මිනිස්සු මේ ලෝකයට ඉපදෙන්නෙ හොඳ මිනිස්සු විදිහටද නැත්තං නරක මිනිස්සු විදිහටද?
මොකක්ද ඔබේ අදහස?
ඈත අතීතයේ ඉඳලම දාර්ශනිකයෝ ,විද්‍යාඥයෝ, මනෝ විද්‍යාඥයෝ, ආගමික නායකයෝ වැනි බොහෝ වියතුන් ඔය ප්රශ්නය ගැන හිතලා තියනවා, කතා කරලා තියනවා, වාද විවාද කරලා තියෙනවා, පරීක්ෂණ කරලා තියෙනවා . අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.
ඇරිස්ටෝටල් කියන ග්‍රීක දාර්ශනිකයා කිව්වේ බිලිඳෙක් ඉපදෙනකොට හොඳ හෝ නරක කියන දෙකටම නැති ස්වාධීනත්වයකින් ඉපදෙන්නේ කියලා.
“Give me a child until he is 7 and I will show you the man.”
වයස අවුරුදු හතකට කලින් දරුවෙකුව මට දෙන්න,ඔහු මොන වගේ මිනිහෙක් වෙයිද කියන එක මම පෙන්වන්නම් කියන එක තමයි මින් අදහස් වෙන්නේ.ඒ කියන්නේ හිතට අදහස් කැවීමෙන් පුද්ගලයකුගේ ජීවිත රටාව හොඳ හෝ නරක පැත්තට වෙනස් කරන්න පුලුවන් කියන එක.
සිග්මන් ෆ්‍රොයිඩ් කියන මනෝ විද්‍යාඥයා කිව්වේ ඉපදෙනකොට බිලිඳකුගේ මනස කිසිවක් ලියපු නැති සුදු කඩදාසියක් වගේ කියලා .
මිනිසා වසලයෙක් වන්නේ උපතින් නොව ඔහුගේ ක්‍රියා පටිපාටිය අනුවයි යනුවෙන් බුදුන් වහන්සේ වදාළ උත්තරීතර අදහසත් ගොඩක් වටිනවා මේ පිළිබඳව කථා කරද්දී.
අපි ඉන්න මේ සමාජය දිහා බලපුවාම නම් අපට පේනවා ඉපදෙනකොට කොහොම හිටියත් ඔය හොඳයි නරකයි කියන දෙවිදිහෙම මිනිස්සු මේ ලෝකේ ඉන්න බව.
මේ ලෝකයේ හරි හොඳ අවංක , ආදරණීය මිනිස්සු ඉන්නවා. ඒගොල්ලො ගැන බයවෙන්න දෙයක් නෑ. ඒගොල්ලො නිහඬව ලෝකය ලස්සන කරනවා ,යහපත් තැනක් බවට පත් කරන්නට උත්සාහ ගන්නවා.
ඒත් මේ ලෝකෙ අසාධාරණ කුහක නීච මිනිස්සුත් ඉන්නවා. බොහෝවිට වැඩි හරියක් ඉන්නේ ඒ වගේ අනිත් මිනිසුන්ගේ ජීවිත වලට දුක් කරදර හිත් වේදනා එකතු කරන අය.
අර අතලොස්සක් හරි හොඳ මිනිස්සු, අවංක මිනිස්සු මේ ලෝකෙ ඉන්න නිසා තමයි මේ ලෝකෙ මෙහෙම හරි බේරිලා තියෙන්නෙ.
සමහර මිනිස්සු තිරිසනුන්ටත් අන්තයි.
තිරිසනුනන්ට ප්‍රතිපත්ති ගැන තේරුම්ක් නෑ. හොඳින් හරි, හොරකම් කරලා හරි, නරකින් හරි තමන්ගෙ බඩ පිරෙනවා නම් තිරිසනුනන්ට ඒ ටික ඇති. හොඳ නරක තේරුම්ගන්න තිරිසනුන්ට පුළුවන් කමකුත් නෑ ඕනෑකමකුත් නෑ. සත්තුන්ට ඉතින් මොළයක් තිබුනට බුද්ධියක් නෑනේ.
