කරදගොල්ල නායයාම යළි සක්‍රීය වෙයි

වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගලායමින් පවතින හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගයට දැඩි අවදානම් තත්ත්වයක් උදා වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද (17) පැවසීය.

මෙම අවධානම මෙන්ම වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයේ තැනින් තැනට විශාල ගල්පර්වත ගස්කොළන් පස්කදු කඩා වැටීමට පටන් ගෙන තිබිම නිසාවෙන් මාර්ගයේ පවතින දැඩි අවධානමත් සමඟ අද (17) උදෑසන සිට යළි විවෘත කළ මාර්ගය දැඩි වර්ෂාව පතිත වන අවස්ථා වලදී තාවකාලිකව විටින් විට වසා දැමීමට සිදුවන බවද හෙතෙම කීය.

වර්ෂාපතන තත්ත්වය අනුව ඕනෑම මොහොතක ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

කාලීන පුවත්