඇත.මේවා තද හිරු එළිය නොවැටෙන ගස් කොළන් සහිත සෙවන සහිත ස්ථාන වල තැබිය හැක. බඳුන් ලෙස ගස් අතුවල එල්ලා තැබිය හැකිය, නැතහොත් ගෙවුයනනේ කැටයම් කළ ගල් සහිත ස්ථානයක සකස් කළ හැකිය.

කුරුළු ස්නානය සඳහා සකසන ඔබේ නිවහන අද්දර කුරුළු පොකුණ බළලුන්ගේ ගොදුරු බිමක් නොවන තැනක සැළසුම් කිරීම් කිරීම සඳහා සුදුසු වටපිටාව; පිරිසිදු සහ අලුත් කරන ලද නැවත පිරවූ ජලය; සහ එම ජලය අපවිත්‍ර වීම වැළැක්වීම සහ මදුරුවන් වැළැක්වීම සඳහා දිනපතා පිරිසිදු කිරීම අනිවාර්ය වේ.

මෙම කුරුළු පොකුණක ජලයේ ගැඹුර විය යුත්තේ අඟල් දෙක තුනකි.තැනූ මුල් යුගයේ ඔබේ නිවහන අද්දර කුරුළු පොකුණ සඳ එක් වන කුරුල්ලන් සීමිත වුව ද කෙටි කලක දී එහි පැමිණෙන සහ ඔබේ ගෙවත්තේ ලැගුම් ගන්නා කුරුල්ලන් වර්ග සහ කුරුල්ලන් සංඛ්‍යාව කෙමෙන් ඉහළ යනු ඇත.

ඔබේ ඔබේ නිවහන අද්දර කුරුළු පොකුණ මුල් කොට ගෙවත්තට පැමිණෙන කුරුල්ලන් මුල් කොට ඔබේ කුඩා දූ පුතුන්ගේ මානසික සංවර්ධනයට ලැබෙන ඉඩ-කඩ ද සුළු පටු නොවන බව විශේෂයෙන් කිව යුතුය.සතුන් ගේ ජල අවශ්‍යතා සඳහා පැන් පොකුණු තැනවීම පෙර අප රටේ රාජකීයයන්ගේ සිට අහිංසක ගැමි ජනතාව තෙක් සිදු කළ මහඟු කාරියකි.

වර්ෂ 1830 ගණන් වලදී එක්සත් රාජධානියේ උද්‍යාන නිර්මාණ සමාගමක් වන ඒබ්‍රහම් පුල්මන් සහ පුත්‍රයින් විසින් බටහිර රටවල ජනතාවට මෙම කුරුලු පොකුණු හඳුන්වා දුන් බව පැවසෙයි.

දැනට අප රටේ බොහෝ ප්‍රදේශවලට බලපාන වියළි කාලගුණික තත්වය ලබව මාර්තු තුන් වන සතියෙන් ඇරඹෙන අන්තර් මෝසම් වර්ශාවත් සමඟ නිමාවනු ඇත.එබැවින් ඊට පෙර මෙම කාරියට අත ගසන ඔබට ඉන් ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙනු ඇත.

අප රටේ බොහෝ විසිතුරු පැල සහ උද්‍යාන උපකරණ අලෙවි කරන ස්ථාන වල birdbath නමින් විවිධ හැඩ වල,විවිධ මාදිලි වල සහ විවිධ ප්‍රමාන වල මෙම කුරුලු පොකුණු අලෙවි කෙරන බැවින් ඔබේ අභිමතය අනුව මේවා මිලට ගන්නට ඔබට පුළුවන.

දමයන්ති ගමගේ

සතුන්ටත් හිමි අපේ ලෝකය