ඕමල්පේ සෝභිත හිමියෝ කොළඹ සරසවි උපාධි ප්‍රදානොත්සවයේ සිදුවීම පසසති

මෙවර කොළඹ විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

උන් වහන්සේ එසේ ප්‍රකාශ කරන ලද්දේ මෙවර මෙවර කොළඹ විශ්ව විද්‍යාලයීය උපාධි ප්‍රදානොත්සවයේ දී උපාධි හිමි කර ගත් උපාධි ධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එහි කුලපති පදවියට පත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් උපාධි සහතික ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට ඇති පසුබිමක ය.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ අදහස් පළ කරන ලද්දේ ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් අමතමිනි. දේශපාලනඥයන් පෞද්ගලික, දේශපාලන, ඥාති හිත්‍රමිත්‍රකම් මුල්කරගෙන තනතුරු දෙනවිට, බොහෝ දෙනෙක් නිහඬව සිටියත්, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන්, එම විරෝධය විවෘතවම ප්‍රදර්ශනය කර ඇතැයි පැවසූ උන්වහන්සේ මහානායක නායක, හිමිවරු ඇතුලු සියලුම ආගමික නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙය පාඩමක් කරගත යුතු බව ද කීහ.

එමෙන්ම බොහෝ දෙනෙක් උගුරට හොරා බෙහෙත් කන ආකාරයේ නෝංජල්, දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන් ඝෘජු ලෙස තමන්ගේ මතය පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ද කී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ ක්‍රියාව තුළින් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිලාභී විද්වතුන් සිය අභීතභාවය, ආත්මීය ගරුත්වය මැනවින් ප්‍රදර්ශනය කර ඇති බවත්, ජනාධිපතිවරයා හා රජය ඔවුන් ලබාදුන් පණිවුඩය තේරුම් ගත යුතු බවත් සඳහන් කළහ.

කාලීන පුවත්