කවුරුහරි කවදා හරි ඔබ ගැන බොරු ප්‍රචාරය කරලා ඔබට මඩ ගහලා අපහසුතාවයට පත් කරලා නැද්ද ?
ඔබ ගැන ඕපාදූප කියලා කොටවලා ඔබේ චරිතය ගැන අනුන් තුළ වැරදි චිත්‍රයක් මවන්න වැඩ කරල නැද්ද? ද්වේශසහගතව ඔබව විවේචනය කරලා නැද්ද?
නැහැ කියලා පිළිතුරු දෙන්න ඔබට පුළුවන් නම් ඔබ සමහරවිට ලක්ෂයකින් කෙනෙක් වෙන්න පුළුවන්.
අපි කොච්චර හොඳින් ජීවත් වුණත් මිනිස්සු කොහෙන්හරි කොනක් අල්ලගෙන අපි ගැන වැරදි අදහස් ප්‍රචාරය කරන්න පුළුවන්. අපේ නම කැත වෙන විදිහේ ඕපාදූප වලින් රට ගිනි තියන්න පුළුවන්. …
කාටවත් කතා නොකර පාඩුවේ හිටියොත් අහංකාරකම උද්දච්ච කම කියලා හංවඩු ගහනවා. හොඳට හිනා වෙලා කතාබහ කළොත් ඕනෑවට වැඩියෙන් දඟලනවා, කට වැඩියි කියලා විවේචනය කරනවා. සරලව චාම්ව ඇඳුම් පැළඳුම් ඇන්දොත් ලෝබකමට ඇඳුමක්වත් ගන්නෙ නෑ කියලා කියනවා. හොඳට ඇඳල පැලඳල ගියොත් බොරු සෝබන දානවා , කැපිලා පේන්න හදනවා නිකං බොරුවට සල්ලි නාස්ති කරනවා කියලා දොස් කියනවා.
කාර්යාලයේ වැඩ උනන්දුවෙන් වගකීමෙන් ක්‍රියාශීලීව කළොත් හොඳ නමක් ගන්න හදනවා ලකුණු දාගන්න හදනවා ‘ පැනලා දෙනවා’ දෙනවා කියලා විවේචනය කරනවා.
නිහඬව තමන්ගේ වැඩකටයුතු ටික කරගෙන හිටියොත් මෙලෝ රහක් නැති කම්මැලියෙක් කියලා ලේබල් ගහනවා.
කාට හරි උදව් පදව් කළොත් , දනට පිනට දුන්නොත්, කරපු වැරදි වහගන්න පින්දහම් කරනවා කියයි. උදව් නොකර සත පහක් හොල්ලන්නෙ නැතුව හිටියොත් ලෝබ කුණා කියයි.
මත්පැන් ටිකක් පාවිච්චි කළොත් බේබද්දා කියයි. නොබී හිටියොත් සුද්දවන්තයෙක් වෙන්න හදනවා කියයි.
ඔන්න ඔය විදිහට අපි මොන විදියට ජීවත් වෙන්න බැලුවත්, කොච්චර හොඳ කෙරුවත් නිවැරදි දේ කෙරුවත් කතා කලත් අපිට කෙළවරක් නැති විවේචනව වලට ගැරහීම් වලට ඕපාදූපවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒක ලෝකයේ හැටියක්.
කිසිම පුද්ගලයෙක් කැමති නෑ තමන්ගෙ නම කැත වෙනවට. තමන්ට අගෞරව කරනවට . හැමෝම කැමතියි කොයි කාගේත් ගෞරවයට දිනාගෙන නම කැත කරගන්නේ නැතුව ලස්සනට ජීවත් වෙන්න.
ඒ නිසා කවුරුහරි අපි ගැන ඕපාදූප කියනකොට අපට හිත රිදෙනවා වේදනාවක් දැනෙනවා. කලකිරෙනවා.
ඔබේ අවංකව මිතුරෙක් නම් ඔබේ වරදක් දැක්කොත් ඔබට කාරුණිකව ඒ ගැන උපදෙසක් දෙනවා මිසක් ඔබේ හොඳ නම කෙළෙසීමට ඔබට විරුද්ධව කතා හදන්නෙ නෑ. කකටකතා හදන මිනිස්සු ඔබේ මිතුරන් වත් ඔබට ආදරය කරන අය වත් නෙවෙයි .
අනුන් අපිව විවේචනය කරන එක නවත්තන්න අපට බැරි වෙන්න පුළුවන්. නමුත් අපි විවේචනයට ලක් උනාම කලයුතු දේ ගැන හිතන එක වටිනවා.
. ඉතින් මොනවද මේකට අපිට කරන්න පුලුවන් ?
මේ ටික තේරුම් ගන්න.
