සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින්. සිය පුත්රයාගේ අපල දුරුවීම සඳහා යැයි කියමින් 2019 වසරේදී කතරගම දේවාලයට පූජා කර තිබූ රන් තැටිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්රධාන කපු මහතා ඇතුළු සෙසු කපු මහතුන්ගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීමට තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අවසර ලබාදී තිබේ එම රන් තැටිය අතුරුදන්වීමත් සමග විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඉකුත් ඔක්තෝම්බර් 26 වනදා එන් එම් ජී අජිත් පුෂ්පකුමාර නමැති අයෙකු මෙම අතුරුදන් වූ රන් තැටියට සමාන රන් තැටියක් ගෙනැවිත් කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයා වෙත භාරදී ඇත. ඒ අනුව එය දේවාල පාර්ශවයේම පුද්ගලයකු හෝ කිහිප දෙනකු විසින් රැගෙන ගියේ ද යන සැකය පොලීසිය තුළ පවතී.
එමෙන්ම එන් එම් අජිත් නමැත්තා කතරගම දේවාලයේ පරිපාලන ලේකම්වරයාට භාරදුන් රන් තැටිය අතුරුදන්ව ඇති රන් තැටියම ද යන්න පරීක්ෂා කිරීම සදහා විමර්ශන ආරම්භ කර තිබේ. එය පරීක්ෂා කිරීම සදහා මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරීන් මෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද එහි පැමිණ ඇත..මෙම රන් තැටිය කැරට් 21 රත්රන්වලින් නිම වූ පවුම් 36 ක බරකින් යුත් එකක් බව ලබාදී ඇති වාර්තාවල සටහන් වී ඇති අතර අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලබා දුන් ප්රකාශයක් මඟින් ද ඒ බව තහවුරු වී තිබේ.