කතරගමින් නව පුනරුදයක්;පුදබිම බැතිමතුන් ගෙන් පිරෙයි

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් දිනය අද(20)ට යෙදී ඇති අතර මේ වන විට අති විශාල බැතිමතුන් පිරිසක් කතරගම පුද බිම වෙත ඇදෙමින් සිටිති.එමෙන්ම මෙවර කතරගම පුද බිම සම්බන්ධ විශේෂත්වයක් වනුයේ මීට පෙර බැතිමතුන් පූජා වට්ටි මත තබා කපු රාලලාට දුන් මුදල් නෝට්ටු මෙවර කතරගම බස්නායක නිලමේ කාර්යාලය වෙත ලබා දීමය.ඒ අනුව එම මුදල අතිශය විනිවිද භාවයකින් යුතුව මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයක් තැනීමට මේ වන විටත් යොදවා ඇති අතර එය ලබන 23 වන දා විවෘත කිරීමට ද නියමිතය.එමෙන්ම එම අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ඉතා රසවත් පෝෂදායී ආහාර සැපයීමේ වැඩ සටහනක් ද දැන් ක්‍රියාත්මක වේ. මෙම සංවිධාන සැලැස්මට නායකත්වය දෙන රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසන්නේ තමන් බස්නායක පදවියේ තනතුරේ රාජකාරි ආරම්භ කරන විට රුපියල් මිලියන 50ක්ව පැවැති වාර්ෂික ආදායම මේ වන විට රුපියල් මිලියන 400 ක් දක්වා අට ගුණයකින් වර්ධනය වී ඇති බවකි.මෙම වසරේ පළමු මාස හය තුළදී පමණක් ආදායම රුපියල් මිලියන 214 ක් බව රුහුණු මහා කතරගම දේවාලයේ ආදායම් වාර්තාව හෙළිදරව් කොට තිබේ.මෙලෙස ආදායම වර්ධනය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ බැතිමතුන් පූජාවට්ටිවල තබා දේවාලයේ කපු රාලලා වෙත ලබාදුන් මිල මුදල් සහ පූජා භාණ්ඩ දේවාලයේ පඬුරු පෙට්ටි වෙත සහ කාර්යාලය වෙත බාරදීම බව වාර්ෂික ආදායම් වාර්තා අනුව පෙනී යයි.දෙවියන් සඳහා පූජා කරන මිල මුදල් සහ භාණ්ඩ කපු රාලලා පෞද්ගලික පරිහරණයට ලබා ගන්නා අතර දෙවියන්ට පූජා පිණිස ලැබෙන වටිනා රන් භාණ්ඩ ඔවුන් නිවෙස් වලට ගෙන යන අවස්ථාවන් පිළිබඳ ජනතාව දැනුවත් වීමත් සමඟ මෙම තත්ත්වය උදා වී තිබේ.ඒ සඳහා ආසන්නතම සිදුවීමක් ලෙස කතරගම දේවාලයට ලැබුණු පවුම් තිස් අටක රන් තැටියක් එහි ප්‍රධාන කපුරාල විසින් අස්ථාන ගත කිරීමේ සිදුවීම දැක්විය හැක.දැන් ඒ සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු සිදුවෙමින් පවතී.

කාලීන පුවත්