ඒත් මොලයක් තියන, බුද්ධිය වඩාගන්න පුළුවන්කමකුත් තියෙන ‘ මිනිසා’ කියන සතා සමහර වෙලාවට හැසිරෙන්නේ , වැඩ කරන්නේ තිරිසනුන්ටත් අන්ත විදිහට. ඒකයි මේ තරම් මේ සමාජයේ මිනිස්සු දුක් විඳින්නේ. අසාධාරණයට ලක් වෙන්නේ.ඇති නැති පරතරය දික් ගැස්සෙන්නේ, ආගම් බේද ඇති වෙන්නේ, වංචාකාර විනාශකාරී ව්‍යාපාර බිහිවෙන්නේ,හොරකම් දූෂණ ඇති වෙන්නේ. මල පෙරේතයෝ වගේ වස්තු තණ්හාවෙන් දේපල ගොඩ ගහන්නේ. බල්ලො මරල හරි අනුන්ව විනාශ කරල හරි සල්ලි හම්බ කරන්න දඟලන්නේ.
අපි හැමෝටම ජීවිතේ සතුටින් වින්දනය කරන්න තියෙන අවස්ථාවන් විනාශ කරලා, විඳවන්න වැඩ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ මිනිස් වෙස් ගත් තිරිසන්නු නිසා.
ඔව් . සල්ලි වලට තිබෙන අසීමිත තණ්හාව නිසා ,දේශපාලන හෝ වෙනත්-නිල – බලතල වලට තියෙන අසීමිත කෑදර කම නිසා, ලිංගිකත්වයට තිබෙන අසීමිත ලොල් බව නිසා මිනිස්සු තිරිසන්නුන්ට අන්ත වෙලා තියෙන හැටි හිතාගන්නත් බැරි තරම් පුදුමයි.
ඊටත් වඩා පුදුම දේ තමයි සරුසාර ආගමික පරිසරයක් තියෙද්දී අපේ රටේ සමහර මිනිස්සු මේ වගේ තිරිසන්නු වුණේ කොහොමද කියන එක.
සමහර රටවල් වල ආගම් අදහන්නේ නැහැ . ආගමික නිදහස නැහැ, ආගමික පරිසරයක් නැහැ. මිනිස්සු නීති වලට විතරක් යටත්වෙලා රොබෝ වරු වගේ ජීවත් වෙන්නේ. මිනිස්සු සුහද නැහැ හිනා මූණක් නැහැ. කොටි වලස්සු වගේ ඇනකොටා ගන්නවා , නයි පොළොංගු වගේ දෂ්ඨට කරනවා. පලිගන්නවා .සමහරවිට හිතක් පපුවක් නැතිව මරා දමනවා.
අපේ රටේ සියයට අනූවකට වඩා ඉන්නේ මොකක් හරි ආගමක් අදහන මිනිස්සු. හැම ආගමකින්ම උගන්නන්නේ මිනිස්සුන්ට ආදරය කරන්න, ගෞරව කරන්න, එකිනෙකාට යහපත කරන්න, මෛත්‍රී කරන්න, දනට පිනට දෙන්න , වංචා කරන්න එපා, එක කම්මුලකට ගැහැව්වොත් අනිත් කම්මුල හරවන තරමට සමාව දෙන්න, යනාදී උත්තුංග ගතිගුණ.
ඒත් අද අපේ රටේ අධ්‍යාත්මික වටිනාකම් සීඝ්රයෙන් සෝදාපාළු වේගන යන බව පේන්න තියෙනවා.ගොඩක් මිනිස්සු විඳවන හිංසා පීඩා, ආර්ථික දුෂ්කරතාතා, සමාජයීය අසාධාරණකම් අපමණයි .
මේ තත්ත්වය ගැන මොනවද අපිට කරන්න පුළුවන්?
දේවල් තුනක් තියෙනවා :
1. ඔබ වෙනස් වෙන්න.
2. දූෂිතයන් බිහිවීමට ඉඩ තියන්න එපා.
3. දූෂිතයන්ගෙන් ප්‍රවේසම්වන්න.
අපි මේ කරුණු ගැන ටිකක් හිතල බලමු ද?
මේ පුංචි කතන්දරය අහන්නකෝ.
එක තරුණ යුවලක් එයාලගේ ගෙදර අත්උදව්වට ඉන්න කාන්තාව රෙදි සෝදලා වැලට දාන හැටි ජනෙල් වීදුරුවෙන් බලාගෙන හිටියලු.
“බලන්න අර ගෑනි හරියට රෙදි හෝදලා නෑ. සුදු පාට රෙදි සේරම අළු පාටට පේන්නේ”
අර තරුණ බිරිඳ සැමියාට කිව්වලු.
“ඒක තමයි. මේ ගෑනි මහා කම්මැලි ගෑනියෙක්.. හරියට වැඩක් කරන්න දන්නෑ. උඩින් පල්ලෙන් රෙදි හෝදලා තියෙන්නේ.. කුණු ගිහිල්ලා නැහැ”සැමියත් කිව්වලු.
ඊට පස්සේ දෙන්නම එක්තුවෙලා අර වැඩ කරන කාන්තාවට හොඳටම දොස් කිව්වලු.
අර කාන්තාව රෙදි කෑල්ලක් අරගෙන ගිහින් වීදුරු ජනේලෙ හොඳට පිහදැම්මලු.එකේ තිබිලා තියෙන්නේ පුදුමාකාර දූවිලි ගොඩක්.
පවිත්‍ර කළ වීදුරු ජනේලෙන් බලද්දි අර යුවල දැක්කලු වැලේ ඇඳුම් හොඳට සුදුවට බබළන හැටි . කිලිටු වෙලා තිබුණේ සුදු රෙදි නෙවෙයි එයාලගේ ජනේලෙ වීදුරුව.
මේ දේම අපටත් සිදු වෙන්න පුළුවන්. වැරදි ඇහැකින් බලන නිසා අනිත් අය කරන හරි දේ වුණත් වැරදි විදිහට අපිට පේන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ට වැරදි කිව්වට දූවිලි බැඳිලා තියෙන්නේ අපේම සිතුවිලි හෝ ගති පැවතුම්වල වෙන්න පුළුවන්.
ඒ නිසා දූෂිත වේදනාකාරී සමාජය ඒ තත්ත්වයෙන් ගොඩ ඒමට අපි කළ යුතු සහ කළ හැකි ලොකුම දෙය තමයි අපේම වැරදි ආකල්ප, වැරදි ගති පැවතුම්,තියනවනම් ඒවා හදාගන්න එක. දෙවනුව , සමාජය කිලුටු කරන, සමාජයටම වද දෙන, හිංසා පීඩා කරන දූෂිතයන් බිහි වෙන්න තියන ඉඩකඩ හැකි පමණින් වලක්වන එක ඔබේ යුතුකමක්.
මුලින්ම ඒක පටන් ගන්න ඕනේ ගෙදරින්.
දරුවන් බිහිකිරීම ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒත් ගුණගරුක යහපත් පුරවැසියන් ලෙස දරුවන් ඇති දැඩි කිරීම, මගපෙන්වීම විශාල වගකීමක්.
අද සමාජය උඩු යටිකුරු වෙලා. දෙමව්පියෝ දරුවෝ වෙලා දරුවෝ දෙමව්පියෝ වෙලා. යොවුන් වියට පත් දරුවෝ බොහෝ දෙනෙක් දෙමව්පියන්ව පාලනය කරගෙන ඉන්නෙ. ඇඟ පත උස් මහත් උනාට බොහෝ යෞවන යෞවනියන්ගේ කල්පනා ශක්තිය, සත්‍ය ය අවබෝධ කර කර ගැනීමේ ශක්තිය වැඩිලා නෑ .නිදහස් ලෝකයක් හොයාගෙන විලාසිතා පස්සේ , එක එක නවීන නිෂ්ඵල අදහස් පස්සේ, සයිබර් අවකාශය පස්සෙ රැල්ලේ දුවනවා මිසක් ජීවිතයේ වගකීම් ගැන හරි අවබෝධයක් නැහැ .පල්ලිය පන්සල ඉස්කෝලෙ වගේ ජීවිතය හැඩ ගස්වන උත්තරීතර තැන් ගැන කිසි අවබෝධයක් නැහැ.
(අද එවැනි සමහර ස්ථාන පවා ව්‍යාපාර බවට පත්වෙලා ඇතැම් පූජ්‍ය පක්ෂයේ අය පවා මුදලට විකිණෙන තත්ත්වයට පත්වී තිබීම කනගාටුවට කරුණක්)
දූෂිතයන්ගෙන් තොර ලෝකයක් හදන්න නම් දූෂිත වැඩ කරන්න ඉඩ තියන්න එපා. කෙලින් වැඩ කරන පුද්ගලයින් බිහි වීම අවශ්‍යයි.
වැඩක් කරගන්න ගියාම පගාව ඉල්ලන පහත් මිනිස්සු බහුල රටක් මේක.පගාව දෙන්න හදන්නත් එපා දුන්නොත් ගන්නත් එපා.හැකිනම් සුදුසු තැන්වලට එවැනි අය ගැන වාර්තා කරන්න. සමහර දේශපාලනඥයෝ අතිශයින් දුෂිතයි.එවැන්නන්ට ආවඩන්න එපා. බොරු පොරොන්දු වංචාකාර හැසිරීම් වලට රැවටිලා ඡන්දෙ දීලා ආයෙ අඬන්න වැඩ සිද්ධ කරගන්න එපා.
පෞද්ගලික වාසි නොතකා , අවංකව කෙලින් වැඩ කරන, අනුන්ගේ බඩගින්න හද ගින්න තේරුම් ගත හැකි දූ පුතුන් සමාජයට දායාද කරන්න. ගුණ ගරුක නීතිගරුක පුරවැසියෙක් වෙන්න පුහුණු කරන්න.
ඔබව ගැරහීමට ලක් කළත්,සමච්චල් කළත් ,කොන් කළත් නොසැලී හරි දේ වෙනුවෙන් හිටගන්න. කාල බීල නිදහසේ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න නම් දූෂිතයන්ට ඇතුළු වීමට, වැජඹීමට, රජවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා දමන්න වගබලා ගන්න.
තුන්වෙනුව, සර්පයින් වැනි මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වෙන්න.
සමහර මිනිසුන්ව කෝවක දාලවත් මකන්න හදන්න බැහැ. කරන්නෙම කපටි වැඩ. කියන්නෙම බොරු. ලංවෙන්නම මොකක් හරි වාසියක් බලාගෙන.උදවු කළොත් උදව් කරන්නෙ ඊට වැඩිය ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන්. මූනට වර්ණනා කරනවා නැති තැන ගරහනවා.මේ වගේ මිනිසුන් ගෙන් ඈත් වෙන්න. එවැනි අය ඇසුරු නොකරන තරම්ට ඔබට හොඳයි.
හැමෝම නරක මිනිස්සු නෙමෙයි .මේ සමාජයේ අපට හිතන්න බැරි තරම් රත්තරන් හදවත් තියෙන හොඳ මිනිස්සු ඉන්නවා.
ඒ වගේම අපිව නොමරා මරණ , හදවතේ තෙතමනයක් නැති, නිල බල ලෝභී, තිරිසන්නු වගේ අයත් ඉන්නවා. එවැනි අයගෙන් ප්රරවේසම් වෙන්න. කල්පනාවෙන් ගණුදෙනු කරන්න. අපි ප්රයවේශම් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
මේ කරුණු තුන තේරුම් අරගෙන බුද්ධිමත්ව ක්‍රියාකාරී වුනොත් , මේ අමාරු කාලේ යන්තමට හරි ඔබේ හිතට සැහැල්ලුවක්වක් සහනයක් දැනේවි. අඩු ගණනේ ඔබේ දරුවන්ගේ ලස්සන හෙට දවසක් වෙනුවෙන් ඔබ පැලකරන මල් පැලයක් වේවි. ආයෝජනයක් වේවි!
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු