ඔබේ රුධිරයේත් “සීනි ප්‍රශ්නයක්” තිබේ ද?

“සීනි ප්‍රශ්නය යන්නට ව්‍යවහාරික තේරුම් දෙකක් තිබේ.ඉන් එකක් වෙළඳ පළේ සීනි හිඟකම හෝ මිල වැඩි කමය.අනෙක් සීනි ප්‍රශ්නය වනුයේ අපගේ රුධිරයේ සීනි සංයුතිය ඉහළ යාමය.කටට පැණි රස දෙයක් ගැනීමට අකමැති කෙනෙක් නැති තරම් ය. නමුත් මේ තරම් රස ආහාර ශරීරයට විෂ විය හැකි දිනයක් අප කාට වුව එළඹෙන්නට බැරිකමක් නැත. මෙම තත්ත්වය හඳුන්වන්නේ දියවැඩියාව ලෙසිනි . අද වන විට සෑම මිනිසුන් දහදෙනෙකුට එක් අයෙක් දියවැඩියා රෝගියෙකි.

අප ආහාරයට ගන්නා පැණි රස සෑදී තිබෙන්නේ ග්ලූකෝස් නම් සරල සීනි වර්ගය තවත් සීනි වර්ගයක් සමග එකතු වීමෙනි . ආහාර දිරවීමෙන් පසු මෙම ග්ලූකෝස් කුස තුළ දී මුදාහැරෙන අතර එය ලේවලට එකතුවී ශරීරය පුරා ගමන් කරනු ලැබේ. මෙසේ ලේ වලට එකතු වන්නේ ශරීරය නඩත්තු කිරීම සඳහා ය. වාහනයක් ඉන්ධනවලින් ගමන් කරන්නාක් මෙන් අපේ ශරීරය ක්‍රියා කරන්නේ ග්ලූකෝස් නම් සීනි වර්ගයේ අඩංගු ශක්තියෙනි. ලේවල සීනි බලනවා කියා බලන්නේ මේ සඳහන් කරන ලද ග්ලූකෝස් නම් සීනි වර්ගයයි. ශරීරයේ ලේවල මෙය සාමාන්‍ය මට්ටමක නිරන්තරයෙන් පැවතිය යුතු ය. තිබිය යුතු මට්ටමට වඩා අඩුවුවහොත් දහඩිය දැමීම, කුසගින්න, ඇඟිලි වෙව්ලීම ඇතිවන අතර විශාල ප්‍රමාණයක අඩුවීමක් සිහිසුන් වීමක් බවට පත් විය හැකිය.

උදේ අවදි වී කිසිදු ආහාරයක් හෝ පානයක් නොගෙන සීනි මට්ටම පරීක්ෂා කළහොත් එය තිබිය යුත්තේ 100 සීමාව තුළ ය. අප ආහාර ගන්නා විට ආහාරවල පෝෂණය නිසා ලේවලට තව තවත් මෙම ග්ලූකෝස් එකතු වීමෙන් ලේවල සීනි මට්ටම ඉහළ යාමේ හැකියාව ඇත. නමු⁣ත් දියවැඩියාව නොමැති නිරෝගී කෙනෙකුගේ මෙසේ ආහාර ගත් විට සීනි මට්ටම ඉහළට යන්නේ 140 සීමාව දක්වා පමණි . කොයි තරම් ආහාර ගත්තත් මීට වඩා එය උඩට යන්නේ නැත . නමුත් දියවැඩියා රෝගීන්ගේ මෙය 126 පසුකර ඉහළ අගයක් ගත හැකි ය. සමහර දියවැඩියා රෝගීන් අප වෙත එන විට 200 , 300 ඇතැම් විට 500 සීමාව ද පසුකළ හැකිය.

ලේ පරීක්ෂා කිරීම සඳහා හදිසියේ ලේ ලබා ගැනීම ඇඟිල්ලෙන් සිදු කළත් වඩාත් සුදුසු ක්‍රමය වන්නේ වැලමිට ප්‍රදේශයෙහි ඇතුල් පැත්තේ නහරයකින් ලේ ලබා ගැනීම ය.

ලේවල සීනි ඉහළ යන විට මුලදී රෝගියාට කිසිවක් දැනගන්නට ලැබෙන්නේ නැත . නමුත් 180 සීමාව පසු කරන විට සීනි මුත්‍රාවලට එකතුවීම ආරම්භ වේ. සීනි, මුත්‍රා සමඟ පිට වන්නේ කැට ලෙස නොව ජලයේ දිය වීමෙන් පසුව ය. මෙහි අරුත නම් සීනි පිටවන ලෙසම ජලය ද වැඩිපුර පිටවීම සිදුවන බවයි. එනම් රෝගියාට නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීමය. රාත්‍රී එළිවන තුරා වාර ගණනාවක් නින්ද කැඩෙන්නේ මුත්‍රා පහ කිරීමට සිදුවන නිසා ය.

මේ අයුරින් ශරීරයේ ඇති වතුර විශාල ප්‍රමාණයක් මුත්‍රා ලෙස පිටවීම නිසා ශරීරය වියළී යයි. මේ හේතුව මත දැඩි පිපාසයක් , තොල කට වියළෙන බවක් දැනෙන්නට පටන් ගනී. ගමනක් ගියත් වතුර බෝතලයක් නැතිව බැරි ය. තිබිය යුතු ප්‍රමාණයට වඩා ලේවල සීනි එකතු වී පැවතීම නිසා කලක් ගත වන විට ශරීරයේ විවිධ ස්ථානවලට මාරාන්තික ප්‍රතිඵල ගෙනදෙන්නේ නොසිතූ විරූ අයුරින් වීමට පුළුවන . හෘදයාබාධයක් ඇති කරවන්නට, අංශභාගය නැමැති රෝගය ආරම්භ වීමට දියවැඩියාව මග පාදනු ඇත. මීට අමතරව වකුගඩු අකර්මණ්‍ය වීම, ඇස් නොපෙනී යාම , පාද අහිමි වීම, දියවැඩියා විසින් රෝගියකුව රැගෙන යන වේදනාවෙන් පිරි කාලපරිච්ඡේදයක් විය හැකිය. විවිධ විෂබීජ ආසාදනයන්ට ලක්වීම , අත් කකුල් හිරිවැටීම, ලිංගික බෙලහීනතාවය, දියවැඩියාව සමග එකට බැඳුණු තවත් කරදර ගණනාවකින් කීපයක් පමණි. කිසිම ප්‍රතිකාරයක් නොමැතිව නිරුපද්‍රිතව දිගටම නිදහසේ හුස්ම ගන්නට දියවැඩියාව කිසිවකුටත් ඉඩ දෙන්නේ නැත . ප්‍රතිකාර මඟින් ලේවල සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමක තබා ගැනීමට වෛද්‍යවරුන්ගෙනුත්, රෝගියාගේ පවුලේ අනෙකුත් අයගෙනුත් නිබඳව සහයෝගය ලැබිය යුතු වෙයි. නමුත් අවසාන සම්පූර්ණ පාලනය ඇත්තේ ඔබගේ අතේ ය.

සීනි කොතරම් හොඳ මට්ටමක තබා ගත්තත් සියල්ල මෙයින් අවසන් කළ නොහැකි වීම කනගාටුවට කරුණයි. සමහර කරදර වැළැක්විය නොහැකි තත්ත්වයේ ඒවා විය හැකිය. මේ නිසා කළ හැකි එකම දෙය, දියවැඩියාව අප කරා එන්නට ප්‍රථම හැකි අයුරින් වැළකී සිටීමය . මේ සඳහා ගත හැකි සරල ක්‍රියාමාර්ග නම් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, උසට සරිලන බරක් පවත්වාගැනීම, නිරන්තර ව්‍යායාම වල නිරත වීම, සැහැල්ලු මානසික මට්ටමක් පවත්වා ගැනීම, සරල දිවි පෙවෙතකට හුරු වීම වැනි දෑ ය.

නමුත් ඒවා නිසා ජීවිතයේ තමන් තුළ ඇති විවිධ බලාපොරොත්තු, මිල මුදල්, බලය, ධනය තමා වෙතින් ගිලිහී යා හැකි යැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් ඒවා අහිමි වුවත් අප ඉහත සඳහන් කළ වේදනාවෙන් පිරි ජීවිතය කරා ඔබ ගමන් කරන්නේ නැත්නම් වඩා වැදගත් වන්නේ එය නොවේද? යමක් සිදු වූ පසු තමන් උපයාගත් සියලු ධනය වැය කළත් නිරෝගී ශරීරයක් කවදා ලබන්නද?

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

විනිවිද සායනය