ඕපාදුප කියවන්නෙ ,අනුන්ගේ වැරදි හොයන්නේ , ඒවා තැනින් තැන වපුරන්නේ කිසිම වැදගැම්මකට නැති, කාලය නිකරුනේ කාදමන හිස් මිනිස්සු. අන්න ඒ වගේ අයට තමයි අපි අපතයෝ කියන්නේ. කාලයේ වටිනාකම දන්න බුද්ධිමත් මිනිස්සු බලන්නේ හැකි තරම් කාලය ඉතුරු කරගෙන වටිනා දෙයක් කරන්න. ඒත් අපතයො කරන්නේ අනිත් අයට පද හද හද වැරැදි හොය හොය ගිනි තිය තිය රස්තියාදු හහන එක.
ඒ වගේ අය ගමේ ගොඩේ පන්සලේ පල්ලියේ කඩමණ්ඩියේ විතරක් නෙමෙයි සමහර රැකියා ස්ථාන වලත් ඉන්න පුළුවන්.
කවුරුහරි ඔබට විරුද්ධව ඕපදූප පතුරනවා කියලා දැනගත්තොත් ඔබට කරන්න පුළුවන් හොඳම දේ තමයි තඹ සතේකට ගණන් නැතුව ඉන්න එක .
නමුත් මනුෂ්‍යයන් වශයෙන් අපිට එහෙම කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. අපේ හිත් රිදෙනවා. සමහරවිට තරහ යනවා. නොයෙකුත් විදියේ ප්‍රතිචාර දක්වන්න හිතෙනවා.
ඒත් ඔබ දිගින් දිගටම කල්පනා කළොත් කළ යුතු හොඳම දේ තමයි ඕන කෙනෙකුට ඕන දෙයක් කියාගත්තු දෙන් කියල හිනාවෙලා ඉන්න එක.
බොල් මිනිසුන්ගේ නිෂ්පල කතා නිසා මගේ හිතේ සාමය සතුට නැතිකරගන්නේ මොකටද කියලා හිතලා කලබල නොවී හිත සන්සුන්ව කියාගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ.
සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් කටකතා හදන්නේ ඕපාදුප කියන්නේ අපිට නොදැනෙන්න.
ඒත් ඔබට විරුද්ධව බොරු කතා හදපු අයව නිසැකවම දන්නවනම්, ඔබ කැමතිනම් කෙලින්ම ගිහින් ,ඔවුන් කරන අයුක්තිසහගත වැඩේ ගැන ඔබ දන්නා බවත් ඒක වැරදි බවත් ඉතා කෙටියෙන් කියන්න. එච්චරයි. ඊට වඩා ඔබේ නිදොස් කම ගැන විස්තර කරන්න යන්න එපා. හැදෙනවනම් හැදෙයි, නැත්නම් ඒ ක්‍රියාවල පලවිපාක කවදා හරි එයාලා විද ගනී.
ඒ වගේ අයුක්තිසහගත අපතයන් වෙනුවෙන් ඔබේ කාලය නාස්ති කිරීම කිසිම තේරුමක් නැති වැඩක්. ඒ අය ඔබට කන්න බොන්න දෙන්නේ නැහැ. ඒ අයගේ චරිත සහතික ඔබට අවශ්‍ය නැහැ.
බොරු කතා හදන ඕපාදූප පතුරන බොහෝ දෙනෙකුගේ අරමුණ ඔබව අසහනයට අපහසුතාවයට පත්කිරීම, ඔබව කෝප කිරීම,ඔබව මානසිකව වීම වැට්ටවීම විය හැකියි. එහෙම නැත්නම් මොකක් හෝ ඔබට ලැබෙන වාසනාවක් උසස්වීමක් වගේ දෙයක් වලක්වන්න ඊර්ෂ්‍යාවෙන් කටයුතු කිරීම විය හැකියි.
ඒ නිසා ඔබ නොකළ යුතුම දේ තමයි තරහ ගැනීම. ඔබ තරහ ගත්තොත් වෙන්නේ ඒගොල්ලන්ගෙ අපේක්ෂාව ඉටුවීමක් මිසක් ඔබගේ හිත සුව වීම නොවේ.තරහ ගැනීම කිසිම විටෙක ප්‍රශ්න විසඳන මෙවලමක් නොවෙයි. තරහ ගැනීමෙන් වෙන්නේ ප්රශ්නය තවත් දුරදිග යාම විතරයි.
අනෙක් අතට ඔබටත් කවුරුහරි කෙනෙක් ඕපදූපයක් කියාගෙන ආවොත් මොකද්ද ඔබ කළ යුත්තේ?
ඒකට හොඳම පිළිතුරක් අපිට සොක්රටීස් ගෙන් ලබාගන්න පුළුවන්.
ඉතා ප්‍රඥාවන්ත දාර්ශනිකයෙක් වූ සොක්රටීස් ගැන ඔබ අහල තියෙනවනේ නේද ?
දවසක් ඔහු ටිකක් දන්න හඳුනන කෙනෙක් සොක්රටීස් ගෙන් මෙහෙම ඇහුවා.
” ඔබ දන්නවද ඔබේ යාළුවා ගැන මට අහන්න ලැබුණු දේ?”
