කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පැනලා;එරට බුද්ධි අංශ සීරුවෙන්

කුප්‍රකට පාතාල කල්ලි නායකයකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි ඉම්රාන්‘අධිකරණයෙන් ඇප මත මුදාහැර දින පහකට පසු තලෙයිමන්නාරම හරහා ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයට පැනගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික් වෙරළ තීරයට මුහුදු යාත්‍රාවකින් පැමිණ ඔහු සගයෙකු සමග ගොඩ බැස්ස බවට සාක්ෂි ඉන්දීය පොලිසිය සතු බව ‘ද හින්දු‘ පුවත් වාර්තාවක දැක්වේ.ඔහු පකිස්ථානයේ හාජි සලීම් සහ වෙරළාසන්න විජිංජාම් ​​මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමේ ප්‍රධාන සැකකරු වන ගුණසේකරන් හෙවත් “ගන්” සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට විමර්ශකයින් විශ්වාස කරන බැවින් ඉම්රාන් සහ ඔහුගේ සගයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ද එරට බුද්ධි අංශ විසින් සොයා බලන බව ඉන්දීය පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කංජිපානි ඉම්රාන් තමිල්නාඩුවට ඇතුළුවීම මුල් කොට එරට බුද්ධි අංශ සිය අවධානය තීව්‍ර කොට තිබේ. ඒ අපරාධ චෝදනාවලට ලක්ව සිටින විදේශීය ජාතිකයන් රඳවා සිටින තිරුචි හි විශේෂ කඳවුරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ජාතික විමර්ශන ඒජන්සිය විසින් හෙළිදරව් කර ඇති නිසා ය. කංජිපානි ඉම්රාන් ද ඊට සම්බන්ධ බවට සාක්ෂි ලැබී තිබේ.මොහුගේ පළායාම සැලවීමෙන් පසු වෙරළබඩ දිස්ත්‍රික්කවල සෝදිසියෙන් සිටින ලෙසත්, ඔහු සහ ඔහුගේ සගයා ගැන සොයා බලන ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දන්වා ඇත.මිනීමැරුම් සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට අවශ්‍යව සිටි ඉම්රාන් 2019 දී ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන ලදී.පසුව ශ්‍රී ලංකාවේදී ඔහු රඳවාගනු ලැබූ අතර රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අධිකරණයක් ඔහුට ඇප ලබාදෙන තෙක් ඔහු අධිකරණ භාරයේ සිටියේය.

කාලීන පුවත්