“පොඩ්ඩක් ඉන්න” සොක්රටීස් පිළිතුරු දුන්නා.”ඒක අහන්න කලින් මට ප්‍රශ්න තුනක පරීක්ෂණයක් කළ යුතුයි”
” ප්‍රශ්න තුනක පරීක්ෂණයක්?”
“ඔව්!. පළමුවැනි ප්රශ්නය… මගේ මිතුරා ගැන ඔබ ඔය කියන්න යන දේ සම්පූර්ණ ඇත්ත කියල ඔබට සහතික ද”
“නැහැ.. මටත් මේ කෙනෙක් කියපු දෙයක් තමයි”
“දෙවැනි ප්රශ්නය… ඔබ ඔය කියන්න හදන්නෙ මගේ යාලුවා ගැන හොඳ දෙයක්ද?”
” ම්…ඒත් නැහැ”
” තුන් වැනි ප්රශ්නය…ඔබ ඔයා කියන්න යන දෙයින් මට ප්‍රයෝජනයක් තියෙනවද?”
” ම්…මම හිතන්නේ නැහැ ඒ තරම් වැඩක් වෙයි කියලා ”
එතකොට සොක්රටීස් සාවඥ හිනාවකින් මෙහෙම කිව්වා.
“මගේ යාළුවා ගැන ඔබ ඔය කියන්න යන දේ ඇත්තක්ද කියලා ඔබ දන්නෙත් නැත්තං , කියන දේ හොඳ දේකුත් නෙමේ නං ,ඒක අහන එකෙන් මට ප්‍රයෝජනයකුත් නැත්තං මොකටද මට ඕක කියන්නේ?”
ඉතින් ඔබටත් කවුරුහරි කෙනෙක් ඕපදූපයක් කියාගෙන ආවොත් , ඔහුගෙන් අහන්න බැරිනම් අඩුම ගානේ ඔබේ හිතෙන් වත් ඒ ප්‍රශ්න තුන අහන එක වැදගත් නේද ?
සමහර වෙලාවට විවේචන ඇත්තටම අපට අවශ්‍යයි හොඳයි. කුහක හිතකින් අපව සමහරු විවේචනය කලත් ඒක අපට හොඳට හිටින්නත් බැරි කමක් නෑ. නොපෙනෙන දුර්වලකම් අප තුළ තිබුනොත් විවේචන හරහා අපිට ඒවා හඳුනාගෙන හොඳ පැත්තට හරවා ගන්න පුළුවන්. සමහර අවස්ථාවල විවේචන කියන්නේ හරියට කන්නාඩියෙන් වගේ අපේ සබෑ ස්වරූපය අපට පෙන්වා දෙන මෙවලමක් විය හැකියි.
ඊළඟට ඔබ, අනුන්ගේ වැරදි හොයන්න යන්න එපා. වරදක් දැක්කත් ඒක නිවැරදි කරන්න වැදගත් මාර්ගයක් හොයනවා මිසක් තතැනින් තැන ඒ වැරදි කිය කිය යන්න එපා.
කාගෙවත් නමක් කැත කරලා ඔබ ලබන ලාභයක් නැහැ. බුද්ධිමත් කෙනෙකුට ඔබ ගිහින් ඕපාදූප කිව්වොත් ඔහු කෙලින්ම තීරණය කරන්නේ ඔබ පහත් මානසික මට්ටමක ඉන්න කෙනෙක් කියන එකයි . එවැනි තුට්ටුදෙකේ පහත් මානසික මට්ටමකට වැටෙන්න එපා.
අනුන්ගේ වැරදි හොය හොය කියවනවට වඩා ප්‍රයෝජන දායක වෙන්නේ අපේ දුර්වලකම් අඳුනාගෙන අපේ හිත් ලස්සන කර කරගන්න උත්සාහ කිරීමයි . නේද?
දේට වඩා නරක මිනිස්සු කරන අප්‍රසන්න අයහපත් දූෂිත දේ ගැන ඕපාදූප ඇහෙනවා වැඩියි.
මල් සුවඳට වඩා ඉක්මනට, වඩා ඈතකට අසූචි ගඳ විහිදී යනවා වගේ, හොඳ මිනිස්සු කරන කියන ලියන හිතන ඒත් ඔබ ලෝකය දුගඳ කිරීමට දායක නොවී ලෝකය සුවඳ කරන පින්බර පුරවැසියෙක් වෙන්න වග බලා ගන්න.
ඔබ වටින කෙනෙක්. ඔබ දියුණු විය හැකි කෙනෙක්. බුද්ධිමත් කෙනෙක්. හිත ලස්සනට තියාගන්න. කට පරිස්සම් කරගන්න. අනුන් ඔබ ගැන ඕන දෙයක් කියපුවා වේ. එයින් ඔබට හානියක් නැහැ.
ඔබ අනුන්ගේ වැරදි ගැන කියවන්න යන්න එපා. හිත සංසුන්ව තියාගෙන නිහඬව ඔබේ දියුණුවේ ගමන යන්න. ඔබට වරදින්නේ නැහැ.
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු